Pages

Saturday, May 17, 2014

දඹදිවදී කරන චීවර පූජාව ඉන්දියානු සිඟන්නන් සොරාගන්නවා. ඇඳුම් මහනවා. ඥාණවන්තව හැසිරෙන්න. අනවශ්‍ය ලෙස සිවුරු පූජා නොකරන්න

පසුගිය වස්‌සානයෙන් පසුව දඹදිව වන්දනාවක නියුතුව සිටියදී ශ්‍රාවස්‌ති නුවර දින කීපයක්‌ ගත කළෙමි. පැරණි සැවැත්නුවර නගර ප්‍රාකාරය පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීමේ උවමනාව නිසා ද පැරණි පූර්වාරාමය තිබෙන ඉසව්ව බැලීමේ උවමනාවෙන් ද ඒ දෙසට ඇවිදගෙන ගියෙමි. ගොවි බිම් සහ ලඳු කැලෑ සහිත මේ බිමේදී මට පාර වැරදී මග සොයාගත නොහැකි විය. ඒ, එහි විවිධ අතට අඩි පාරවල් තිබු නිසාය. කෙසේ හෝ ගොවිබිමක්‌ හරහා වැටුන පාරක්‌ දිගේ ඇවිදගෙන ප්‍රධාන මාර්ගය වැටුණ ඉසව්ව දෙසට ගමන් කරමින් සිටියෙමි. එහි මඟ අයිනේ පාපැදියක්‌ නවතා තිබූ අතර එහි හොඳින් නවා තිබුණු චීවරයක්‌ තිබිණි. එය හොඳින් පරීක්‍ෂා කරද්දී පැහැදිලි වුයේ එය බෞද්ධ භික්‌ෂුවකගේ සිවුරක්‌ බවයි. එමෙන්ම එය ලංකාවේ මැසූවක්‌ බව ද පැහැදිලි විය. ඒ නිසා මේ සිවුරු හිමියා භික්‌ෂුවක්‌ වන බැවින් මෙහි පැමිණිය යුතු යයි සිතුවෙන් එහි මඳක්‌ නතර වීමි. (සාමාන්‍යයෙන් ඉන්දියානු පැවිද්දන් පාපැදි භාවිතා කරන අතර වෙනත් වාහනද පදවයි.) ටික වෙලාවක්‌ යනතුරු කිසිවෙක්‌ නොපැමිණියත්. තවත් හොඳින් වට පිට බලද්දී දුටුවේ මේ පැවිද්දා මඳක්‌ දුරින් කිසියම් වගාවකට සාත්තු කරමින් සිsටින බවයි. මා ඔහු සිටින දෙසට යද්දී ඔහු මා දුටුවද මුහුණ සඟවාගන්නට උත්සාහ කළේය. මා ඔහු ඇමතුව ද පිළිතුරු දුන්නේ නැත. ඔහුගේ මුහුණ හඳුනා ගත් මට වැටහුණේ මොහු නිතර ගන්ධකුටිය අසල දී දැකිය හැක්‌කෙකු බවය. ඔහුගෙන් මඟ විමසා ගත නොහැකි නිසා මම ඡේතවනය තිබෙන දිසාවට ඇවිදගෙන ගොස්‌ අසීරුවෙන් පාර සොයාගතිමි. මා නැවත සවස්‌ භාගයේ ගන්ධකුටිය වෙත යද්දී අර පැවිද්දා පාත්‍රයක්‌ද දරාගෙන සම්මාදම් යදිමින් සිටියේය. මා දුටු ඔහු අන් පැවිද්දන් අතර මුහුණ සඟවා ගත්තේය.

මේ මා පැහැදිලි කරන්නේ දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන් ඡේතවනාරාමය ඇතුලු අනෙකුත් පූජනීය ස්‌ථානවල, සම්මාදම් කරමින් සිටිනු දකින ඉන්දීය ජාතික චීවරධාරීන් පිළිබඳවය. මේ අය අතිබහුතරය අඹුදරුවන් සිටින ගෘහවාසීහු වෙති. ඔවුන්ට වෙනත් රැකියා සහ ඉඩකඩම් තිබේ. ඔවුන් ඒ සියල්ල නඩත්තු කරන අතර අමතර ආදායම් මාර්ගයක්‌ ලෙස සැදැහැවතුන් පැමිණෙන තැන්වල සිඟමන් යදිති. (ඉන්දියාව යනු සිඟන්නන්ගෙන් පිරුණු රටකි. ලෝකයේ කිසිම රටක දකින්නට නැති ආකාරයට සිඟන්නන් ඉන්දියාවේ දැකිය හැකිය.) සමහර විට එය ලෝක වාර්තාවක්‌ද ගිනස්‌ පොතට යන්නක්‌ද විය හැකිය. මොවුහු මේ සඳහා විවිධ උපක්‍රම ද යොදති. එය හිඟන්නාගේ සොබාවයි. කෙසේ හෝ මේ සිඟන්නෝ දුප්පතුන් නම් නොවේ. ඔවුන්ට ඇතිතරම් මුදල් තිබේ. එය හිඟන සංස්‌කෘතියකි.

එසේ වූවද මට ගැටලුවක්‌ පැන නැගිනි. ඉන්දියාවේ ජීවත්වන සහ ඉන්දියාවට පැමිණෙන පැවිද්දෝ විශාල වශයෙන් සිටිති. ඒ අතර ථෙරවාදී සහ මහායාන, තන්ත්‍රයාන පැවිද්දො සිටිති. මේ සියලු දෙනාගේ චීවරයේ තම සම්ප්‍රදායට අනුව විවිධ වෙනස්‌කම් ද දැකිය හැකිය. ඒ අතරින් මේ හිඟන රැල තෝරාගෙන තිබෙන්නේ ලංකාවේ චීචරයයි. ඔවුන් ථෙරවාදීන් වන තායිලන්තයේ හෝ බුරුමයේ සිවුර භාවිත කරනු නොපෙනේ. එසේ වී නම් මේ පිරිස ලංකාවේ භික්‌ෂුවම අනුකරණය කරන්නේ මන්දැයි යන ගැටලුව මා තුළ පැනනැඟිනි. ඒ නිසා මා ඒ පිළිබඳව විමසන්නට පටන් ගතිමි.

අවසානයේ මා තේරුම් ගත් දෙය නම් සිත් කම්පාකරවන්නක්‌ය. එය ශ්‍රී ලාංකික අප වගකිවයුත්තකි. මොවුන්ට සිවුරු ලැබෙන්නේ අපේ සැදැහැවතුන් ගෙනි. ශ්‍රද්ධාව ඉහ වහා ගොස්‌ දඹදිව වන්දනාවේ යන පිංවත්හු ප්‍රඥව පාවිච්චි නොකරති. ඔවුහු ලංකාවේ සිට ඔසවාගෙන යන සිවුරු නටබුන් වූ පූජනීය ස්‌ථානවලට පූජා කරති. එය එතැනම තබා යති. සිව්රු පූජා කළ සැදැහැවත්තු එහාට මෙහාට යනු බලා සිටින මේ හිඟන රැළ සිවුරු සොරා ගනිති. සොරාගනිති යන වචනය මා භාවිත කළ ද, එය ගැනීම තහනම් කරන්නට කෙනෙක්‌ එහි නැත. ලංකාවේ බෞද්ධයෝ මේ මෝඩ වැඩේ කළද වෙනත් කිසිම රටක බෞද්ධයෝ තමන්ගේ චීවර මේ ආකාරයට අයාලේ යන්නට නොතබති. ඔවුන් චීවරයක්‌ පූජා කරනවා නම් ඒ කරන්නේ නියම භික්‌ෂුවකට පමණි. කිසිවිටක චීවරය වැරදි තැනකට යන්නට ඉඩ නොතබයි. වජ්‍රයානික පැවිද්දන් භාවිත කරන චීවර පූජා නගරවල වෙළෙඳ සැල්වල මිලදී ගන්නට තිබේ. එහෙත් ඔවුහු කිසිවිටෙක විනයානුකූල පැවිද්දෙකුට හැර වෙනත් කෙනකුට චීවරය දරන්නට ඉඩ නොදෙති. ඒ නිසා මේ හිඟන රැල ඉතා පහසුවෙන් සොයා ගන්නා සිවුර බවට පත්ව තිබෙන්නේ ලංකාවේ සිවුරයි. මේ ආකාරයට ඕනෑතරම් සිවුරු මේ පූජනීය ස්‌ථාන අවට ගෙවල්වල දැකිය හැකිය. ඒ අතරින් සැවත්නුවර ප්‍රධානය. මේ සිවුරු භාවිතා වන්නේ හොර පැවිද්දෙක්‌ හැදීමට සේම සංඝසාසනයට සේම බුදුදහමට ද නිගාවක්‌ සඳහාමය. බෞද්ධ නොවන රටවලින් පැමිණෙන විශේෂයෙන් බටහිර ජාතිකයන් බහුතරයක්‌ ජීවිතයේ පළමු වතාවට පැවිද්දෙක්‌ (බෞද්ධ භික්‌ෂුවක්‌) දකින්නේ මේ ස්‌ථානවලදීය. ඔවුන් භික්‌ෂුන් ලෙස තේරුම් ගන්නේ මේ පිරිසය. සිවුරක්‌ දරාගෙන පාත්‍රයක්‌ අතින් ගෙන සිටින මේ හිඟන්නා ඔහු දකින්නේ පිළිකුලෙනි. නැතිනම් අනුකම්පාවෙනි. ඒ කෙසේ දැක්‌කද ඔහු බෞද්ධ භික්‌ෂුව ලෙස හඳුනා ගන්නේ ද මොවුන්ය. සාමාන්‍යයෙන් මහායානිකයන් ථෙරවාදී භික්‌ෂුව හඳුන්වන්නේ හීනයානිකයන් ලෙසය. හීනයානය යන්න ගැන ඔවුන්ගේ සිත්වල හොඳ ආකල්පයක්‌ නැත. ඔවුන් සිතන්නේ හීනයානිකයා යනු ධර්මය නොදන්නා පහත් පෙළේ කෙනකු ලෙසය. ඉන්දියාවේ පූජනීය ස්‌ථානවල සිටින සැබෑ භික්‌ෂුන් වහන්සේ මේ අයට මුණනොගැසෙති. ඒ නිසා ඔවුහු මේ හිඟන රැල හීනයානිකයන් නැතහොත් ථෙරවාදීන් ලෙස හඳුනා ගනිති. එය බෞද්ධයෝ එකිනෙකා හඳුනාගැනීමේ දී බරපතළ ගැටලුවක්‌ වන අතර වැරදි ආකල්ප රැසක්‌ ලෝකයා අතරට යයි.

මේ හිඟන රැලේ හැසිරීම ඉතාම අවිනීතය. මොවුන් අතර සෑම වයසකම අය සිටිති. ගැටවර වයසේ සිටින අය සැදැහැවතුන්ගේ බඩුමුට්‌ටු සොරකම් කරති. බුද්ධගයාවේ දී තායි ජාතික උපාසිකාවකගේ හෑන්ඩ්බෑග් එක සොරකම් කරන්නට උත්සාහ කරද්දී මගේ අතට ම හසුවිය. මේ දිනවල බුද්ධගයාවේ ආරක්‌ෂාව තරකොට ඇති බැවින් පලායන්නට නොදී අල්ලා ගත හැකිවිය. මේ තත්ත්වය නිසා ජීවිතයට එකවතාවක්‌ වන්දනාවේ යන අයට ඒ මහඟු අවස්‌ථාවෙන් නිසි ප්‍රයෝජන ගත නොහැකි තත්ත්වයට පත්වේ. 

මෙසේ අවිචාරවත්ව කරන චීවර පූජාව නිසා බුද්ධ චීවරයට නිගාවක්‌ ලැබෙන්නේ හොර හිඟන රැලක්‌ එය භාවිතා කිරීමෙන් පමණක්‌ නොවේ. සිවුර වෙනත් ආකාරයෙන් භාවිතා වන ආකාරයද දක්‌නට ලැබේ. විශේෂයෙන් සැවැත්නුවර අවට ගෙවල් පරීක්‍ෂාකොට බැලුවොත් එය පැහැදිලි වනු ඇත. ගෙවල්වල දොර රෙදි ද ඇඳ ඇතිරිලිද ළමුන්ගේ තොටිලිද මේ චීවරයමය. පොඩි ළමුන් ගේ ජංගි කොට මසා තිබෙන්නේද මේ චීවරයෙන්මය. ගෙවල් වටා ඇති කසල ගොඩවල ද ගොවිබිම්වල ද චීවර කෑලි දකින්නට තිබේ. මේ සිත් කම්පාකරන දෙය සිදුවන්නේ බුදුරජුන් වැඩිම වස්‌ කාලයක්‌ ගත කළ භූමියේ වන අතර එයට වගකිවයුත්තෝ අපිය.

තවත් එක්‌තරා වර්ගයක හිඟන්නෙක්‌ ගන්ධබ්බ රුක්‌ඛමූල ස්‌ථූපය ළඟ සිටී. ඔහු සිවුරකින් කලිසමක්‌ සහ කමිසයක්‌ මසාගෙන සිටී. ඔහු කරන්නේ සැදැහැවතුන්ගෙන් සම්මාදම් කර ගංජා බීමයි. මෙවන් අය මේ තැන්වල පැලපදියන් වීමෙන් අනාගතයේ අපි නොසිතන ගැටලු ඇතිවනු ඇත. ඉන්දියාවේ පූජනීය ස්‌ථානවලට තිබෙන්නේ පෞද්ගලික අයිතියකි. කාලයක්‌ භාවිත කළ පුද්ගලයාට එහි අයිතිය යයි. මේ ආකාරයෙන් පූජනීය ස්‌ථානවල පැලපදියම් වන අය අනාගතයේ මේ තැන්වලට උරුමකම් කියන්නද පටන් ගනු ඇත. එය මහන්තා බුද්ධගයාව ගියාට නොදෙවෙනි වනු ඇත. අනිත් කාරණය වෙනත් භක්‌තිකයකුට භික්‌ෂු වෙස්‌ ගෙන මේ තැන්වල පැලපදියම්ව එහි අයිතිය ලබාගත හැකිය. මට දැනගන්නට ලැබුන ආකාරයට මොවුන්ගෙන් සමහරු තමන්ගේ ජාතික හැඳුනුම්පත්වල බෞද්ධ භික්‌ෂුන් ලෙස සඳහන් කරගෙන තිබේ. ඉන්දියාවේ දී භික්‌ෂු ලියාපදිංචිය අපේ රටේ මෙන් විධිමත්ව කරන්නක්‌ නොවේ. ඔවුන් දෙනු ලබන්නේ පොදු හැඳුනුම්පතකි. එහි දී ඉල්ලුම්කරු දෙනු ලබන නමට හැඳුනුම්පත ලැබෙයි. මේ අනුව ඔවුන් කිසියම් නිල අයිතියක්‌ද හිමි කරගනී. යම්කිසි නීතිමය අවස්‌ථාවක දී එම ස්‌ථානවල වැඩ සිටින බෞද්ධ රටවල භික්‌ෂුන්ට වැඩිය බලයක්‌ මේ යාචකයන්ට හිමිවනු ඇත. මන්ද සෙසු භික්‌ෂුන් වීසා මත රැඳී සිටින විදේශිකයන්ය. ඒත් මොවුන් ස්‌වදේශිකයන්ය. ඔවුන් භික්‌ෂුන් ලෙස ලියාපදිංචිය ලබාගෙන තිබේ.

බුදුන් දවස නම් ඡේතවනයට ඉසිපතනයට විශාලාවට රජගහනුවරට පිදූ සිවුරු නිෂ්ඵල වූයේද නැත. පින සුළුපටු වූයේද නැත. ඒත් අද එය නිෂ්ඵලය. එයින් ලැබෙන ආනිශංසය ද ඒ තරම් වටිනවා යෑයි මම නොසිතමි. ඒත් අපි අද දවසේ නොසිතන දේ තිබේ. දඹදිව ශාසන විනාශයෙන් සියවස්‌ හතකට පසු නැවත ශාසන පුනරුදයකට මුල්වූයේ ශ්‍රී ලාංකික බෞද්ධයාය. අද ද භික්‌ෂුත්වය ජීවමාන කරන සිංහල භික්‌ෂුන් ඇතුළු විශාල භික්‌ෂු පිරිසක්‌ එහි වැඩ වෙසති. උන්වහන්සේලා ගේ නඩත්තුව පැවැත්ම වෙනුවෙන් අපි කළ යුත්තේ මොනවාද, උන්වහන්සේලා ගේ පැවැත්මට අවශ්‍ය මොනවාද යන්න අපි විමසනවාද සොයා බලනවාද යන්න සිතා බැලිය යුතුය. අපට සිවුරු පූජාකරන්න අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය ඉන්දියාවේ සිවුරු දරන ප්‍රමාණය වැඩිකරන්නට දායක වීමය. ලුම්බිණිය ඇතුළු ස්‌ථාන කීපයක එම උත්සාහය දරමින් තිබෙනවා. එසේ නම් අපි ඒ තැන්වලට උපකාර කළ යුතුය. ශ්‍රාවස්‌තිය හෝ විශාලාව වැනි තැනක භික්‌ෂු පුහුණු ආයතන බිහිකරන්නට දායක විය යුතුය. කොසැඹෑ නුවර වැනි තැන්වල භික්‌ෂුන් වැඩිකරන්නට කටයුතු කළ යුතුය. නැවතත් මේ පූජනීය තැන් සිය ගණනන් භික්‌ෂුන් වැඩ සිටින තැන් බවට පත්වූවොත් හිතේ හැටියට සිවුරු පූජා කරගත හැකිවනු ඇත.

ඉන්දියාවේ බුදු දහම ව්‍යාප්ත වන්නට නම් ඉන්දීය ජාතික භික්‌ෂුන්ට අපි උදව් කළ යුතුය. ඉන්දීය මහ ජනගහනයට සාපේක්‌ෂව එහි බෞද්ධ ප්‍රතිශතය කුඩා වුවද දැනටත් ඉන්දියාවේ ලංකාවට වැඩිය බෞද්ධයෝ සිටිති. එහි ථෙරවාදී සහ වජ්‍ර්‍රයාන යන දෙකොටසටම අයත් බෞද්ධයෝ සිටිති. ඒ අතර පැවිද්දෝ ද සෑහෙන පිරිසක්‌ සිටිති. ඒ සියලු දෙනා නඩත්තු කිරීමටද අපට යම් වගකීමක්‌ තිබේ. ඒ කෘතගුණ සැලකීමක්‌ වශයෙනි. දඹදිව සිද්ධස්‌ථාන ආසන්නයේද දැන් දැන් ඉන්දියානු බෞද්ධයන් පන්සල් ඉදිකරන බවක්‌ දක්‌නට තිබේ. එය සැලකිය යුතු ප්‍රගතියකි. වන්දනාවේ යන අයට ඉන්දියාවේ වැඩසිටින අපේ ස්‌වාමීන් වහන්සේලා ගේ උපදෙස්‌ ලබාගෙන එවන් තැන්වටල උපකාර කළ හැකිය. ඒ ආකාරයෙන් සැබෑ භික්‌ෂු පිරිසක්‌ සැකසුනොත් යළිත් ශාසනය බබලන යුගයක්‌ එළඹෙනු ඇත. එවිට නැවත ද බුද්ධ චීවරය භාරතය තුළ ගෞරවාන්විතව පවතිනු ඇත. එසේ නොවී සිවුරුත් අරගෙන ගිහින් දඹදිවට පූජා කිරීමෙන් නිවන් සැප ලැබෙනවා යෑයි සිතුවොත් ශාසනය බබළනවා යයි සිතුවොත් එය මුළාවකි.

පූජ්‍ය මිස්‌සක කමලසිරි හිමි
http://www.divaina.com/2014/05/17/feature01.html

Pic Source

0 comments: