Pages

Thursday, April 18, 2013

බොස්‌ටන් බෝම්බය ත්‍රස්‌තවාදයට සපයන අර්ථකථනය කුමක්‌ද?

ලෝකයේ විශාලතම මැරතන් ක්‍රීඩා අවස්‌ථාව ලෙස සැලකෙන බොස්‌ටන් මැරතන් ධාවන තරගයේදී ත්‍රස්‌තවාදීන් විසින් පුපුරවන ලද බෝම්බ දෙකක්‌ නිසා ධාවන ශූරයන් තිදෙනෙකුගේ පාද අහිමිවීම සහ විශාල පිරිසක්‌ මරණයට පත්වීම විශාල ෙ€දවාචකයකි. මෙහිදී මැරතන් ධාවනය නිම කරමින් සිටි සිය පියා පිළිගැනීමට ඉදිරියට ගිය කුඩා පුතෙක්‌ ද මළේ ය. දේශපාලන අරමුණ වෙනුවෙන් ක්‍රීඩාවෙන් පළිගැනීම ඉතා නරක සලකුණකි. 1972 දී ජර්මනියේ පැවැති ඔලිම්පික්‌ ක්‍රීඩා උලෙළේදී ඔලිම්පික්‌ ගම්මානයට ඇතුළු වූ පලස්‌තීන ගරිල්ලන් පිරිසක්‌ ඊශ්‍රායල ක්‍රීඩකයන් පිරිසක්‌ ප්‍රාණ ඇපයට ගෙන සංහාරය කළහ. අපේ රට විසින් පහළ කරන ලද හොඳම මලල ක්‍රීඩකයකු වූ 'මැරතන් කරු' මිය ගියේ ද වැලිවේරිය ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයකදී ය. මෙහිදී මේ රටේ අනාගත අගමැති තනතුරට සුදුසුකම් ලබා සිටි ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ද මිය ගියේ ය. ක්‍රීඩෝත්සවයක්‌ රුධිරයෙන් තෙත් කිරීම යනු ඉතා සංවේදී ක්‍රියාවකි. එය ජනතාවට දැනෙන 'ප්‍රමාණය' ඉතා වැඩි ය. බොස්‌ටන් බෝම්බ ප්‍රහාරය තුළ අල්කයිඩා සලකුණ ඇති බව දැනට ප්‍රකාශයට පත්ව තිබේ. අල්කයිඩාව විනාශ කිරීම සඳහා ඇමරිකාව අනුගමනය කළ ක්‍රමවේදය එතරම් සාර්ථක නොවන බව ක්‍රමයෙන් හෙළි වීමට පටන් ගෙන ඇත. නිව්යෝර්ක්‌ නගරයට එල්ල වූ අල්කයිඩා ප්‍ර්‍රහාරයෙන් පසු 'ත්‍රස්‌තවාදය විනාශ කිරීම' යනුවෙන් විශාල බැනරයක්‌ පිළියෙල කළ ඇමරිකන් ආණ්‌ඩුව තමන් විසින් ඉවතට විසි කරනු ලබන මස්‌ කටු ලෙවකන ලෝක බලවතුන් (දැනට මේ බලවතුන් ක්‍රමයෙන් ආර්ථික පරිහානිය කරා ළඟා වෙමින් සිටිති) සමඟÊඉස්‌ලාමීය රටවලට බෝම්බ දමන්නට පටන් ගත්තේ ය. මුලින්ම ඔවුන් විසින් විනාශ කරන ලද්දේ ඉරාකයයි. එහෙත් අල්කයිඩාව විනාශ වී ද? නැත. ඊළඟට ඔවුහු ඇෆ්ගනිස්‌ථානය බිමට සමතලා කළහ. එවිට අල්කයිඩාව විනාශ වී ද? ඒත් නැත. ඊ ළඟට ඔවුහු ඇෆ්ගනිස්‌ථානය සහ පාකිස්‌තානය අතර දේශසීමාවේ පිහිටි ගම්මානවල අල්කයිඩා ත්‍රස්‌තවාදීන් සිටින බව කියමින් බෝම්බ දමා එම ගම්මාන විනාශ කළහ. එවිට අල්කයිඩාව විනාශ වීද? ඒත් නැත. ඊ ළඟට ඔසාමා බින් ලාදින් මරණ ලදී. ඒත් අල් කයිඩාව තවමත් එහෙම ම ය. මෙයින් පෙනී යන්නේ ඇමරිකාව විසින් අල්කයිඩාව හැර අනෙක්‌ සියල්ලම විනාශ කරනු ලැබ ඇති බව ය. මේ අනුව මෙයට අවුරුදු 13 කට පෙර මැදපෙරදිග තැන් කිහිපයක කුඩා කණ්‌ඩායම් වශයෙන් ක්‍රියාත්මක වූ අල්කයිඩාව අද වන විට හැම තැනම වැඩ කරන්නට පටන් ගෙන ඇත. අද එහි මූලස්‌ථාන යේමනයේත් ඇත. මාලි රාජ්‍යයේත් ඇත. ඇෆ්ගනිස්‌ථානයේත් ඇත. පාකිස්‌ථානයේත් ඇත.

ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට යැමේදී ඇමරිකාවට වැරදුණ තැන් කිහිපයක්‌ විය. ඉන් පළමු වැනි වරද වන්නේ ඔවුන් ත්‍රස්‌තවාදීන් සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමය. මෙය ඉන්දියාවට ද සිදු වූ පසුව නිවැරැදි කර ගන්නා ලද වරදකි. ඇමරිකාව, අල්කයිඩාවටත්, කොටින්ටත් සලකන්නේ දෙවිදියකට ය. අල්කයිඩාකාරයන් දුටු තැන සංහාරය කරන ඔවුහු දෙමළ කොටින්ට දේශපාලන රැකවරණය දුන් අවස්‌ථා කිහිපයක්‌ විය. එහෙත් ඉන්දියාව (මධ්‍යම රජය) රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු දෙමළ ජනතාව ආරක්‍ෂා කිරීම මිස. දෙමළ කොටින් ආරක්‍ෂා කිරීමෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටියහ. අද කොටි සංවිධානයක්‌ නැතත් කොටි ඩයස්‌පෝරාවක්‌ (විසිරිතයක්‌) තිබේ. මේ විසිරිතය කැනඩාවේත්, එංගලන්තයේත්, ස්‌කැන්ඩිනේවියානු රටවලත් සිටිති. අද කොටි සංවිධානය මනෝමූල මට්‌ටමින් අහසේ පාවෙමින් තිබෙන අතර පෙර කී ඩයස්‌පෝරාව හෙවත් පිටරටවල සිටින දෙමළ විසිරිතය එයට පණ දෙන්නට උත්සාහ කරති. ඒ උත්සාහය ඇමරිකාව, කැනඩාව, එංගලන්තය වැනි තැනකදී කිරීම ඉතා පහසු ය. ත්‍රස්‌තවාදියා කීවාම කෝකත් එක ය. එහෙත් ඇමරිකාව ත්‍රස්‌තවාදීන් ලෙස සලකන්නේ අල්කයිඩාව පමණක්‌ ද? එංගලන්තය ත්‍රස්‌තවාදීන් ලෙස සලකන්නේ අයි. ආර්. ඒ. ගරිල්ලන්ව පමණක්‌ ද? මේ රටවල් මේ ප්‍රශ්නය නිරාකරණය කරගත් තැන සිට ලෝක ත්‍රස්‌තවාදයේ විනාශය පටන් ගන්නා බව අපගේ වැටහීම ය.

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/04/18/editor.html

[
සබැඳි ලිපි -
බොස්‌ටන් බෝම්බය අල්කයිඩා වැඩක්‌http://denethharinna.blogspot.com/2013/04/blog-post_1277.html
]

0 comments: