Pages

Tuesday, April 16, 2013

ලංකා ආණ්‌ඩුවට විරුද්ධ වීම, දෙමළ ජාතික සන්ධානයේ "ඩියුටිය" යි

උතුරට හා නැගෙනහිරට සියලු බලතල සහිත අන්තර් පාලන ආණ්‌ඩුවක්‌ ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ දේශපාලන පක්‍ෂ තුනක්‌ ඉන්දියාව හරහා ලක්‌ රජයෙන් ඉල්ලන ලදැයි ඉරිදා (14 දා) 'දිවයිනේ' ප්‍රධාන පුවත ලෙස පළ වී තිබිණි. යෝජිත ආණ්‌ඩුවට ඉඩම්, පොලිස්‌, වරාය, මුදල්, විදේශ අරමුදල් ලබා ගැනීම, ධීවර, වෙරළ ආරක්‍ෂක, ගුවන් සේවා, ඛනිජ සම්පත් යනාදිය පිළිබඳ බලතල ද උවමනා බව පෙර කී පක්‍ෂ කිහිපය කියා තිබේ. මේ සියල්ල කොළඹ තිබෙන මහ ආණ්‌ඩුවේ බලතල ය. මේ ප්‍රශ්නය ක්‍රම දෙකකට විසඳිය හැකි ය. පළමු ක්‍රමය වන්නේ කොළඹ තිබෙන මහ ආණ්‌ඩුව ගෙඩිය පිටින්ම උතුර නැගෙනහිරට ගොස්‌ සවිකර ඒ දෙපළාතට බස්‌නාහිර පළාත (මේ රටේ ප්‍රධාන පරිපාලන මෙහෙයුම් සිදු වන්නේ බස්‌නාහිර පළාතේ සිටය.) යන නම දී බස්‌නාහිර පළාතට උතුර නැගෙනහිර දෙපළාත යන නම දීම ය. දෙවැන්න මේ ඉල්ලීම යුදමය තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වනු වැළැක්‌වීම සඳහා සියලු බලතල යොදා එයත් බැරි වුවහොත් මිලිටරි විසඳුමක්‌ ලබාදීම ය. මෙහි තේරුම යුද කිරීමට අප මහත්සේ කැමැති බව පුන පුනා කීම නොවේ. යුද්ධය තරම් විනාශකාරී දෙයක්‌ තවත් කොහෙද? එහෙත් දෙමළ දේශපාලන පක්‍ෂ හැම විටම උත්සාහ කරන්නේ හැම ප්‍රශ්නයක්‌ම යුදමය විසඳුමක්‌ කරා ගෙන යැමට නම් වෙන කුමක්‌ කරමුද?

ඉන්දියාව විසින් 13 වැනි සංශෝධනය හඳුන්වා දීමෙන් පසු උතුර නැගෙනහිර පිහිටුවන ලද පළමුවැනි පළාත් සභාවේ මහ ඇමැති ලෙස පත් වූයේ ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානයේ නායක වර්ධරාජා පෙරුමාල් ය. මේ පළාත් සභාවේ ඇමැති තනතුරක සිංහල මිනිසකු වූ දයාන් ජයතිලක ද සිටියේය. වර්ධරාජා පෙරුමාල් යනු එවකට සිටි ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් දමනය කරගනු ලැබූ කොටියෙකි. ප්‍රේමදාස මහතාට දමනය වූ තවත් කොටියකු වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නියෝජ්‍ය නායක මහත්තයා ය. එහෙත් මහත්තයා සිංහල ආණ්‌ඩුව සමග කුමන්ත්‍රණය කර ප්‍රභාකරන් නසන්නට යන බව පොට්‌ටු අම්මන් විසින් ප්‍රභාකරන්ව බිය කළ පසු මහත්තයා පොළොව යට බිංගෙයක සිරකර දස වද දී ඝාතනය කරන ලදි. වර්ධරාජා පෙරුමාල් උතුර නැගෙනහිර නායකයා ලෙස දේශපාලන විනයක්‌ ඇතිව ගත කළේ ඉතා ස්‌වල්ප කාලයකි. ඉන්පසු දිනක්‌ ඔහු හිටි හැටියේම ඊළම ප්‍රකාශයට පත්කර උතුර නැගෙනහිර මධ්‍යම බැංකුවක්‌ පිහිටුවා සල්ලි අච්චු ගසන්නට සූදානම් විය. ආණ්‌ඩුව වහාම එම පළාත් සභාව විසුරුවා හරින ලදි. වර්ධරාජා පෙරුමාල් ඉන්දියාවට පැනගොස්‌ එරට මධ්‍යම රජයේ උදව්වෙන් කොටි සංවිධානයෙන් මැරුම් නොකා ජීවිතය බේරා ගත්තේ ය. අප මෙහිදී තේරුම් ගත යුතු කාරණය වන්නේ කවර තත්ත්වයක්‌ තුළ හෝ ඊළම යනු විශාල අර්බුදයක්‌ බව ය. දෙමළ ජාතික සන්ධානය දැනට මේ රටේ කරන්නේ මුට්‌ටිකාසි සහ පෝස්‌ටර් දේශපාලනයකි. එසේම ගුවන්ගත දේශපාලනයකි. එනම් පිටරටවල පැවැත්වෙන ඊළමට පක්‍ෂපාත රැස්‌වීම් සඳහා ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර සහ ඉඳුම් හිටුම් නොමිලයේ ලබා ගන්නා දේශපාලනයකි. ලංකා ආණ්‌ඩුව විසින් යුද්ධය ජයගනු ලැබීමත් සමගම එන්.ජී.ඕ. කීයක්‌ වැසී ගිය බව ඔබ දන්නෙහිද? එහි තේරුම යුදමය ක්‍රියා මාර්ග සමග එන්.ජී.ඕ. වලට සම්බන්ධයක්‌ තිබූ බව ය.

කෙසේ වුවද අපි තවත් කාරණයක්‌ පිළිගත යුත්තෙමු. ඒ වූ කලී ලංකා ආණ්‌ඩුවට විරුද්ධ වීම, දෙමළ ජාතික සන්ධානයේ "ඩියුටිය" බව ය. ආර්. සම්බන්ධන් වැනි වැදගත් කෘතහස්‌ත දේශපාලන මහත්මයකු හැර එම සන්ධානයේ සිටින වැඩි දෙනා තමිල්නාඩු දේශපාලනඥයන් සහ සමහර සිංහල දේශපාලනඥයන් මෙන් "එදා වේල ටුවර්ස්‌" පිරිසකි. එදා දවස ගත කරන්නටත් බඩට යමක්‌ දාගන්නටත් ඔවුහු දේශපාලනය කරති. මෙය ජනතා සේවයක්‌ නොව රැකියාවකි. මේ රැකියාවට සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය නැත. එහෙත් පස්‌ අවුරුද්දක්‌ පාර්ලිමේන්තුවේ සිටීමෙන් පසු විශ්‍රාම වැටුප් හිමිවනු ඇත.

"රස්‌සාවක්‌" කරන කොට ඔහොම තමයි! (දිවයින කතුවැකිය)
http://www.divaina.com/2013/04/16/editor.html

0 comments: