Pages

Friday, April 5, 2013

සීගිරිය පිටසක්වළ නිර්මාණයක්ද? පිටසක්වළ ජීවීන් අරලගංවිලට ආවාද?

අම්පාර අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කාෂ්මය (Meteorite) ජීවීන් විශේෂයක් ඇති බව විදේශීය විද්‍යාඥයෝ  ප‍්‍රකාශ කර සිටියෝය. එම ජීවීන් පිටසක්වළ සිට පැමිණියා නම් එය ජීව ඉතිහාසයේ සිදු වූ ලොකුම සොයා ගැනීම බව උපතින්ම ලාංකික විද්‍යාඥයෙක් වූ චන්ද්‍ර වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබිණි. ජනමාධ්‍ය සියල්ල මේ සිදුවීම හා ප‍්‍රකාශය ජනයාගේ කුහුල වැඩෙන ආකාරටය වාර්තා කර තිබිණි.

පසුගිය දෙසැම්බරය අපූරු දෙසැම්බරයක් විය.  මහවැසි මාස පහළොවකට පසු ඇද වැටින. වැසි අධිකවම ඇද වැටුනේ කාලගුණ දත්ත වලට අනුව වැඩි වැසි නොලැබෙන කලාප වලටය. ඊළගට  මාළු  වැසි, රතු, කහ, කොළ, නිල් වැසි වාර්තා විය. ඒවා එක්සත් ජනපද නාසා ආයතනයේ ජීව රසායනික ප‍්‍රහාරයක් බවටද නිකුත් කෙරිණ. ඊළගට අහස පුරා උල්කාෂ්ම උල්කාපාත හා පියාබන පීරිසි දර්ශනය වූ බව මාධ්‍ය වාර්තා ලැබිණි. අවසානයේ අම්පාර අරලගංවිල ප‍්‍රදේශයට වැටුණු උල්කාෂ්මයක ජීවීන් ඇති බවත් උන් පිටසක්වළ ජීවීන් බවත් ප‍්‍රකාශ කෙරිණි.

මේ ක‍්‍රියාදාමයේ පැති දෙකක් ඇත.  එකක් නම් ජනමාධ්‍ය විසින් එක් සිදුවීමක් මුල්කරගෙන මතුකරන, ඇති කරන අධිකුතුහල සහිත අතිශයෝක්තියයි. මෙයින් අදාළ ප‍්‍රවෘත්තියට ජනයා වසග කර ගැනීමක් හා උමතුවේශයක් ඇතිකර ගැනීම සිදුවේ. ඊළ`ගට රටපුරා මේ සමූහ මායාව පැතිර යයි. පසුගිය කාලයේ දෙමළ මාධ්‍ය විසින් රටපුරා ව්‍යාප්ත  කරන ලද ‘ග‍්‍රීස් යකා’ ද මෙවැනි සමූහ මායාවකි. එය රටේ ජාතික ආරක්ෂක ප‍්‍රශ්ණයක් බවට පත්විය.

අභ්‍යාවකාශයෙන්  නිරන්තරයෙන් වස්තු පොළොව  මතට වැටෙන බව සත්‍යයකි. ගුවන් යානා කොටස්, විනාශ වුණු  චන්ද්‍රිකා කොටස්, විනාශ වුණු උල්කාෂ්ම කොටස්, අව පීඩනය මගින් පෘථිවියෙන් ඉහළට ගෙනයන ජලය, පස් වර්ග, පාෂාණ වර්ග, ජීව විශේෂ ආදීය කවදා  කෙදිනක හෝ නැවත පොළොවට වැටෙනා බව ද එවැනි සත්‍යයකි. ඒ අපේ පංච ඉන්ද්‍රියන්ට ගොදුරු වන ද්‍රව්‍යයන්ය. අපේ පංච ඉන්ද්‍රියන්ට ගොදුරු  නොවන ඇතැම් විට විවිධ උපකරණ මගින් දැකගත හැකි එසේත් නැතිනම් කිසිසේත් අපට නොදැනෙන  අනන්ත දෑ අභ්‍යාවකාශයෙන්  පොළොවට, පොළොවෙන් අභ්‍යාවකාශයට ගමන් කරනවා විය හැකිය.

ක්වන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවේදී විවිධ තරංග, විවිධ ක්ෂේත‍්‍ර, විවිධ විශ්වීය තත්ත්ව ගැන කතා කතා කරයි. වරක් ක්වන්ටම් චින්තකයෙකු වන කෆ්රා ප‍්‍රකාශ කළේ ශිව දෙවියන් යනු විශ්වීය තරංග වල අනවරත නර්තනයක් (Cosmic Dance) බවය. බෞද්ධ අප විශ්වාස කරන්නේ අපේ විඥානය  අපේ මොළයෙන් හෝ ද්‍රව්‍යයකින්  පැන  නැගුනක් නොව ඒවාට සම්බන්ධව පවතින, එහෙත් ස්වාධීන විශ්වීය ක‍්‍රියාදාමයක් බවය. රූපයක් නැති  විශ්වීය ක‍්‍රියාදාමයක් බවය. රූපයක් නැති විශ්වයේ පාවී යන තත්ත්වයේ දෙවියන්, භූතයන් හා ගන්ධබ්බයන් ගැන බෞද්ධ දර්ශනය විශ්වාස කරයි. එමෙන්ම අපේ ඉන්ද්‍රියන්ට හසු නොවන දේව බ‍්‍රහ්ම හා වෙනත් ලෝක ඇති බව විශ්වාස කරයි. ක්වන්ටම් යාන්ත‍්‍රණය ද ක්ෂුද්‍ර අංශු හා ගැටගැසුන පැතිර ගිය තරංගයක් (Pilot Wave) ගැනද අපේ මනසට, උපකරණ වලට හසු වන නොවන බහු ලෝක (Many Worlds) ගැනද විශ්වාසය තබයි.

අරලගංවිලට  වැටුණේ අභ්‍යාවකාශයෙන්  ආ වස්තුවක්ද නොඑසේ නම් පෘථිවියේ අවපීඩනයක් නිසා ඉහළ අහසට ඇදී ගිය පාෂාණයක්ද යන්න පැහැදිලි නැත. අපේ පරමාණුක බලශක්ති පර්යේෂණාගාරයේ කළ පරීක්ෂණ වලින් පෙනී ගියේ දිවුලපිටිය ආදී ප‍්‍රදේශවලින් ලැබී තිබූ උල්කාපාත නම් මිනිස් නිර්මාණයක් බවය. එනම් ගුවන්යානයකින් හෝ විනාශ වූ චන්ද්‍රිකාවක් මගින් විසිරී ගිය ලෝහ කැබැල්ලක් හෝ අවපීඩනය  නිසා පෘථිවියෙන්ම ගැලවී ගිය යම් ලෝහ කොටසක් බවය.

රතු හා කහ වැසි විශ්ලේෂණයෙන් පෙනී ගියේ ඒවායේ යකඩ, යකඩ මල හා තුන්තනාගම් බහුල වශයෙන් පවතින බවය. මේ නිසා අරලගංවිලට වැටුණා යැයි කියන පාෂාණය ගැන මාධ්‍ය මගින් ජනතාව උමතු කරන මායාකාරී මතවාද නොව ඇත්ත පරීක්ෂණයක් අවශ්‍යය.  එය බටහිර පර්යේෂණාගාරයක හෝ එසේ නොවන ආකාරයෙන් හෝ සමීක්ෂණය කළ යුතුය. එහි තත්‍ය ප‍්‍රතිඵල ලැබෙනතෙක් ඒ පිළිබද ප‍්‍රචාරය නොවී තිබීම වඩා වැදගත් අතර ඒවා පිළිබ`ද  දැනුම ඇත්තන් ප‍්‍රකාශ නිකුත් කිරීම අතිශයින් වැදගත්ය.

අරලගංවිල උල්කාෂ්මයේ ජීවීන් සිටියා නම් ඔවුන් මෙලොව ජීවීන්ද නැතහොත් පිටසක්වල ජීවීන්ද යන්න සොයා බැලිය යුතුය. එය අතිවිශාල වැදගත්කමකින් යුතු විද්‍යාත්මක පර්යේෂණයකි. මන්ද බටහිර පිළිගත් මතයක් වනුයේ පිටසක්වළින් ජීවීන් පැමිණ මෙලොව ජීවය බිහිවූ බවය. විශ්වයේ බිහිවීම ද කුඩා බිත්තරයක (Universal Egg) මහා පිපිරීමක් (BIG BANG) ලෙසද විස්තර කෙරේ. ලොවත් විශ්වයත් ජීවයත් සරළ දේවල් සිට සංකීරණ දේ බවට නිරන්තරයෙන් පරිනාමය වන බව බටහිර කොයි විද්‍යාවේත් පිළිගැනීමයි. මේවා ඊනියා විද්‍යාත්මක සත්‍යයට වඩා බටහිර යුදෙව්, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් ඒකදේව වාදී ආගම්වල පොදු දෙවියන් ලෝකයත් ජීවයත් මැව්වාය යන උප්පත්ති කතාවෙන් ගලා එන්නක් බව මාගේ විශ්වාසයයි. පාප්වහන්සේ විශ්වයේ මහා පිපිරුම් න්‍යාය ගෙනා ඒ හෝකින් බි‍්‍රතාන්‍ය විද්‍යාඥයාට  පදවි පිරිනැමේද ඒ නිසාය. ඒ ඔහු බයිබලය විද්‍යාත්මක කළ නිසාය.

සීගිරිය නිර්මාණය වී ඇත්තේ තාරකා ලකුණු මත බව ද අරලගංවිලා ක්ෂුද්‍ර ජීවීන් පිටසක්වළින් ආ බැව් පැවසූවත් ඔවුන් දැන් රතු වැස්ස කහ වැස්ස ආදීයෙන් හමු වූ ජීවීන්ටම සමාන බව ප‍්‍රකාශ කෙරී ඇත. එසේ නම් දැන් සොයා බැලිය යුත්තේ රතු වැස්ස කහ වැස්ස ආදීයට ක්ෂුද්‍ර ජීවීන් ආවේ මහපොළොවෙන්ද නැතිනම් අභ්‍යවකාශයෙන් ද  යන්නය.

සීගිරිය පමණක් නොව රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය ආදීයේ පිහිටීමත් පිරමීඩ වල පිහිටීමත් තාරකා රාශි වල පිහිටීමත් සමග සමගාමී බව කලින් කල ප‍්‍රකාශ වූවකි. මෙය වඩාත් ගැබුරින් සොයා බැලිය යුතු කරුණක් වන අතර මෙහි සැගවුණු අනතුරුද ඇත. එනම් බටහිර රටවල ග‍්‍රීක ශිෂ්ටාචාරයට එපිටින් සිදු වූ ඊජිප්තුවේ පිරමීඩ, ලංකාවේ මහා සෑ හා මහා වස්තු නිර්මාණ, චීන මහා ප‍්‍රාකාරය බදු දෑ ඒ රටවල දේශීය ජනයාගේ තාක්ෂණික නිර්මාණ නොව පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බව හුවා දැක්වීමයි.  ජීවයේ බිහිවීම ද මේ ලෝකය තුළ ස්වාභාවික සිදුවූවක් බටහිර යමක බලපෑමෙන් සිදුවූවක් බව  පෙන්වීමට පිටුපස විවිධ දේවවාදී කල්ලි සිටිති. ක්වන්ටම් යාන්ත‍්‍රණය පිළිබද විවාදය ඉදිරියට නොගියේ හා එයින් ඇතිවිය හැකිව තිබූ මානව ප‍්‍රගතිය 1960 ගණන්වල ඇණ හිටියේ ”දෙවියෝ දාදු නොකෙළති” යන යන අයින්ස්ටයින්ගේ තර්කය නිසාය. ලෝකයේ පැවැත්ම නිශ්චිත දේව සැලැස්මකට නැති බවත් එය සසම්භාවී බවත් ප‍්‍රකාශ කළ විද්‍යාඥයෝ (නීල් බෝර් , හයිසන්බර්ග්)  පසුපසට විසිවී අයින්ස්ටයින් ලොව ප‍්‍රබලතම විද්‍යාඥයා  වූයේ ඒ නිසා බවද මාගේ හැගීමයි.

කලකට පෙර නියමුවන් විරහිත යානා අත්හදා බැලීමේදී ඒවා මහජන් ඇස්වලින් වසං කිරීම සදහා එක්සත් ජනපදය පියාඹන පීරිසි ගෙන ආ අතර ඒවා ලංකාවේදී ද දුටු අය  ඕනේ තරම් සිටිති. දැන් ඩ්‍රෝනා (DRONE) තාක්ෂණය හොදින් දියුණු වී එක්සත් ජනපදයේ  සතුරන්  මරන ප‍්‍රධාන උපකරණය වී ඇති නිසා ඒ පිළිබදව දැන් ප‍්‍රවෘත්ති පළවන්නේ නැති තරමය. මේ  නිසා රුවන්වැලිසෑය, සීගිරිය වැනි මහා නිර්මාණ දේශීය විද්වතුන්ගේ නිර්මාණ නොව පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බව පෙන්වීමට කවුරුන් යත්න දරයි නම් අපි එය පරාජය කළ යුතු වෙමු.

කෙසේ වෙතත් පසුගිය මාස කීපයක සිදුවීම් කියාපාන්නේ අපේ ඇතැම් විද්‍යාඥයන්ගේ  මෙන්ම අපේ මාධ්‍ය  වලද මායාකාරී හැසිරීමය. පටු ජනප‍්‍රියත්වය වෙනුවෙන් කරන ප‍්‍රකාශ වලින් ජනයාගේ මනසට මෙන්ම ඇත්තටම සිදු වූ දෙයට ද සිදු කරන්නේ අසාධාරණයකි. අහසින් වැටෙනා ද්‍රව්‍ය  වලින්, වර්ණක වැසිවලින් අපේ ජනයාගේ සෞඛ්‍යට  දිවි පැවැත්මට සිදුවන තර්ජනය සෙවීම අපගේ ප‍්‍රමුඛම කාර්යය විය යුතුය. විශ්වය බිහි වූයේ කෙසේද යන්න නොවැදගත් අතර ජීවීන් පිටසක්වළින් ආවාද නැද්ද යන්න ද අවැදගත්ය. වැදගත් ඒවා ජන ජීවිතයට  බලපාන ආකාරය  පමණි.

- පාඨලී චම්පික රණවක
April 5, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92717/

0 comments: