Pages

Friday, May 16, 2014

තෙමඟුල සහ තවත් බොහෝ අසිරිමත් දෑ සිදු වූ පින්බර වෙසක්‌ පුන් පෝදා

සිද්ධාර්ථ කුමාර උත්පත්තිය ක්‍රිස්‌තු පූර්ව වසර 624 කට පෙර අද වැනි වෙසක්‌ පුන් පෝ දිනක සිදු වූ සේක. සිදුහත් තවුසාණෝ සම්මා සම්බුද්ධත්වයට පත් වීම ක්‍රිස්‌තු පූර්ව 589 කට පෙර අද වැනි වෙසක්‌ පුන් පෝය දිනක සිදු වූ සේක. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම ක්‍රිස්‌තු පූර්ව වසර 544 කට පෙර අද වැනි වෙසක්‌ පුන් පොහෝ දිනක සිදුවූ සේක. එනම් බුද්ධ වර්ෂ 2558 ක්‌ වන්නේය. භාවිත වන 2014 වර්ෂය අනුවය. සම්බුදු සසුනේ වැදගත් වූ අවස්‌ථාවන් රැසක්‌ පින්බර වෙසක්‌ පෝය උදාව සමගින් සිහිපත් වන්නේය. එය මෙසේය.

* සිද්ධාර්ථ කුමාර උත්පත්තිය දඹදිව ලුම්බිණි සල් උයනේදී සිදුවීම.

* සිද්ධාර්ථ තාපසයාණන් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීම දඹදිව බුද්ධගයාවේ 'ජයසිරි මහ මැඬදී' සිදුවීම.
* තුන්ලොවට අග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑම දඹදිව කුසිනාරා නුවරදී සිදුවීම.
* සිද්ධාර්ථ කුමාරයාගේ පියාණන් වූ සුද්ධෝදන මහරජතුමා (තම පියාණන්) ගේ රජ මාලිගාව වෙත, සම්මා සම්බුද්ධත්වය ලැබීමෙන් පසු කිඹුල්වත් පුරයට වැඩමවීම.
* උද්ධච්ඡ සිතින් කටයුතු කළ ඥාති වර්ගයාගේ මානය බිඳ දැමීමට 'යමාමහ පෙළහර' නම් වූ එකවිට ගිනිකඳත්, ජල කඳත් තම ශරීරයේ රෝම කූපයක්‌ පාසා පිටවන සේ දැක්‌මක්‌ සිදුවන ප්‍රාතිහාර්ය පෑම දැක්‌වීම.
* සම්බුදු සසුනේ ධර්ම භාණ්‌ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම බුදුරජාණන්වහන්සේගේ, තෙවැනිවර ලංකාගමනය සිදුවී, සමනල කන්ද මුදුනේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සිරිපා සටහන් තැබීම.
* ශ්‍රී පාද වන්දනා උත්සව මංගල්‍යය නිමකිරීම.
* දුටුගැමුණු මහරජිඳාණන් 'රුවන්වැලි මහ සෑයේ' ඉදිකිරීම් ආරම්භ කිරීම.
* ශ්‍රී දීපංකර බුදු පාමුලදී සුමේධ තාපස තෙමේ, ගෞතම නමින් බුදු වීමට නියත විවරණ ලැබීම.

අප මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදු වූ අවස්‌ථාවේදී. සත් පියුම් පිට වැඩම කරමින්


අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස - ජෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස

සෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස - අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝ.........

මම ලෝකයට අග්‍ර වෙමි, ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨවෙමි. මේ මාගේ අවසන් ඉපැදීමයි. නැවත ඉපදීමක්‌ නැත යනුවෙන් සිංහනාද කිරීම.


අප මහ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ තාපසයා ලෙසින්, සියලු ක්‌ලේශයන් අවසන් කිරීමෙන් දඹදිව බුද්ධගයාවේ දී අද වැනි වෙසක්‌ පුන් පෝය උදාවකදී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගනිමින් උදාන වාක්‍යය මෙසේ ප්‍රකාශ කර ඇත.


අනේකජාති සංසාරං - සන්ධා විස්‌සං අනිබ්බිසං

ගහකාරකං ගවේසන්තෝ - දුක්‌ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්‌ඨෝසි - පුනගේහං න කාහසි
සබ්බාතෙ ඵා සුකා භග්ගා - ගහකූටං විසංතං
විසං ඛාරගතං චිත්තං - තණ්‌හානං ඛයමඡ්Cධගා.....

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දඹදිව කුසිනාරාවේ පිරිනිවන් මංචකයේ සැතපී, අවසන් වරට කළා වූ බුද්ධ දේශනාව,


භන්දදානි භික්‌ඛවේ ආමන්තයාමි වෝ

වයධම්මා සංඛාරා - අප්පමාදෙන සම්පාදේථ

මහණෙනි, දැන් ඔබලා අමතන්නෙමි, සියලු සංස්‌කාරයෝ නැසෙන සුලුය. අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරගන්න. තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සතළිස්‌ පස්‌ වසරක්‌ පුරාවට ලෝවැසි සියලු මනුෂ්‍යයන්ගේ යහපත උදෙසා දේශනා කළ වදාළා වූ සුවාසූ දහසක්‌ ධර්මස්‌කන්ධයෙන් තම ජීවිතයට, රාජ්‍ය පාලනයට, සසර දුකින් එතෙර වීමට මනුෂ්‍යත්වය ලබා ඇති ඔබට ගත හැකි ප්‍රයෝජන උදාකර ගැනීමට, ධර්මානුකූලව දිවි පැවැත්මට ආරම්භයක්‌ ඇති කර ගැනීමට පින්බර මෙම වෙසක්‌ පෝය උදාවෙන් උදාවන්නා වූ නවෝදය, සාරවත් කර ගත හැකි වන්නේය. එනිසාවෙන් ඉහත කරුණු සැකෙවින් මෙහි සඳහන් කළේ බුදු සසුන වෙනුවෙන්, දැනගත යුතු අවබෝධය. නිවැරදි දින වකවානු අනුව ඔබගේ අවධානය වෙත යොමු කිරීම පිණිසය.


අප මහ බෝසතාණන් වහන්සේ. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී දම් පිරිපුන් කර ගනිමින් මෙයට වසර දෙදහස්‌ හයසියතුනකට පෙර, අදවැනි පුන්පොහොය උදාවකදී සියලු ක්‌ලේශයන් අවසන් කරමින්, උතුම් වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගනිමින්, පළමුව ගත කළ සත් සතියෙන් දෙවැනි සතිය සැකෙවින් අධ්‍යයනයක යෙදීම අගනේය.


මෙයට වසර දෙදහස්‌ හයසිය තුනකට පෙර, දඹදිව ගයා ශීර්ෂයෙහි භාවනානුයෝගීව වැඩසිටි සිද්ධාර්ථ තාපසතෙමේ, සය වසරක්‌ පුරාවට කැප කළ දුෂ්කරතා පැවැත්මේ අවසන් අවස්‌ථාවට එළඹ සිටියේය.


සුජාතා සිටු දියණිය තමන්ගේ අදහසක්‌ මුදුන් පමුණුවා ගැනීමට වෘක්‍ෂ දේවතාවකු වෙනුවෙන් වූ බාරය නිදහස්‌ කිරීමට ඉතාම වටිනා අන්දමින්, සැදැහැ සිතින් කිරිපිඬු දානයක්‌ සකස්‌ කළේය. එය පූජා කර නිදහස්‌ වීමට ගයා ශීර්ෂයෙහි වූ මෙම වෘක්‍ෂය වෙත පැමිණි විට නෙත ගැටුණේ එම වෘක්‍ෂය මුල වැඩ සිටි සිද්ධාර්ථ තාපස තෙමේය. සුජාතා සිටු දියණියගේ සිත පිනා ගියේය. තම බාරය නිදහස්‌ කිරීමට දේවතාවුන් වහන්සේ, මෙසේ සිටිනා බව සිතා ඉතා සතුටු සිතින් සිද්ධාර්ථ තාපසතුමාණන්ට තමන් ගෙනා කිරිපිඬු පූජා කළේ ඉමහත් වූ බැතිසිත පෙරටු කොට ගෙන ය.


එම කිරිපිඬු කොටස්‌ හතළිස්‌ නවයකට බෙදා, අධිෂ්ඨානය පෙරදැරි කරගෙන එකිනෙක වළඳා අසලින් වූ ගලා බසිනා නේරංජනා නදියට බැසගත් සිද්ධාර්ථ තාපස තෙමේ දැඩි අධිෂ්ඨානයක්‌ ඇතිකර ගත්තා. මාගේ මෙම ආත්ම භවයෙහිදීම සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ වූ දීර්ඝ කාලයක්‌ පුරා සංසාර භවයෙහි ඉපිද ඉපිද මරණයට පත්වෙමින්, සසර දුකින් නිමා කරන්නා වූ දස පාරමී ධර්මයන් සපුරා ගෙන ඇත්තෙමි. රාජකීය සැප සම්පත් සියල්ල අත්හරිමින්, බුදුබව පතා ලෝක සත්ත්වයන් සසර දුකින් මුදා ගැනීම පිණිස සංසාර භවයෙන් එතෙර කරවීම පිණිස, ලොවුතුරා බුදුබව පතා පුරා සය අවුරුද්දක්‌ අති දුෂ්කර වූ ක්‍රියාවක නියෑළුණෙමි. එහෙත් මේ දක්‌වා එහි මා බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලොව්තුරා බුදුබව අවබෝධඥාණය නොලැබූයෙමි. මෙම ආත්ම භවයෙහිදී ලොව්තුරා බුදුබව ලැබෙන්නේ නම්, මෙම ජලය ගලා බසිනා නදිය වෙත මාගේ පාත්‍රය පා කර හරින්නෙමි. ඒකාන්තයෙන් ම මේ භවයෙහි මා හට ලොව්තුරා බුදු බව ලැබෙන්නේනම්, මෙම පාත්‍රය ජලය පහතට ගලා බසින මෙම නදියෙහි උඩුගං බලා යත්වා......... නො එසේ නම්..... ගලා බසිනා නදියේ ජලය සමඟ පහළට ගසාගෙන යත්වා.


විශ්මයකි........ ගලාබස්‌නා නදියේ උඩුගම් බලා වේගයෙන් පාත්‍රය ඇදී ගියේය. සිද්ධාර්ථ තාපසතෙමේ උඩුගම්බලා යන පාත්‍රය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පෙරුම් පුරා සපැමිණි උත්තරීතර බලාපොරොත්තුව ඉටුවන බව ස්‌ථිර වශයෙන්ම සක්‌සුදක්‌ සේ තම අධිෂ්ඨානයේ බලයෙන් තහවුරු කර ගත්තේය. එතැනින් නික්‌මී යන සිදුහත් තවුස්‌ තෙමේ ඉදිරියට කුසතණ කපාගෙන එන සොත්ථිය බමුණා හමුවිය. එය ඔහුගේ ගවයන්ගේ ආහාරය සඳහා ගෙන යන කුසතණ වන්නේය. සිද්ධාර්ථ ගෞතම තාපසයාණන්හට සිතක්‌ පහළ විය. ඒ අසලින් වූ ඇසතු බෝගස මුල මා හිඳගන්නෙමි. ලොව්තුරා බුද්ධත්වයේ අවබෝධඥාණය ලබා ගන්නා තෙක්‌ නොනැඟිටිමි. එනිසා, මෙයින් කුස තණ මිටි අටක්‌ ලබාගෙන එය බිමට තබා ඒ මතුපිට හිඳගනිමි. ඒ අනුව සොත්ථිය බමුණාගෙන් ලබාගත් කුසතණමිටි අට උස්‌ව සිටිනා ලෙසට බිම අතුරා ඇසතු බෝගස පාමුල භාවනානුයෝගීව බද්ධපර්යංකයෙන් අසුන් ගත්තේය. ඉන් අනතුරුව දැඩි අධිෂ්ඨානයක්‌ ඇතිකර ගත්තේය. ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගෙන මිස, මා මියෑදුණත් මෙයින් නොනැඟිටිමි යනු එම දැඩි අධිෂ්ඨානයයි. මෙම පෘථිවිය මෙන් දහගුණයක්‌ බර තරම්, හිසේ තබාගත්තා සේ වේදනා ඇති කරමින්, සියලු ක්‌ලේශයන්ගෙන් මිදී මෙයට වසර 2603 කට පෙර අද වැනි වෙසක්‌ පුන් පෝසඳ උදාවන දිනක සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තුන් ලොවට අග්‍ර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගත්තේය. සාදු....... සාදු......... සාදු...... මෙසේ තනිව කිසිවකුගේ පිහිටක්‌ මඟ පෙන්වීමක්‌ නොමැතිව, තුන්කෝලයෙහිම මනුෂ්‍යයකු වශයෙන් ලැබිය හැකි උතුම් වූ, ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුද්ධත්වය ලෝකයෙහි සියලු දේ පිළිබඳ වූ සියලු අවබෝධඥාණයන් අවබෝධ කළ සේක. ඒ සඳහා තමන් වහන්සේට පිහිට වූයේ, ඇසටු බෝගසකි. එම බෝගස මුල හිඳගත් නිසා බෝගසේ කඳට තමන් වහන්සේගේ පිට හේත්තු කර ගැනීමට හැකිවිය. මානසික අවබෝධයට මඳ සුළඟට සෙළවෙන බෝපත්වල සිලිසිලි හඬත් බෝගසේ කිරණ ශක්‌තියත් පිහිට වූයේය. එම බෝගස තමන් වහන්සේට උපකාර වූයේ එපරිද්දෙනි.


සම්මා සම්බුද්ධත්වයෙන් පසුව පළමු සතිය එනම් දින හතක්‌ පුරාම තමන් වහන්සේ අවබෝධ කරගත් නිවැරැදි සත්‍ය අවබෝධයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවතත් මෙනෙහි කිරීමක නිරත වූ සේක.


දෙවැනි සතිය ඉහතින් සඳහන් කළ කුසතණ මිටි අට අතුරා හිඳගත්, තමන් වහන්සේට බුද්ධත්වය අවබෝධය ලබා ගැනීමට උපකාර වූයේ, මෙම ඇසතු බෝ ගසය. එම බෝ ගසට කෘතවේදී විය යුතුය. කෙළෙහිගුණ දැක්‌විය යුතුය. ඒ සඳහා කළ යුතු උසස්‌ම පිදුම කෙළෙහි ගුණ දැක්‌වීම ඉෂ්ට කළේය. ඒ කෙසේද යත්?


දෙවැනි සතියෙන් උදා වූ දින හතක කාලය දිවා රාත්‍රි දෙකෙහි ම එම බෝගස පෙනෙනා දුරින් හිඳ ගනිමින් 'අනිමිස ලෝචන පූජාවෙන්' පිදුම් කළ සේක. (බුද්ධගයාවෙහි ජය ශ්‍රී මහ බෝධිය සමීපයෙහි එම ස්‌ථානයේ අනිමිස ලෝචන පූජා ස්‌තූපයක්‌ ධර්මාශෝක අධිරාජයා විසින් නිම කර ඇත.) මෙම කෙළෙහිගුණ දැක්‌වීමේ අනිමිස ලෝචන පූජාව නිසා එම ඇසතු බෝධිය ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ නම් වූවාය.


ලොව්තුරා බුදු බව පතා, ශ්‍රී දීපංකර බුදු පාමුලදී, 'සුමේධ නම් වූ තාපස තෙමේ' නියත විවරණ ලබා ගත්තේ, සිද්ධාර්ථ ගෞතම නමින් බුද්ධත්වයට පත්වීම උදෙසා ය. ඒ සඳහා ගත වූ කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකි. ශ්‍රී දීපංකර බුදු පාමුලදී අතට පත් නිවන් සුව ලබා ගැනීමේ හැකියාව අත්හළේ තමන් වහන්සේ ලොව්තුරා බුදුබව ලැබීමටය. එසේ ලබාගත් බුද්ධත්වය තුළින්, ජීවමානව දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන් හට ධර්මය දේශනා කිරීමට ජීවත් වන්නා වූ කාලය වසර 45 ක්‌ පමණක්‌ වන්නේය. එසේ වූ කාල පරාසයෙන් පුරා දින හතක්‌ සතියක්‌, ඇසිපිය නොහෙළා කෙළෙහිගුණ දැක්‌වීමේ අගය ලොව පුරා සිටිනා ජීවත් වන්නා වූත්, අනාගතයට බිහිවන්නා වූත් මිනිසුන්හට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධත්වයේ ආරම්භයෙන්ම පෙන්වා දුන්නා වූ ධර්මය අදින් උදා වූ වෙසක්‌ පොහෝ දිනයෙන් ඔබගේ සිතට අවබෝධය ලබා ගන්නේ නම් කොතරම් අගනේද? පින්වත් ඔබගේ සිත දැන් අවදි කරගන්න. විවර කරගන්න. යම් අඩුපාඩුවක්‌ සිදු වී ඇතිනම් ඒ ගැන සිතා කම්පා නොවන්න. මේ මොහොතේ සිට යුතුකම කෙළෙහි ගුණ ගැන සිතන්න. ආරම්භයක්‌ ලබා ගන්න.


ඔබගේ දෙමවුපියන් ගැන සිතන්න. ඔබගෙන් ඉටුවිය යුතු යුතුකම් කෙළෙහිගුණ දැක්‌වීමේ අගය නොපිරිහෙළා ඉටු කිරීමට මේ මොහොතේ සිට අදිටනක්‌ ලබා ගන්න. අප ජීවත්වන කාලය වසර සියයකට අඩුයි. හැකියාව ඇති කාලය හැටපහක්‌ හැත්තෑවක්‌ තරම් වූ කාලයක්‌. එයින් ඔබ දැන් සිටිනා ජීවත් වූ කාලය ගැනත්, ජීවත් විය හැකි අනාගත කාලය ගැනත් සිතන්න.


සහෝදර සහෝදරියන්, නෑදැයන්, යහළු මිතුරන් ගැන සිතන්න. අසල්වැසියන් ගැන සිතන්න. පැවිදි උතුමන්ලා ගැන සිතන්න. දූ දරුවන් ගැන සිතන්න. දැන් සිතා බලන්න සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පාරමී ධර්ම සපුරා ගනිමින්, බලාපොරොත්තු වූ ඉලක්‌කය කුමක්‌ද? උතුම් වූ සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම කුමක්‌ නිසාද? ලෝක සත්ත්වයාගේ යහපත උදෙසා. මනුෂ්‍යයන් වූ සැමට සසර දුකින් එතෙර වීමට මාර්ගය පෙන්වාදීම උදෙසා.


එසේ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ, කඩිනමින් එම අරමුණ ඉටුකිරීම උදෙසා කටයුතු කළාද? නැත. සිතක්‌ පපුවක්‌ නොමැති තමාට සෙවණ දුන්නා වූ පිට හේත්තු කර ගැනීමට පිහිට වූ ඇසතු බෝගස ඒ වෙනුවෙන් පුරා සතියක්‌ දිවා රෑ දෙකෙහිම අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබුවා. ඒ කුමක්‌ නිසාද? සිතක්‌ පපුවක්‌ ඇති මිනිසුන්ට ඔබ අප වැනි අයට, තමන්ගේ ජීවත්වන කෙටි කාලයේදී කළ යුතු යුතුකම් කෙළෙහි ගුණයන් සැලකීමේ අගය සිතා ගැනීම පිණිස නේද?


මේ ලෝකයෙහි ඉපදුන කිසිම කෙනෙක්‌ කිසිම දෙයක්‌ අරන් ඉපදුණේ නැති සේම, ඔබත්, අපත් ඇතුළු සියලු දෙනාම මිය යන විට කිසිම දෙයක්‌ ගෙන යැමට නොහැකි වන්නේමය. එනිසාම උපන් බිමට ණය නැති යහපත් ලෙස යුතුකම්, කෙළෙහිගුණ ඉටු කිරීමට මෙම වෙසක්‌ පුන් පෝය උදාවෙන්, උදාවන නවෝදය ශක්‌තියක්‌ ජීවයක්‌ බලයක්‌ කර ගන්න. සියලු වාද භේද සිතෙන් අතහැර කෙළෙහිගුණ පිරි හදවතින් කටයුතු කිරීමට තිර අදිටනින් කටයුතු කරමු.


ඔබට තෙරුවන් සරණයි!


මානවතිලක වර්ෂාහැන්දිගේ

http://www.divaina.com/2014/05/15/feature03.html

0 comments: