Pages

Friday, May 30, 2014

ජම්මු කාශ්මීරය හරහා උතුරු පළාත් සභාවට ගලා එන බෙදුම්වාදය

නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍ය ඇමැතිවරයකු වූ ජිතේන්ද්‍ර සිං මේ සතියේදී මුල්ම දේශපාලන බෝම්බයක්‌ පුපුරුවා හැරියේය. ඒ ජම්මු කාශ්මීරය විශේෂ ප්‍රාන්තයක්‌ ලෙස ඉන්දීය ව්‍යවස්‌ථාවේ 370 නැමැති තාවකාලික වගන්තිය ඉවත් කිරීම ගැන සාකච්ඡා අරඹන බව පැවසීම ය. 

ජම්මු කාශ්මීරය ඉන්දියාවේ ප්‍රාන්තයක්‌ බවද හෙතෙම කියා සිටියේය. 

ජම්මු කාශ්මීරයේ උදම්පූර් ආසනයේ භාරතීය ජනතා මන්ත්‍රී වූ ජිතේන්ද්‍ර සිං කළ ප්‍රකාශයට ජම්මු කාශ්මීරයේ මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා දැඩි ලෙස විරෝධය දැක්‌වීය. 

ජිතේන්ද්‍ර සිං කළ මේ ප්‍රකාශය නිසා ඉන්දීය කොන්ග්‍රස්‌ පක්‍ෂය හා සී. පී. අයි. හෙවත් කොමියුනිස්‌ට්‌ පක්‍ෂයද විරෝධතාවයන් පළ කරනු ලැබීය.

ජම්මු කාශ්මීරයේ ව්‍යවස්‌ථාපිත සභාවේ අවසරය නැතිව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 370 වගන්තිය අහෝසි කළ නොහැකි බවද මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා තවදුරටත් කියා සිටියේය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ ආර්. එස්‌. එස්‌. හෙවත් රාෂ්ටි්‍රය ස්‌වයං සේවා සංවිධානය පැවසූවේ ව්‍යවස්‌ථාවේ අංක 370 වගන්තිය අහෝසි කළත් නැතත් ජම්මු කාශ්මීරය ඉන්දියාවේ කොටසක්‌ බවයි. ජම්මු කාශ්මීරය ඕමාර් අබ්දුල්ලාගේ මව්පියන්ගේ වතුයාය කියා සිතන්නේද යෑයි ආර්. එස්‌. එස්‌. සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ ගැන පීපල්ස්‌ ඩිමොක්‍රටික්‌ පක්‍ෂයේ නායිකා මෙහෙබූබා මුප්ටි පැවසූවේ ජිතේන්ද්‍ර සිං ගේ මේ ප්‍රකාශය තුළින් දැඩි අනතුරුදායක තත්ත්වයක්‌ මතු වන බවයි.

මෙම අර්බුදය සමනය කර ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදි මැදිහත් විය යුතු බවද මුප්ටි පළ කළාය.

මෙහි 370 වැනි වගන්තිය යටතේ ආරක්‍ෂක විදේශ කටයුතු, මුදල් සහ සන්නිවේදන කටයුතු හැර අනිකුත් නීතිරීති මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා යටතේ ක්‍රියාත්මක වේ.

මෙකී වගන්තිය මත යුද්ධයක්‌ හෝ විදේශ ආක්‍රමණයක්‌ මත මිස ජම්මු කාශ්මීරයේ හදිසි නීතිය ප්‍රකාශ කළ නොහැකිය. දැන් ජම්මු කාශ්මීරයේ ඇති වී තිබෙන තත්ත්වයම ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයටත් ලබා ගැනීමට මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් උත්සාහ කරයි.

13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලතල පවා ඔහු ඉල්ලා සිටියි. ආරක්‍ෂක කටයුතු බලතල ජම්මු කාශ්මීරයට දී නැතත් උතුරට පොලිස්‌ බලතල ඉල්ලා සිටී. එසේම සන්නිවේදන කටයුතුවල බලතල පවා හිමි වී ඇත්තේ නවදිල්ලි රජයටය.

ඉන්දීය නව අගමැති මෝදි මෑතකදී ශ්‍රී ලංකා ජනාධිපති සමග 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය කියා සිටී. ජනාධිපති රාජපක්‍ෂ මහතා සමග ඉන්දියාවට ගිය යාපනය නගරාධිපතිනිය පවසන්නේ 13 සංශෝධනයෙන් ඔබ්බට බලතල දිය යුතු යෑයි මෝදි පැවසූ බවයි. එහෙත් ජම්මු කාශ්මීරය ගිනි බෝම්බයකි. එකී ප්‍රාන්තයට ආරක්‍ෂක බලතල දුන්නා නම් දැනටමත් බරපතළ අරගල ආරම්භ වනු ඇත. 

ඉන්දීය ව්‍යවස්‌ථාවේ 370 වගන්තිය මත විශේෂ ප්‍රාන්තයක්‌ බවට ජම්මු කාශ්මීරය නම් කිරීමේ ප්‍රතිඵලයට කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධිද මුහුණ පෑවාය.

ඇයට ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපළින් එළියට ඒමට මහ ඇමැති ඕමාර් අබ්දුල්ලාගෙන් අවසර ගැනීමට සිදු විය.

එවැනිම තත්ත්වයක්‌ මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයේදී මතු විය. නවදිල්ලියේ සිට කමාන්ඩෝ භට කණ්‌ඩායමක්‌ මුම්බායි වෙත එවීම සඳහා පැය 6 ක්‌ ගත වූයේ මහ ඇමැති සතු බලතල නිසාය.

මෑතකදී චෙන්නායිහි දුම්රියක බෝම්බ පිපිරීම් සිදුවිය. නවදිල්ලිය පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ එවීමට උත්සාහ කළත් මහ ඇමැතිනී ජය ලලිතා ඊට ඉඩ දුන්නේ නැත.

මේ පසුබිම මැද ජම්මු කාශ්මීරයට ආරක්‍ෂක බලතල නැත්නම් උතුරු පළාත් සභාවට පොලිස්‌ බලතල දිය යුතුද?

උතුරට 13 වැනි සංශෝධනය ප්‍රකාර පොලිස්‌ බලතල දුන්නොත් සිදුවන්නේ මෙවැනි ක්‍රියාදාමයන්ය.

1.පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි ගණනකට කැඩීයාම
2. ත්‍රස්‌තවාදී හෝ වෙනත් අපරාධ ගැන විමර්ශන පැවැත්වීම සඳහා උතුරට යැමට රහස්‌ පොලිසියට නොහැකි වීම. 
3. රටේ නායකයන්ට හා හමුදා ප්‍රධානීන්ට පලාලි ගුවන්තොටුපළින් එළියට ඒමට ඉඩ නොලැබීම 
4. වර්ධරාජා පෙරුමාල් මෙන් ද්‍රවිඩ පොලිස්‌ ඒකකයක්‌ ආරම්භ කර ගැනීමට මහ ඇමැති විග්නේශ්වරන්ට ඉඩ ලැබීම.

මේ හැර වෙනත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට රජයට හා ආරක්‍ෂක අංශවලට සිදු වනු නියතය.

මෙයට කලකට පෙර ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක්‌ හා ඉන්දීය රජයේ බලධාරීන් අතර නවදිල්ලියේදී ඉහල පෙළේ සාකච්ඡාවක්‌ පැවැත්විණි. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු පැවසූවේ ප්‍රාන්තවලට පොලිස්‌ බලතල දීමෙන් ඉන්දීය පොලිසිය දැඩි ප්‍රශ්න රැසකට මුහුණ පා ඇති බවයි.

මේ තත්ත්වය මත ජම්මු කාශ්මීරය සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක්‌ ඉන්දීය රජය හමුවේ පවතී. දැනටමත් බලතල පැවරීමකින් තොරව උතුරු පළාත් සභාව රජයටත් හමුදාවටත් එරෙහිව යෝජනා රැසක්‌ සම්මත කරගෙන ඇත.

එසේම ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි ඉවත් කළ යුතු බවද කියා සිටී. මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමටද ක්‍රියාකරනු ලැබීය. මෙය දැඩි අනතුරුදායක පෙරනිමිති බව දැක්‌විය හැකිය.

පෙරේදා (28දා) සවස කිළිනොච්චියේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක්‌ හමුදාවට එරෙහිව විරෝධතා පළ කළේය.

ප්‍රභාකරන් විසින් මියගිය ත්‍රස්‌තවාදීන් සමරමින් මහාවිරුදින දේශනය පැවැත්වූ ඉඩම හමුදාවෙන් අත්පත් කර ගැනීම එකී පිරිසගේ අරමුණ විය.

පොලිස්‌ හා ඉඩම් බලතල ඉල්ලන්නේ කුමකට දැයි මෙකී විරෝධතාවලින් සනාථ වේ.

නරේන්ද්‍ර මෝදි රජය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත් වී නැතත් ජම්මු කාශ්මීරයේ තත්ත්වය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේත් ස්‌ථාපිත කරලීම ද්‍රවිඩ සන්ධානය හා උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත. 

උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ විග්නේෂ්වරන් මෑතකදී පැවසූවේ රජයේ චින්තනය මත කටයුතු කිරීමට පළාත් සභාව ක්‍රියා නොකරන බවයි.

එසේ නම් එකී පළාත් සභාවේ ඉලක්‌කය කුමක්‌ද? ජම්මු කාශ්මීර් මහ ඇමැතිගේ ප්‍රාන්ත රජය කාශ්මීර් ත්‍රස්‌තවාදීන් සැමරීමට ක්‍රියා නොකළත් උතුරු පළාත් සභාව ත්‍රස්‌තයන් සමරා ඇත.

එය රජයට හා හමුදාවට එල්ල වූ අභියෝගයක්‌ පමණක්‌ නොව ඉදිරියේ සිදු වීමට නියමිත සතුරු ක්‍රියාවල පූර්වාදර්ශයක්‌ ලෙස සැලකිය හැකිය.

මැලේසියානු කොටි තිදෙනා අසු වූයේ එවන් පසුබිමක්‌ මතය. එකී කොටින්ගේ ඉලක්‌කයද මෙරට බෙදුම්වාදය යළි නගාසිටුවීම බව සනාථ විය. මේ සිදුවීම් අනාගත අනතුරු ඇඟවීම්ය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/05/30/feature01.html

Pic Source

0 comments: