Pages

Friday, May 16, 2014

නවීනතම තාක්‍ෂණය මෙරටට හඳුන්වාදීමෙහිලා මොබිටෙල් පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ සංවර්ධනයේ ඊළඟ පියවර උදෙසා වූ අතිනවීන තාක්‍ෂණය මෙරටට හඳුන්වාදීමෙහිලා පෙරමුණ ගැනීමට තමන් සූදානම් බව, මෙරට ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ආයතනය පවසයි. එම ආයතනය මේ අදහස්‌ පළකරන්නේ නුදුරේදී එළඹෙන අන්තර්ජාතික විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය (International Telecommunications and Information Society Day)නිමිත්තෙනි.

සිය සුප්‍රකට තේමා පාඨය වන "ඔබ සමගයි. සැමදා" අනුව යමින්, ලොව නව නිර්මාණ සහ දියුණුතම තාක්‍ෂණය සමග සමගාමීව කටයුතු කිරීමට තමන් හැමවිටම පියවර ගන්නා බව සමාගම අවධාරණය කර සිටියි. එමෙන්ම රටේ තිරසාර සංවර්ධනයට උරදීම සඳහා සිය අන්තර්ජාල හා බ්‍රොඩ්බෑන්ඩ් පහසුකම් වර්ධනය කිරීමටත් නව තොරතුරු හා සන්නිවේදන යෙදුම් (ICT Applications) හඳුන්වාදීමටත් සමාගම අපේක්‍ෂා කරයි. 1993 වසරේදී ආරම්භ කිරීමෙන් අනතුරුව මොබිටෙල් සමාගම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජනයන් සිදුකර ඇති අතර සිය ජාලයේ වැඩිදියුණු කිරීම් අඛණ්‌ඩව සිදුකිරීම සඳහා කැපවී සිටී. දැනට සිදුවන පුළුල් කිරීම් යටතේ නව සන්නිවේදන මධ්‍යස්‌ථාන (Base Stations) 1,800 ක්‌ ස්‌ථාපනය කිරීම පසුගිය වසරේ ආරම්භ විය. දැනට පවතින එබඳු ස්‌ථාන 3,500 සමග මේ නව සංවර්ධනයේ ප්‍රතිඵල එක්‌ කිරීම මගින් මෙරට සමස්‌ත ජනගහනය 100% ක්‌ ආවරණය කිරීම අරමුණ වේ.

මොබිටෙල් හි මෙහෙයුම් පදනම් වී ඇත්තේ වටිනාකම් නව්‍යකරණය හා පාරිභෝගික කේන්ද්‍රියත්වය යි. මෙය සාක්‍ෂාත් කරගැනීම සඳහා නව තාක්‍ෂණය, බෙදාහැරීම් ක්‍රම, නිෂ්පාදන හා අගය එකතු කළ සේවාවන් ආදී සාධක පිටුබලය ලබා දේ. එමෙන්ම ඉහළම තත්ත්වයේ සේවාවක්‌ ඔස්‌සේ පාරිභෝගික අවශ්‍යතාවන් වඩාත් හොඳින් ඉටුකිරීමද මෙහි ඉතා වැදගත් පියවරකි.

මොබිටෙල් හඳුන්වාදුන් පුරෝගාමී ව්‍යාපාරික විසඳුම් අතරට දුම්රිය හා ගුවන් ටිකට්‌පත් වෙන්කරගැනීමේ පහසුව සලසන 'mTicketing' සේවාව, වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවක්‌ ලබාගැනීමේ අවස්‌ථාව ලබාදෙන 'mHealth' සහ 'Doc Call' සේවාවන් වඩාත් විශ්වාසදායි GPS tracking විසඳුමක්‌ වන 'mTrack' සේවාව, පාසල් සිසුන්ගේ ආරක්‌ෂාව තහවුරු කරන ඉලෙක්‌ට්‍රොනික කාඩ්පතක්‌ වන ICard' හෝටල් වෙන්කරගැනීම සඳහා භාවිතා කළ හැකි විශේෂ සේවාවක්‌ වන 'mReservations', ගමන්බිමන් සඳහා ඉක්‌මනින් ත්‍රිරෝද රථ සොයාගැනීමේ අවස්‌ථාව සලසන 'mTaxi' සේවාව, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට වඩාත් හොඳ ඉගෙනුම් අවස්‌ථා හිමිකර දෙන 'mLearning' සේවාව, ඉන්ධන පිරවුම්හල්වලදී භාවිතා කළ හැකි NFC ක්‍රමය පදනම් කරගත් ඉන්ධන කාඩ්පත් ක්‍රමය සහ තේ වෙන්දේසි අලෙවි කටයුතු පිළිබඳ විස්‌තර සජීවීව ලබාදෙන 'mAuction' සේවාව ආදී සේවාවන් විශේෂයෙන් සඳහන් කළ හැක.

http://www.divaina.com/2014/05/16/velanda01.html

Pic Source

0 comments: