Pages

Friday, May 16, 2014

වෙසඟේ අසිරියෙන් රටම ඒකාලෝක වෙයි

තථාගත බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කෙරෙමින් උදාවූ වෙසක්‌ පුන් පොහෝය සමරා ඊයේ (14 වැනිදා) රට පුරා පැවති විවිධ පින්කම් හේතුවෙන් මුළු රටම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇළලී ගියේය. 

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු අටමස්‌ථානයන්හි සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාව, කැලණි රජමහා විහාරය ආදී වශයෙන් වූ සුවහසක්‌ බොදු ජනතාවගේ වන්දනීයත්වයට පත් වෙහෙර විහාර සෑම එකකම පාහේ ඊයේ (14 දා) හිමිදිරියේ සිට දාන, ශීල හා භාවනා වැඩසටහන් සංවිධානය කර තිබුණු අතර බාල, මහලු, වැඩිහිටි භේදයකින් තොරව උවසු උවැසියෝ විශාල පිරිසක්‌ පෙහෙවස්‌ සමාදන්ව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ඊට සහභාගි වී සිටියහ. 

උදාවූ සාමයෙන් වසර පහකට පසු මෙවර වෙසඟේ දී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්‌වා වූ රටේ සියලු ප්‍රදේශයන් වෙසක්‌ අසිරියෙන් ඒකාලෝක වී තිබීමද විශේෂත්වයකි. 

මෙවර වෙසක්‌ පුන් පොහෝය නිමිත්තෙන් රට පුරා පාසල්වල සිසු දරු දැරියෝ ලක්‍ෂ තිහක්‌ පමණ බුදු දහමට අනුව පිළිවෙත් වඩමින් පෙහෙවස්‌ සමාදන්වී සිටිනු දැකීමද පින්බර දසුනක්‌ම විය.

රජය මගින් සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක්‌ උත්සවය පොළොන්නරුවේදී අද (13දා) පැවැත්වෙයි. ඊයේ (14 දා) සවස්‌ වන විට සුපුරුදු ලෙසින් ආමිස පූජාවන් පවත්වමින් ප්‍රදර්ශනය කෙරුණු තොරණ, වෙසක්‌ පහන් කූඩු, වෙසක්‌ නාට්‍ය ආදිය ඇතුළු විවිධ සැරසිලි හේතුවෙන් මුළු රටම විචිත්‍රවත් වී තිබිණි.

මෙවර වෙසක්‌ උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ වෙසක්‌ තොරණ හා දන්සල් රාශියක්‌ පැවත්විණි. 58 වන වරටත් ඉදිකර තිබුණු නවලෝක තොරණ, දෙමටගොඩ වෛශාඛ්‍ය සමිතිය ඉදිරිපත් කරන තොරණ, කොස්‌ගස්‌ හන්දිය තොරණ, ගංගාරාම විහාරය පරිශ්‍රයේ වූ බුද්ධ රශ්මි වෙසක්‌ කලාපය ආශ්‍රීතව ඉදිකර තිබූ තොරණ, අරලියගහ මන්දිරය අභියස තොරණ, ගාලු මුවදොර තොරණ, කොළඹ මැනිං වෙළඳපොළ තොරණ ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක තිබිණි.

කොළඹ බෞද්ධාලෝක වෙසක්‌ කලාපය, දියවන්නා වෙසක්‌ කලාපය ඇතුළු වෙසක්‌ කලාප කිහිපයක්‌ සමුබුදු තෙමඟුල නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව සංවිධානය කර තිබුණු අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් කොළඹ නගරය විදුලි බුබුලින් සරසා තිබීමෙන් මුළු කොළඹම ආලෝකවත් වී තිබිණි.

කොළඹ නගරයේ වෙසක්‌ අසිරිය විඳ ගැනීම සඳහා ඊයේ (14 දා) රාත්‍රි වන විට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ නගරය වෙත ළඟා වී සිටියහ. ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළ ගණනාවක්‌ ක්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුත කර තිබිණ. 

සාමය උදාවී පස්‌ වසරකට පසු මෙවර වෙසඟේදී උතුරේ ජනතාවද සම්බුදු තෙමඟුල සමරන්නට පියවර රැසක්‌ ගෙන තිබීමෙන් යාපනය අර්ධද්වීපයද වෙසක්‌ අසිරියෙන් විචිත්‍රවත් වූ බවද වාර්තා විය.

මෙහිදී ආරක්‍ෂක හමුදාවෝද උතුරේ ජනතාව සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමින් වෙසක්‌ සැරසිලි රාශියකින් යාපනය නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක්‌ විචිත්‍රවත් කරනු ලැබූහ. යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් දර්ශනීය වෙසක්‌ තොරණක්‌ ඉදි කිරීමටද ආරක්‍ෂක අංශ කටයුතු කර ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2014/05/15/news02.html

Pic Source

0 comments: