Pages

Friday, May 30, 2014

මල්වතු මහා නාහිමියෝ ජාතියේ පුණ්‍යවන්ත දායාදයකි - ජනපති

දේශයේ අනන්‍යතාව සුරකිමින් පරම පවිත්‍ර වූ සිල්වත් බවත් ගුණවත් බවත් පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සිදුකරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ජාතියේ පුණ්‍යවන්ත දායාදයක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහ නාහිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් පණිවුඩයක්‌ නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩය මෙසේය.

මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උත්තරීතර මහානායක, මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක්‌ නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ඓතිහාසික මාතලේ දිසාවේ කොහොන්සිය පන්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ගම් පියසේදී වර්ෂ 1944 මැයි මස 30 වැනි දාවක ජන්ම ලාභය ලද අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, එවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක පදවියට පත් කරනු ලැබූ අති උත්තම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පරම පූජනීය මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ නමකි.

සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මත්, සරණක්‌ අවැසි සුවහසක්‌ අසරණ මිනිසුන්ගේ හදවත් සදහම් සිසිලසින් පුරවාලීමේ මහා කාරුණික සිතිවිල්ලත් තම ඒකායන අධිෂ්ඨානය කර ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, තම දිවියට දහතුන් වසරක්‌ සපිරෙන දා මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාර පුදබිමෙන් සසුන් කෙතට පා තැබූහ.

වර්ෂ 1964 ජුනි මස 10 වැනිදා ශ්‍රේෂ්ඨ "වාහලනාග" නාමයත් සමඟින් උතුම් උපසම්පදා සම්පත්තිය ළඟා කර ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, තමන් වහන්සේගේ ස්‌ථිරසාර වූ ශාසනික පැවිදි මෙහෙවරේ නිම් වළලු වඩ වඩාත් පුළුල් කරමින්, දිවයිනේ සතර දිග් භාගයේ වෙසෙන දනන් සියල්ලන්ගේම හිත සුව පිණිස අරුත්බර දහම් කරුණු කාරණා අවබෝධ කරවාලීමේ මා හැඟි උත්තුංග කර්තව්‍යය ඇරඹීය.

අපරිමිත මුණිගුණ නිබඳව සිත්හි දරා මහත් වීර්යයකින් මෙන්ම දැඩි අධිෂ්ඨානයත් පෙරදැරිව ඇරඹි ඒ ගමන් මඟ ඔස්‌සේ ගමන් ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, එතරම් කලක්‌ ගත වන්නටත් මත්තෙන් හෙළයේ මහා මුදුන් මල්කඩ වන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ තේවාව භාර නායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ වීමේ භාග්‍යය ද හිමි කරගන්නට තරම් මහා වාසනාවන්ත වූයේ ඔබවහන්සේගේ පැවිදි දිවියේ තවත් එක්‌ අමරණීය මං සලකුණක්‌ සනිටුහන් කරවමිනි.

"යො මුඛසඤ්ඤතො භික්‌ඛු - මත්තභාණි අනුද්ධතො
අත්ථං ධම්මං ච දිපෙතී - මධුරං තස්‌ස භාසිතං"

යම් භික්‍ෂුවක්‌ තමන් වහන්සේගේ කට තැන්පත් කරගත්තේ ද, තමන්ගේ පමණ දැන කථා කරයි ද, සන්සුන් සිත් ඇත්තේ ද, එමෙන්ම අර්ථයත්, ධර්මයත් මනාව ප්‍රකාශ කරයි ද, එම භික්‍ෂුවගේ කථා විලාසය මිහිරි වේ යන උතුම් සම්බුදු වදන් පෙළ අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ සැබැවින්ම යථාර්ථයක්‌ කළා වූ ආදර්ශවත් මහා තෙර නමකි.

ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමස්‌ත ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවකින් පෙන්වා වදාළ, සවිඤ්ඤාණක - අවිඤ්ඤාණක වූ සියල්ලෙහිම ඇති අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය දැන, තථාගතයාණන් වහන්සේ පහදා දුන් ඒ උතුම් වූ සද්ධර්මාවබෝධය ලෝකයාට පසක්‌ කරවීමේ භික්‍ෂුවක්‌ සතු උත්තුංග කාර්යය සැබැවින්ම ඔබවහන්සේගෙන් විරාජමාන වන්නා සේම, ප්‍රශංසනීය ද වේ.

අද දිනයේ ඔබවහන්සේ තම දිවියේ 70 වැනි ජන්ම දිනය මහත් අභිමානයකින් යුතුව සමරන්නා සේම, ඔබවහන්සේගේ පැවිදි දිවියේ ස්‌වර්ණමය අභිෂේකය වූ ස්‌ව නිකායත්‍රයේ මහානායක මහා පදවිය ලබා දස වර්ෂ පූර්ණය ද එළැඹෙන ජුනි මස 21 වැනිදා සපිරීම මහත් භාග්‍යයකි.

දේශයේ අනන්‍යතාවය සුරකිමින්, පරම පවිත්‍ර වූ සිල්වත් බවත්, ගුණවත් බවත්, පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සමුදායක්‌ ඉෂ්ට සිද්ධ කරන ඔබවහන්සේ, සැබැවින්ම ජාතියේ පුණ්‍යවන්ත දායාදයකි. ඔබ වහන්සේගේ අනභිබවනීය වූ ශාසන මාමකත්වයට මා ඇතුළු සමස්‌ත ජාතියම මේ සුවිශේෂී වූ මොහොතේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන්නේ, එවන් වූ දීප්තිමත් සඟ මෙහෙවරක්‌ ඉදිරියටත් ඔබවහන්සේගෙන් විද්‍යමාන වනු ඇතැයි යන බලාපොරොත්තු දල්වා ගත් දැසිනි.

තම දිවියෙන් පුරා පණස්‌ හත් වසරක්‌ම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ම පූජා කළ අපේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේට, බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ පිහිට ලබා, උතුම් දළදා වහන්සේගේ හා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්, ශ්‍රී පාදස්‌ථානයේ, අටමස්‌ථානයේ, සොළොස්‌මස්‌ථානයේ පිහිටෙන්, දඹදිව සම්බුදු පා පහස ලද සිද්ධස්‌ථානයන්හි පිහිට හා ආශිර්වාදය ලබා, සියලු සම්‍යක්‌ දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින්, නිදුක්‌ නීරෝගීව, තවත් චිරාත් කාලයක්‌ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්‌තිය ලැබේවා· යි මෙත් සිත් පෙරටුව මම ප්‍රාර්ථනා කරමි.

http://www.divaina.com/2014/05/30/news30.html

Pic Source

සබැඳි ලිපි -
[
තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි ඡන්ම දිනය අදhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1750.html
]

0 comments: