Pages

Thursday, April 4, 2013

අයි. පී. එල්. යැම සහ එල්ලුම් ගස්‌ යැම

සන්නිවේදනය සහ ප්‍රවාහනය විසින් විශ්වය ගම්මානයක්‌ කරනු ලැබ ඇති මෙකල එක්‌ භූගෝලීය කලාපයක සිදුවන ඉතාම සුළු වෙනසක්‌ පවා අනෙක්‌ රටට ඉතා දරුණුවට දැනෙන්නේය. නිකම් ලාවට වගේ උදාහරණයකින් කිවහොත් උත්තර ධ්‍රැවයේ පෙන්ගුවින් කුරුල්ලන් අතර හටගන්නා ආරවුලක්‌ වුව පැය 24 ක්‌ තුළ ශ්‍රී ලංකාවට දැනී අපේ කොටස්‌ වෙළෙඳපොළට කුමක්‌ හෝ රිදීමක්‌ ඇති වන්නේය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව යුද වැදීමේ සූදානමක්‌ පවතී. ඉරානයට බෝම්බයක්‌ දමන පිළිවෙළක්‌ ගැන ඇමරිකාව නිතර කල්පනා කරයි. අවුරුදු පතා එන සිංහල අවුරුද්ද මෙන් අවුරුදු පතා ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කිරීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පුරුදුවීම නිසා ලබන අවුරුද්දේ කැලැන්ඩර් අච්චු ගසන විට මාර්තු මාසයේ දවස්‌ කිහිපයක්‌ "ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව" යන මාතෘකාවට වෙන් කළ යුතුය.

මේ සියලු කරදර අතර නරකම කරදරය අල්ලපු වැටේ සිටින ජයලලිතා කරන තර්ජනයයි. ඔබේ ගෙදරට එහා ගෙදර සිටින ගැහැනියක්‌ වත්ත මායිමට විත් නිතර කුණුහරුපෙන් බනින විට ඉතාම කරදරකාරී වාතාවරණයක්‌ හටගනී. ඔබේ ගෙදර දඟකාර කොල්ලන් එකෙක්‌ දෙන්නෙක්‌ සිටියොත්, ඔවුන් මුලදී සිය විරෝධය දක්‌වන්නේ හූ තැබීමෙනි. ඊළඟට අල්ලපු ගෙදරට ගල් ගැසීමෙනි. එහා ගෙදර ගෑනිට පිස්‌සු බව කියා කොල්ලන් අස්‌වසන්නට ඔබ ගන්නා උත්සාහය එතරම් ඵලදායි නොවීමට ඉඩ ඇත. යම් හෙයකින් උන් ගහන ගලක්‌ පෙර කී නොදැමුණු කාන්තාවගේ නරක තැනකට වැදුනොත් පිස්‌සු ඩබල් වීමට ඉඩ තිබේ. මෙතැනදී අප කළ යුත්තේ ග්‍රාමසේවකටත් පොලිසියටත් පැමිණිලි කිරීමය. කාරණය සමථ මණ්‌ඩලයට හෝ උසාවියට යෑවීම ඉන් පසුව සිදුවන්නේය.

තමිල්නාඩුවේ සිටින ජයලලිතා අපට වාත වී සිටින අන්දම අහල පහල හැම රටකම සිටින ජනයා දනිති. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලතල ඇති ග්‍රාමසේවක හා පොලිසිය යන දෙකම ඉන්දියාවය. එහෙත් අපට අවාසියක්‌ නොවන අන්දමින්ද ජයලලිතාගේ හිත නොරිදෙන අන්දමින්ද කටයුතු කරන්නට ඉන්දියාවට සිදුව තිබේ. තමිල්නාඩුව යනු ඉන්දියාවේ ඡන්ද පදනමෙන් විසි හයෙන් එකකි. හෙවත් එරට ප්‍රාන්ත විසි හයක්‌ ඇති අතර ඒ විසිහයෙනුත් ලොකුම ජනගහනයක්‌ සිටින ප්‍රාන්තය තමිල්නාඩුවය. ඉන්දියාව වෙනුවෙන් ඡන්ද පරදින්නට අප අකමැතිවාක්‌ මෙන්ම අප වෙනුවෙන් ඡන්ද පැරදීමටද ඉන්දියාව කැමැති නැත. එබැවින් ජයලලිතාට කෑ ගසන්නට දී නිකම් සිටීමට ඉන්දියාවට සිදුව තිබේ.

එහෙත් ජයලලිතා අපේ රටට කරන්නේ අනියම් මරණ තර්ජනයන්ය. මින් පසු චෙන්නායි වෙත පැමිණීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඉඩ නොදෙමියි කියමින් ඇය නටයි. එවිට තමිල්නාඩුවේ දෙමළ ජනයා චූන් වෙයි. ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයෙකු නොව වන්දනා කාරයෙකු චෙන්නායි ආවත් ඔහුට පහරදී මරා දමන්නට තරම් තමිල්නාඩු වැසියා මේ වන විට 'ෆුල් චූන්ය'.

මෙවිට අපේ මිනිස්‌සු ඇවිස්‌සෙති. ජයලලිතා කට වසා ගන්නේ නැතිනම් තමිල්නාඩුවෙන් කොළඹ වරායට ගෙන එන බඩ ගොඩබෑමත්, කොළඹින්-තමිල්නාඩුවට යන බඩු නැව්වලට පැටවීමත් වර්ජනය කරන්නටත් වරාය සේවකයන් දැන් සූදානම්ය.

ඒ අතර අයි. පී. එල්. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් 11 දෙනකු දැනටමත් ඉන්දියාවට ගොස්‌ ඇත. අයි. පී. එල්. ගිවිසුමට අනුව ජයලලිතාට බයේ ඉන්දියාව වර්ජනය කිරීම අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ඔට්‌ටු නැත. එසේ කළොත් අයි. පී. එල්. පාර්ශ්වකාර ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජ තමන් සමඟ ක්‍රිකට්‌ ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයන්ට විරුද්ධව නඩු දමනවා ඇත. එහෙත් මේ "ත්‍රාසජනක" අවස්‌ථාවේදී නඩුවකින් පැරදී වන්දියක්‌ ගෙවීම, ඉන්දියාවට ගොස්‌ ශ්‍රී ලාංකිකයන්ගේ හිත් රිදවීමට වඩා යහපත්ය. අයි. පී. එල්. යැමෙන් දෙවියන්ට චුට්‌ටක්‌ පහළින් සිටි ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ යක්‌කු බවට පත්ව සිටිති.

මේ වාණිජවාදී සමාජය තුළ සල්ලි තරම් වටිනා දෙයක්‌ තවත් නැත. එහෙත් අයි. පී. එල්. යැමෙන් අපේ ක්‍රීඩකයන් ස්‌වකීය හෘද සාක්‍ෂිය සහ ජන විඤ්ඤාණය ඉදිරිපිටදී කර ඇත්තේ එල්ලුම්ගස්‌ යැමකි.

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/04/04/editor.html

[
සබැඳි ලිපි -
මේක රටේ අභිමානය පිළිබඳ ප‍්‍රශ්ණයක්. IPL වර්ජනය කල යුතුයි - අර්ජුනhttp://denethharinna.blogspot.com/2013/04/ipl.html
මුදල් වෙනුවෙන් රට පාවා දෙන්න එපා - ඥානසාර හිමි
http://denethharinna.blogspot.com/2013/04/blog-post_4951.html
මම දෙමළෙක්, ඊට කලින් ශ‍්‍රී ලාංකිකයෙක්.. මුරලිගෙන් තමිල්නාඩුවට පිළිතුරු
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9687.html
IPL ගහන්න ගිය ක‍්‍රීඩකයන්ට රාවණා බලයෙන් අනතුරු ඇඟවීම්http://denethharinna.blogspot.com/2013/04/ipl_3.html
]

1 comments:

Anonymous said...

අද ලංකාදීප කතුවැකිය මීට වඩා පට්ට, ඒකත් හොයාගෙන දාන්න.