Pages

Monday, April 29, 2013

සියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමා

අප රමණීය මවුබිම වූ ශ්‍රී ලංකාද්වීපයේත් සිංහල ජාතියේ සම්මා සම්බුදු සසුනේත් චිරස්‌ථිතිය පිණිස අමරණීය අපරිමිත සේවාවක්‌ සිදුකළ එමෙන්ම උතුම් බුදුදහම මුළු ලොවෙහිම පතුරුවා හැරීම පිළිබඳව සුවිශේෂී උනන්දුවකින් කටයුතු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා පිළිබඳ අසූවන (80) ගුණ සමරුව අදට යෙදී ඇත.

මේ හෙළ දිවයිනේත් සිහළ දැයේත් බුදුසමයේත් පරම පුණ්‍ය මහිමය නිසාම මෙලොව බිහිවූ ඒ ශ්‍රේෂ්ඨ වීර උතුමාට සම කළ හැකි අන්දමේ වෙනත් විරුවෙකු නැති තරම් යෑයි කිව හැකි තරමටම එතුමාගේ ජාතික ශාසනික සේවාව අතිවිශිෂ්ටය.

පුරා වසර 443 කට අධික කාලයක්‌ මුළුල්ලේ මේ රට අදිරදවාදී පාලනයන්ට යටත්ව තිබූ අතර අප රටත් ජාතියත් ආගම දහමත් සභ්‍යත්වය හා සංස්‌කෘතියත් පරිහානියේ අන්ත ප්‍රපාතයේ අගාධයටම ඇද වැටී තිබුණු අඳුරු අභාග්‍ය සම්පන්න වකවානුවකදීය ධර්මපාලතුමා උපන්නේ. ඒ මෙයට 80 වසරකට පෙර 1864 සැප්තැම්බර් මස 17 වැනිදාය.

බ්‍රිතාන්‍ය අදිරදවාදී පාලන යුගයේදී සිංහල ජනයා තුළ සුදු පාලකයන් පිළිබඳව තිබූ බිය සන්ත්‍රාසය සුළු පටු නොවේ. සුද්දෙකු දුටු විට බියෙන් ගැහෙන හැකිළෙන තත්ත්වයට වැටී සිටි සිංහලයා තුළින් ඒ බිය නිවට ගතිය තුරන් කිරීමට පරසුද්දාට බිය, නොවනුයි කී ධර්මපාල තුමා පඹයෙකු සාදා පරසුද්දාට තළන ලෙස පහර දෙන්නට යෑයි එතුමා එදා ජාතියට උපදෙස්‌ දුන්නේ සුද්දන් කෙරෙහි පැවැති බිය තුරන් කිරීම එදා කාලීන වශයෙන් තිබූ වැදගත්ම අවශ්‍යතාවයක්‌ වූ නිසාමය.

"සිංහලයනි නැගිටිව්" යන අභීත කෙසර සිහ නදින් සිංහලයා මර නින්දෙන් අවදි කළ එතුමා සුරාවට, සූදුවට දුසිරිතට පරගැති සිරිතට විරිතට එරෙහිව අනුකම්පා රහිතව දැඩි ලෙස පහර දුන්නේ එතුමා තුළ තිබූ අවංක අවශ්‍ය දේශානුරාගය නිසාමය.

දොන් කරෝලිස්‌ හේවාවිතාරණ මුදලිතුමන්ගේ හා මල්ලිකා හේවාවිතාරණ මෑණියන්ගේ පුතණුවන් වශයෙන් මෙලොව එළිය දුටු ධර්මපාලතුමාගේ මුල් නම වූයේ දොන් ඩේවිඩ් හේවාවිතාරණය. බාල වියේදී මූලික ඉගෙනුම් කිරීමට සිදුවූයේ ක්‍රිස්‌තියානි පාසල්වලින් වීම නිසා කිතු දහම පිළිබඳවද මනා දැනුමක්‌ ඇති කරගැනීමට හැකිවිය. එහෙත් විෙද්‍යාදය මහා පිරිවෙනේ හා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඇසුරින් හෙළ බසින් බුදු දහමත් ඉගෙනීමට හැකිවීම ඔහුට මහා භාග්‍යයක්‌ම විය. ආශිර්වාදයක්‌ම විය.

වාදීභසිංහ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ඇසුරට පත්වීම අභීතව සටන්කාමීව කටයුතු කිරීම පිළිබඳව ආභාෂයන් ලැබීමට බලවත්ම හේතුවක්‌ විය.

සෙන්පති ඕල්කට්‌තුමා ලක්‌දිවට පැමිණ බුදුදහම වැලඳ ගැනීමත් පරම විඥනාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීමත් එමගින් ඉරුදින දහම් පාසල් හා බෞද්ධ පාසල් ඇරැඹීමට පටන් ගැනීමත් ධර්මපාලතුමාගේ ජීවිතයේ මහා පෙරැළියකට හේතුවිය. බෞද්ධ ප්‍රබෝධය පිණිස ඕල්කට්‌තුමා පැවැත්වූ "දෙසුම්" සිංහලයට පෙරළීමේ කාර්යය භාර ගැනීමට එදා සිටි සුදුසුම තැනැත්තා වූයේ ධර්මපාලතුමාය.

මෙසේ කලක්‌ ගතවෙද්දී ගිහි ජීවිතයෙන් ඈත්ව "අනගාරික ප්‍රතිපදාවට" පිවිස "අනගාරික ධර්මපාල" වී මුළුමහත් ජීවිතයම රට දැය සමය උදෙසා කැපකළ ධර්මපාලතුමා බුද්ධගයාව ඇතුළු දඹදිව බුදුන් උපන් දේශයේ බොදු පුදබිම් බොදු ලෝකයාට හින්දු ග්‍රහණයෙන් මුදවා හිමිකරදීමට දැරූ ප්‍රයත්නය දියත් කළ සටන සුළුපටු නොවේ.

මහා බෝධි සමාගම අරඹා සසුනේ අභිවෘද්ධියට පටන් ගත් සේවාවන් හේතු කොටගෙන බෞද්ධ ප්‍රබෝධයට ලැබුණ රුකුල සුවිසල්ය.

සිංහල බෞද්ධයා සතිපතා පත්‍රය අරඹා හෙළ බොදු සටන වඩ වඩාත් ප්‍රාණවත් කිරීම සඳහා දැරූ තැත සුලුපටු නොවේ. ධර්මපාලතුමාගේ දෙසුම්වලින්. ලිපි ලේඛනවලින් පිළිවෙත් හා ක්‍රියාමාර්ගවලින් ජාතිය සැබවින්ම පණ ගැන්විණි. එදා තමන් සිංහලයකු යයි බෞද්ධයකු යයි කීමට බියවූ, මැලිවූ පසුබට වූ සිංහල බෞද්ධයන් නොබියව හෙළ බොදුනුවන් වශයෙන් පෙරට එන්නට පටන් ගත්තේ එතුමාගේ මෙම ක්‍රියාදාමයන් හේතුවෙනි.

මෙරට බුදුසසුනන්, බොදුකමත් සුරැක ගන්නා අතරම දඹදිව බොදු පුදබිම් බොදු ලොවට හිමිකරදුන් එතුමා බටහිර රටවල පවා බුදුදහම පතුරුවා හැරීමට ඉතා වටිනා මෙහෙවරක්‌ ඉටුකරලීමට සමත් විය. ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ පැවැති ලෝක ආගම් පිළිබඳ සම්මේලනයකදී බුදුදහම පිළිබඳව දම්පල්තුමා පැවැත්වූ හරබර අරුත්බර අතිවිශිෂ්ට දේශනය බුදු දහම පිළිබඳව ලෝකයාගේ ඇස්‌ ඇරවීමට ප්‍රබලතම හේතුවක්‌ම විය. ලොව පුරා බුදුදහම ප්‍රචලිත කිරීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ ධර්මදූතයෙකු වශයෙන් එතුමා දෙවැනි වනුයේ ධර්මාශෝක අධිරාජයාට පමණකි. සිංහල ජනතාවගේ කුසීත (කම්මැළි) කම, අවිධිමත් බව, පරගැතිබව නැති කරලීමටත් දේශපාලන නිදහසට මෙන්ම ආර්ථික නිදහස කෙරෙහි සිංහලයන්ගේ සිත් සතන් යොමු කරවීමටත් එතුමා දැඩි කැපවීමකින් කටයුතු කළේය. එවකට මෙරට ඇරැඹිය හැකිව තිබූ රෙදි විවීම, ගිනි පෙට්‌ටි සෑදීම වැනි කර්මාන්ත කෙරෙහි සිංහලයන් තුළ උනන්දුවක්‌ ඇති කිරීමට මූලික වූ අතර දක්‍ෂ උගත් තරුණ පිරිසෙන් තෝරා තම වියදමින්ම ජපානය වැනි රටවලට යවා කර්මාන්ත පුහුණුවක්‌ ලබා ස්‌වදේශීය කර්මාන්ත මේ රටේ ඇති කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්‌වීය.

ධර්මපාලතුමා මෙලොවින් සමුගෙන වසර අසූවක්‌ම ගතවී ඇතත් එදා එතුමා ජාතියට දායාද කළ අදහස්‌ උදහස්‌ පිළිවෙත් ක්‍රියාදාමයන් තුළින් අදත් අපේ ජාතියට දේශයට ලද හැකි ප්‍රයෝජනය, ශක්‌තිය, සෙත ශාන්තිය සුළුපටු නොවනු ඇත.

එතුමා ඇරැඹූ මහා බෝධි සමාගම් මෙන්ම එමගින් සිදුකෙරෙන ජාතික ශාසනික සේවාවන් අදත් නිරුපද්‍රිතව පැවතීම අපගේ බලවත් සොම්නසට හේතුවිය යුතුය. එම සේවාවන් මතු පරම්පරාවන්ගේ හිතසුව පිණිස සුරැක ගනිමින් ඒවා දියුණු තියුණු කර ගැනීමට දායක වීම නූතන සිංහල බෞද්ධයන්ගේ පරම යුතුකම මෙන්ම වගකීම වන්නේය.

ධර්මපාලතුමා එදා ඇරැඹූ ක්‍රියාදාමයන් වැඩපිළිවෙළවල් කාලානුරූපීව ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ වත්මන් සභාපති මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමියන් ප්‍රමුඛ ශ්‍රී ලංකා මහා බෝධි සමාගම සුවිසල් මෙහෙවරක යෙදී සිටීම මහා භාග්‍යයකි.

දඹදිව මෙන්ම ජපානයෙන් බුදුසසුන බැබළවීම පිණිස කටයුතු කරන අතරම යොෂිඩා අධ්‍යාපනික හා සමාජ සේවා පදනමේ අධ්‍යක්‍ෂ ධුරය හොබවමින් බානගල නාහිමියන් කරනු ලබන උදාර සමාජ සත්කාර මෙහෙවර සැබවින්ම ප්‍රශංසනීයය.

දම්පල් සිතුම් පැතුම් හා පිළිවෙත් මගින් මෙරට මෙන්ම පිටරටද බොදු පුබුදුව ඇති කොට වඩාත් ඵලදායි මෙහෙවරක්‌ ඉටුකරලීමට මහා බෝධි සමාගමට හා එහි ක්‍රියාදාමයන්ට අතහිත දීම සෑම හෙළ බොදුනුවකුගේම පරම යුතුකම වන්නේය.

එවැනි ඵලදායි අරුත්බර ක්‍රියාදාමයකට දායකවීම හවුල්වීම ධර්මපාලතුමාගේ උතුම් නාමයට දැක්‌විය යුතු හැකි උතුම්ම උපහාරය නොවන්නේදැයි සිතා බැලිය යුතුය.

මෙහිලා ඉහත දැක්‌වූ වැදගත් කරුණු තේරුම් ගෙන දම්පල්තුමන්ට නිසි ගෞරව උපහාර පුදමින් මේ රටේ බුදුසසුනත් බොදුකමත් සුරැක ගැනුමට අප සිත් සතන් තුළ තිරසර අදිටනක්‌ ඇතිකර ගනිමු.

දම්පල් සිතුම් පැතුම් පිළිවෙත් මගින් ජාතියට නිසි ඵල ප්‍රයෝජන හිමිකර දීමට අවංකවම ඇප කැප වෙමු.

කේ. කරුණාදාස - ශ්‍රී ලංකා දේශප්‍රේමී පෙරමුණේ සභාපති
ජාතියට මඟ කියූ ධර්මපාල චින්තනය 
අදට යෙදෙන අනගාරික ධර්මපාලතුමාගේ අසූවන (80)ගුණ සමරුව නිමිත්තෙනි
http://www.divaina.com/2013/04/28/news.html

[
සබැඳි ලිපි
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: