Pages

Saturday, May 24, 2014

ආලවට්‌ටම් දමා විකෘති කර කෑමෙන් බතෙහි නියම ගුණ ලැබෙන්නේද ?

බත් මූලික කොට ගත් අංග සම්පූර්ණ ආහාර වේල ලෝකයේ ඇති උසස්‌ම ආහාර වේල බවත් එය අපට තුන් වේලටම සුදුසුම ආහාර වේල බවත් අපි වසර ගණනාවක සිට පෙන්වා දෙමින් සිටින්නෙමු. අද අපේ රටේ මිනිසුන් උදේට සහ රෑට බත් කෑමෙන් ඉතා කණගාටුදායක සහ බරපතල ලෙස ඈත් කර ඇති නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට අපි ලිපි දෙකක්‌ම වෙන් කළෙමු. තවමත් හැමදෙනාම නැතත් බොහෝ දෙනෙක්‌ දවල්ට නම් බත් ටිකක්‌ හෝ ආහාරයට ගනිතිs. එහෙත් එසේ දවල්ට කන්නේද හෙළ රටාවට පිසූ බත් නම් නොවේ. විවිධ අයුරින් විකෘති කර අධික මිලට විකුණන බත් අද බොහෝ දෙනා මහත් අභිරුචියෙන් බුදිති. එසේ බතෙහි සෞඛ්‍යාරක්‌ෂිත බව විනාශ කරමින් එය විකෘති කර ඇති විට කෑමෙන් බත් වලින් ලබා ගත හැකි නියම ගුණ කන්දරාව ලබා ගත නොහැකිය.

මේසේ විකෘති කර ඇති එක බතක්‌ හැඳින්වෙන්නේ ''අකුරු තුනක බුරියානි'' යක්‌ ලෙසය. තවත් විකෘති බතක්‌ ''රයිස්‌ මැක්‌'' නමින් හැඳින්වෙයි හෙළ බත ආක්‍රමණය කර ඇති ''චීන මකරුන්'' එක්‌ හන්දියකට කීපය බැගින් දැක ගත හැකිය. චීන මකරා සමග මත් දියර රකුසාද එක්‌ වී අපේ සමාජය ශීඝ්‍රයෙන් විනාශ මුඛයට ඇදගෙන යයි. දැන් මංගල උත්සව, සාද, ප්‍රිය සම්භාෂණ ආදියේද තිබෙන්නේ විකෘති බත් මිස හෙළ බත නම් නොවේ. විකෘති බත සාංඝීක දානයද ආක්‍රමණය කොට ඇති අතර අද බොහෝ ගෙවල් වල මල බතට පවා ඉදෙන්නේ විකෘති බතකි. විවිධ නම් වලින් හැඳින්වෙන එම විකෘති බත් කන්නට හුරු වූ තැනැත්තාට සාමාන්‍ය බත් ආහාරයට ගත නොහැකිය. එයට හේතුව ඒවාට ඇබ්බැහි වූ පසුව සාමාන්‍ය බත් කිසිම රසක්‌ නැත් සේ දැනෙන නිසාය. කුඩා දරුවන් සම්බන්ධයෙන් මෙය ඉතා කණගාටුදායක අන්දමින් බලපායි.

විකෘති බත් සෑදීමේදී අනිවාර්යෙන්ම බත බැදගැනීම සහ ඊට තෙල් සහ මේද වර්ග එක්‌කිරීම සිදුකරයි. මේසේ එක්‌ කරන තෙල් සහ මේද බොහෝවිට සෞඛ්‍යයට ඉතා හානිකර සත්ත්ව තෙල් වෙයි. එසේත් නොමැතිනම් හෘදයාබාධ සහ පිළිකා ආදිය ඇතිකිරීමට බෙහෙවින් දායක වන ට්‍රාන්ස්‌ මේද අම්ල බහුලව අඩංගු වන මාගරින් වර්ග වෙයි. චීන අවන්හල් වලදී මෙන්ම අනෙකුත් විකෘති බත් විකුණන තරු පහේ සිට තරු නැති හෝටලය දක්‌වා වූ සෑම තැනකදීම මෙම බත් වලට මොනෝ සෝඩියම් ග්ලුටමේට්‌ නැමැති ජනප්‍රිය නාමයකින් හැඳින්වෙන රස උත්තේජකය හෙවත් කෘත්‍රිම ලුණු වර්ගය අධික ලෙස එකතු කරයි. චීන අවන්හල් සහ එම පන්නයට බත් විකෘති කරන අනෙකුත් ස්‌ථාන වල මෙම රස උත්තේජකය කොතරම් දරුණු ලෙස භාවිතා කරනවාද යත් එය විෂවී සෑදෙන රෝගය හඳුන්වන්නේ ''චීන අවන්හල් රෝගය'' ලෙසිනි.

මෙම රෝගයේ ලක්‌ෂණ කීපයක්‌ වන්නේ ඔක්‌කාරය, හිසරදය සහ කරකැවිල්ල, ඇඟ රතුවීම අවධානය යොමු කරන්නට නොහැකි විම ආදිය වෙයි. චීන අවන්හල් පන්නයේ කෑම නිතර බුදින දරුවන් අතර මෙම තත්වය බහුලව දැකගත හැකි අතර එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලටද ඉතාම අහිතකර ලෙස බලපායි. එම කෘත්‍රිම ලුණු වලට අමතරව ස්‌වභාවික ලුණුද මෙම විකෘති බත් වලට එක්‌ කරණු ලබයි. මෙම විකෘති බත් වලට මුද්දරප්පලම් ආදී පලතුරුද එක්‌ කරන්නේ යෑයි මේවාට ලොල් වූ අය තර්ක කළ හැකිය. එහෙත් ඒවා පිටරටින් ගෙන්වන ලද වියලන ලද විෂගැල්වූ රොඩු මිස පලතුරු නොවන බව එවැනි ලෝලීන්ට මතක්‌ කර දිය යුතුය. මෙම බත් විකෘති කිරීමේ ක්‍රියාවලියේදී විවිධ රසකාරක, වර්ණකාරක, සීනි සහ රස උත්තේජක ඇතුළත් සෝස්‌ වර්ගද බහුලව භාවිතා කරයි.

මෙම විකෘති බත් සෑදීම සඳහා අමුද්‍රව්‍ය සේ ගන්නා සහල්ද ඉතාම තදින් පාහින ලද වඩා සෞඛ්‍යාරක්‌ෂිත කොටස්‌ ඉවත්කරන ලද ඇටද ඉතා කුඩා ඒවා වෙයි. මෙම විකෘති බත් ''ප්‍රයිඩ් රයිස්‌ '' ''ඩෙවෙල්'' ''චයිනීස්‌ ෆුඩ්'' ආදී මිල අධික නම් වලින් හඳුන්වයි. එසේ හැඳින්වත්, එසේ හඳුන්වා සාමාන්‍ය බත් මෙන් කීප ගුණයකට අලවි කළත් මෙහිදී කර ඇත්තේ අප මීට පෙර ලිපි වලදී විස්‌තර කළ බත්වල ඇති යහ ගුණ අහිමි කිරීමයි. බතට අගුණයන් එක්‌ කිරීමයි.

බත් වල තිබෙන එක්‌ යහගුණයක්‌ සේ අප විස්‌තර කළේ එහි මේදය අවම වීමයි. එහෙත් මෙම විකෘති බත් වලට අප ඉහත කී ආකාරයෙන් සත්ත්ව මේදයද ඇතුළු ඉතා අහිතකර මේදය අධික ප්‍රමාණයක්‌ එක්‌ කර ඇත. බත් වල සෝඩියම් ලවණ හෙවත් ලුණු අඩු වීමද තවත් යහගුණයකි. නමුත් විකෘති බත් වලට සාමාන්‍ය ලුණු මෙන්ම මොනො සොඩියම් ග්ලුටමේට්‌ නැමති කෘත්‍රිම ලුණුද බහුල වශයෙන් එක්‌ කර එම යහ ගුණයද නැත්තටම නැති කර මහ අගුණයක්‌ බවට පත් කර ඇත. බත් වල යහගුණ උපරිම වශයෙන් ඇතිතේ බත් ඇටයේ තන්තු, ස්‌වභාවික විටමින්, වර්ග ප්‍රොaටීන් මෙන්ම අත්‍යවශ්‍ය මේද අම්ලද සාන්ද්‍ර වී ඇති පිට වටයෙහි සහ කළලයෙහිය. නමුත් මෙම විකෘති බත් සෑදීමට ගන්නා සහල් ඉතාම තදින් පාහින ලද ඔප ගැන්වූ ඒවා වන නිසා එම යහ ගුණ නැත්තටම නැතිවන තත්ත්වයට පත් කෙරී ඇත. මෙම විකෘති බත් ආහාරයට ගන්නේද බැදපු මස්‌, සීනි අඩංගු සෝස්‌ ආදිය සමග වන නිසා මෙම තත්වයන් වඩාත් බරපතල තත්වයකට ඇද වැටෙයි.

මෙම විකෘති බත් නිතර බුදීමෙහි අනෙක්‌ භයානක ප්‍රතිඵලය වන්නේ යහගුණය පිරි ස්‌වභාවික බත් ආහාරයට ගැනීමට ඇති රුචිය සම්පූර්ණයෙන්ම විනාශ වී යාමයි. අපේ හරපද්ධතියට පයින් ගසමින් සිල්රෙදි ඇ`දගෙන මල පෙරේත කම විදහා දක්‌වමින් කුකුල් ගාත් ප්‍රස්‌ද්ධියේ සූප්පු කරමින් අකුරු තුනේ බුරියානි ගිලින නාකි ජෝඩු බිහිවී ඇත්තේද, රයිස්‌ මැක්‌ නොමැතිව කිසිවක්‌ කන්නට බැරි බලු මැක්‌කන් බෝවී ඇත්තේද, අම්මලා තාත්තලාට චයිනීස්‌ ප්‍රයිඩ් රයිස්‌ නැත්නම් කටක්‌වත් කන්නේ නෑ යෑයි අභියෝග කරන දරුවන් බිහිවී ඇත්තේද එබැවිනි.

අද සමාජයේ මෙම බත් විකෘතිකිරීමේ ක්‍රියාවලිය කොතරම් දරුණුවට සිදුවෙනවාද යත්, අප රටේ දෙයට ඇ`එම් කරන මනෝවෛද්‍ය විශේෂඥවරයෙක්‌ වරක්‌ පවසා තිබුණේ මගුල් ගෙදරක ගියත් ඇත්තේ බැදලා විනාශකර ඇති බත් නිසා තමන්ට කන්නට කිසිවක්‌ මගුල් ගෙදර නැති බවයි. ආපසු ගෙදර ගිහින් බත් ටිකක්‌ කන්නට තමන් බෙහෙවින් කැමති බවද ඔහු පවසා තිබුණි. අෂ්ඨක ගායනා කරන මහත්වරුන්ට නිතරම මගුල් ගෙවල් වල අෂ්ඨක කීම සඳහා ආරාධනා ලැබෙයි. මෙසේ අෂ්ඨක ගායනයට දක්‌ෂ එක්‌ මහතෙක්‌ නිතර මගුල් ගෙවල් වලින් ආහාර ගැනීම නිසා රෝගාතූර විය. එම ආහාර වල වරද වටහා ගත් ඔහු කළේ මගුල් ගෙදර යන විට බත් මුලක්‌ ගෙදරින් බැඳගෙන ගොස්‌ කෑමය. ඉන් පසු ඔහු කෑමෙන් රෝගාතුර වූයේ නැත. ඒ බව ඇසූ එසේ නිතර රෝගාතුර වන අෂ්ඨක කියන තවත් මහතෙක්‌ ද එම පිළිවෙතම අනුගමණය කළේය. ඉන් පසු ඔහුද රෝගාතුර වීම සිදුවූයේ නැත.

එදා අපේ රටේ මිනිසුන් මගුල් ගෙදරක ගිය විට හෙළ රටාවට ඉවූ අහරෙන් හොඳින් බඩ කට පුරවා ගත්තේය. එහෙත් අද බොහෝ විට සිදුවන්නේ මගුල් ගෙදරකින් කෑම කෑ පසු රෝහල් ගත වන්නටය. බත් වල සිට කන්කුන් හරහා පපඩම් දක්‌වා සියල්ලම තෙළෙන් බැද ඇති කෑම සහිත මගුල් ගෙවල් වල කෑම රටාව සහ ඒ හා බැඳුණු මත් දියර බීමද අද ඒ තරමටම දරුණුය. මගුල් නැකැත් කාලයට රෝහල් වල වාට්‌ටුද ඊට අනුරූපව පිරී යාමෙන් ඒ බව මොනවට ඔප්පු වෙයි. එම නිසා මගුල් ගෙදරක යන විට ගෙදරින් උයාගත් බත් මුලක්‌ අරගෙන ගොස්‌ මනාල යුවලට කතා බස්‌ කොට බත් මුල ලෙහාගෙන කා ගෙදරින් ගෙන ගිය වතුර බෝතලයද බී එන්නට නිරිදේශ කරන්නට වෛද්‍යවරුන්ට සිදුවෙන දිනය අත ලඟ බව අපට නිසැකවම පැවසිය හැකිය.

අකුරු තුනේ බුරියානි කාරයින්ටද, රයිස්‌ මැක්‌කන්ටද, ප්‍රයිඩ් රයිස්‌ මකරුන්ටද රැවටී බත් විකෘති කොට විෂම ලෙස ආහාරයට ගන්නට පුරුදු වී ඇති අය අපි බත් කාලාත් මේ ලෙඩ හැදුනානේ කියා මැසිවිලි නගති. නමුත් එම මැසිවිලි වලට බත් පලි නැත. ඔවුන් කර ඇත්තේ ''මකරුන්ගේ '' කීමට විකෘති බතට රැවටී ඒවා ආහාරයට ගෙන ලෙඩරෝගද සාදාගෙන මුදල් පසුම්බියද හිස්‌කර ගැනීමයි.

බතෙහි යහගුණ ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට කළ යුත්තේ හෙළ රටාවට පිසූ බත් හෙළ රටාවට සකස්‌ කළ ව්‍යාංජන මැල්ලුම් ආදිය සමග ආහාරයට ගැනීමයි. එවිට ඔබට මනා පෝෂණයද ලබාගනිමින් නිරෝගීභාවයද මුදල් පසුම්බියද ආරක්‌ෂා කර ගත හැකිය. තුන් වේලටම හෙළ රටාවට බත් කන ඔබට ජය නියතය. 

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2014/05/25/feature03.html

0 comments: