Pages

Wednesday, April 10, 2013

අමතක නොකළ යුතු සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

වසරක්‌ ගෙවී නව වසරක්‌ උදා වී අප්‍රේල් මාසය මැද වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත. සිංහල දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යාගේ සංක්‍රමණයයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්‌ථාව සම්බන්ධකොට ගෙන සිංහල, දෙමළ, ජනතාවට, ආවේනික චාරිත්‍ර වාරිත්‍ර, ගති සිරිත්, සංස්‌කෘතික ලක්‍ෂණ ක්‍රියාත්මක කරවීමයි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශිය කරා සංක්‍රමණය වෙන වෙලාව නොනගතය නමින් හැඳින්වේ. නක්‌ෂස්‌ත්‍රානු කූලව මෙලෙස සූර්යාගේ සංක්‍රමණය සම්බන්ධ කොට අලුත් චාරිත්‍ර විධි ක්‍රියාත්මක කළ ද ඊට එහා ගැඹුරු චාරිත්‍ර ධර්ම පද්ධතියක්‌ සමග සිංහල අලුත් අවුරුද්ද අත් වැල් බැඳ, ගෙන තිබෙන බවක්‌ මතක්‌ කළ යුතුව ඇත.

ක්‍රම ක්‍රමයෙන් ගිලිහීගෙන යන එම චාරිත්‍ර සිරිත් විරිත් අලුත් අවුරුද්ද උදා වනවාත් සමගම මතක්‌ කර ගැනීම ඉතා වැදගත් වන්නේය. වසරක්‌ ගෙවී තව වසරක්‌ උදා වෙනවා යනු ළමයි තරුණ වීමත් තරුණයින් වැඩිහිටියන් වීමත්, වැඩිහිටියන් මරණයට ආසන්න වීමත් මෙහිදී වයස තුළ සිදුවන එම විපර්යාසයන් සමග පරණ ගති සිරිත් අමතක වී යැමක්‌ සිදු වේ. ඊටත් වඩා අද ගෙවන නවීන ලෝකයත් සමග අපට ආවේනික වූ ක්‍රීඩා බහුල වශයෙන් අමතක වී තිබේ. එය ඉදිරි පරම්පරාව සඳහා දායාද කරදීමට අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතුය. එසේ නොමැති වුවහොත් අපට ඉදිරි ලෝකය තුළ දැක ගන්නට ලැබෙන්නේ හදපු ලෝකයක්‌ තුළ හදපු මිනිසුන් රිමෝට්‌වලින් වැඩ කරන ආකාරයක්‌ය. ඒ තරමට ම අද ලෝකය හා පුද්ගලයා වෙනසකට බඳුන් වී තිබේ.

අප මෙහිදී නවීන තාක්‍ෂණ නුසුදුසු යෑයි කියා කොහෙත්ම සඳහන් කරන්නේ නැත. එසේ වූවද නවීන තාක්‍ෂණයත් සමග ජීවත් වීමේදී අපට ආවේනික වූ ක්‍රම වේදයක්‌ හා ගති සිරිත් අමතක නොකළ යුතුය. ඒවාට පයින් ගසා කෙනෙකු අලුත් ලෝකයක්‌ වැළඳ ගැනීමට උත්සාහ කරන්නේ නම් ඔහු සංස්‌කෘතික ලක්‍ෂණ නොමැති රොබෝ මිනිසෙකු බවට පත් වන්නේ ය. එනිසා අප හැම දෙනෙක්‌ම එම වටිනා චාරිත්‍ර ඉදිරියට ද පවත්වා ගෙන යා යුතුය. අලුත් අවුරුද්ද තුළ කා බී විනෝද වීම පමණක්‌ ප්‍රමාණවත් නොවන බව මතක තබා ගත යුතුය. අලුත් ඇඳුම් ඇඳිමින්, ගෙවල් දොරවල් අලුත් කරමින් අවුරුදු සැමරුමට මිනිසුන්ගේ සිතුම් පැතුම් අලුත් නොවන්නේ නම් එම අවුරුදු සැමරීමෙන් ප්‍රයෝජනයක්‌ නොමැත. එනිසා අපි අලුත් සිතුම් පැතුම් ද සමගින් අලුත් අවුරුද්ද සැමරීමට වග බලා ගත යුතුය.

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන වෙලාව තුළ නොනගතය කියා හඳුන්වනු ඇත. ඒ කාලය තුළ වැඩ කටයුතු වශයෙන් යමක්‌ නොකරන අතර පිං කටයුතු කිරීම සුදුසු බව සඳහන් වේ. එනිසා පුණ්‍ය කාලය හැටියට එම කාලය යොදා ගෙන ඇත. ඒ කාලය තුළ මිනිසුන් විහාරස්‌ථානවලට ගොස්‌ මල් පූජා කිරීම් හා ආගමික චාරිත්‍රවල නියෑලීම අලුත් අවුරුද්දේ සුවිශේෂිතම කාර්යය ලෙස හැඳින්වීමට පුලුවන. එයට හේතුව වශයෙන් සැලකෙන්නේ තුනුරුවන්ට මුල් තැන දී වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීමට සුදුසු බවය. සිංහල බෞද්ධයින් උපතේ සිට විපත දක්‌වා ම ගෙවන කාලය තුළ සියලු කටයුතු තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සුලභ දෙයකි.

අලුත් අවුරුද්ද තුළ ද මුල් තැන ලැබෙන්නේ ආගමික චාරිත්‍ර සඳහා ය. එය ඉතා වටිනා ගුණ ධර්මයක්‌ සේම පිංකමක්‌ ද වන්නේය. අවුරුද්දක්‌ තුළ විවිධ අංශයන්හි සමගියක්‌, සාමුහිකත්වයක්‌, සමෘද්ධියක්‌ දැක ගන්නට ලැබෙනු ඇත. මිනිසුන් තුළ නැති වී යන ගුණ ධර්ම නැවත අලුත්වීම්, අමතක වී යන චාරිත්‍ර ධර්ම නැවත අලුත් වීම සිංහල අවුරුද්දක සුවිශේෂී සිදුවීමකි. සෑම නිවසකම මල් පැළක්‌ තැනීම, පහනක්‌ දැල්වීම, කැවුම්, කිරිබත්, රසකැවිලි හැදීම, අලුත් ඇඳුම් ඇඳීම, ගෙවල් දොරවල් අලුත් කිරීම හා පිරිසිදු කිරීම, නෑගම් යැම ආදී නොයෙක්‌ විවිධ අලුත් කටයුතුවල යෙදීමට සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සෑම කෙනෙක්‌ම උත්සාහවත් වනු ඇත.

කලින් තිබූ අසමගිකම් නැතිකර ගැනීමත් අවුරුද්දක්‌ තුළ පවතින සුවිශේෂී ලක්‍ෂණයක්‌ වන්නේය. ඒ සඳහා අසල්වාසී නිවෙස්‌වලට කැවුම් කිරිබත් සකසාගෙන ඒවත් රැගෙන ගොස්‌ සුහදව කතා බස්‌ කර ආහාර වේලක්‌ අනුභව කර එතෙක්‌ කල් ඇති වී තිබූ අසමගිකම් නැතිකර ගැනීමට පුළුවන. මිනිසුන්ගේ දුර්වල මානසික මට්‌ටමක්‌ නිසා හටගන්නා අසමගිකම මෙවැනි සිංහල අලුත් අවුරුද්දක හෝ නැති කර ගන්නේ නම් එය ඉතා වැදගත් වන්නේය.

විශේෂයෙන් වැඩිහිටියන්ට ගෞරව කිරීම සිදු කරනු ඇත. එහිදී බුලත් අතට ලැබෙන්නේ සුවිශේෂී ස්‌ථානයකි. බුලත් අතක්‌ දී සුහදව වැඳ නමස්‌කාර කර සිනා මුසු මුහුණින් කතා කිරීම සිදු කරනු ඇත. දෙමාපියන්ට දරුවන් ද, ගුරුවරුන්ට ශිෂ්‍යයින් ද, ස්‌වාමියාට සේවකයින් ද, වැඩිහිටියන්ට බාල අය ද, පැවිදි පක්‍ෂයට ගිහි අය ද යන පිරිස අතර එම වන්දනාමාන කටයුතු සිදු වේ. එහිදී ආශිර්වාදය ද ලැබේ. එහිදී කිසිදු වාද භේදයක්‌ නොමැත. කාටත් පොදුවේ එම චාරිත්‍ර ඉෂ්ට සිදු වනු ඇත. කාටත් ප්‍රීතියක්‌ ලැබෙන ආකාරයට ආශිර්වාදය ලැබෙනු ඇත.

පුංචි ළමයි අතර ගත්ත ද දක්‌නට ලැබෙන්නේ ප්‍රීතිය හඟවන ස්‌වභාවයකි. ඔවුන් ද වැඩිහිටියන්ගෙන් තෑගි බෝග ලබමින් ආශිර්වාද ලබමින් සතුටු වෙති. රතිඤ්ඤා, නිලා කූරු, අහස්‌ කූරු වැනි අවුරුදු හඬ නංවන දේවල් දල්වමින් පුංචි ළමයි එම සතුට බෙදා ගනු ඇත. සතුට නිසාම ඒ දිනවල කෑම පවා ළමයින්ට අවශ්‍ය නැත. ඒ තරමටම අවුරුදු චාරිත්‍රවලින් සතුටක්‌ ප්‍රීතියක්‌ ලැබෙනු ඇත. දැනට වසර 10 කට 15 කට පෙර දී එම චාරිත්‍ර අවුරුදු සිරිත් නොඅඩුවම සිදු විය. අද වන විට ඒවායේ පිරිහීමක්‌ විනාශ ස්‌වභාවයක්‌ දක්‌නට ලැබේ. එනිසා අප මතක්‌ කර දෙන්නේ ඉදිරි පරම්පරාවට ද එම අවුරුදු චාරිත්‍ර දැක බලාගෙන විනෝදවීමට ඒවා සුරැකිය යුතු බවය. ඒවා ඉදිරියට පවත්වාගෙන යා යුතු බවය. සමස්‌තයක්‌ හැටියට ගත් කළ මෙවර සිංහල, දෙමළ අලුත් අවුරුද්ද විකාශනය වන්නේ මේ අයුරින්ය.

ඉහතින් සඳහන් කළ ආකාරයට අවුරුදු චාරිත්‍ර නිතර සිහියට ගෙන අපට නැති වී යන එම ගුණාංග හා චාරිත්‍ර විධි ඉදිරියට තව තවත් ගෙන යැමට උත්සාහවත් විය යුතුය. විශේෂයෙන් මෙවර ද සිංහල අලුත් අවුරුද්ද අපට සුවිශේෂී අලුත් අවුරුද්දක්‌ වන්නේ තිස්‌ වසරක්‌ පැවැති යුද්ධයේ දෝංකාරය මුළුමනින්ම නැති වී ගොස්‌ අවුරුදු සැමරීමට භාග්‍යයක්‌ අද වන විට උදා වී තිබීමය. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, අපි කාහටත් ජාති ආගම්, කුල භේදයකින් තොරව සමගියෙන් නෑගම් යැමට අවුරුදු චාරිත්‍ර සැමරීමට තිස්‌ වසරක්‌ ඇතුළත් අප ලද තෙවැනි අවස්‌ථාව වීම ද මෙවර අලුත් අවුරුද්ද සැමරීමට සුවිශේෂී වන්නේය.

එනිසා මෙම වර්ෂය මුලදී අප මතක්‌ කළා සේම සිංහල අලුත් අවුරුදු උදාවත් සමග ම අප මතක්‌ කරන්නේ ද සියලු වාද භේද ඉවතලා පක්‍ෂ භේදයකින් තොරව එකම රටක එකම මවකගේ දරුවන් සේ ජීවත් වීමට සුදුසු පරිසරයක්‌ නිර්මාණය කිරීමට අප සෑම කෙනෙක්‌ ම දායක විය යුතු බවයි. ඒ සඳහා මානසික විපර්යාසයක්‌ සේම චර්යාමය වෙනසක්‌ද ඇති කර ගත යුතුය. අලුත් අවුරුද්ද තුළ අලුත් සිතුම් පැතුම් ඇති කරගෙන පරණ අමනාපකම් ඉවතලා සමගියෙන් සමාදානයෙන් ජීවත් වීමට මෙරට පුරවැසියන් හැටියට අප සෑම කෙනෙකුටම ශක්‌තිය ධෛර්යය වාසනාව ලැබේවා.

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ
ආචාර්ය ගලගෙදර රතන වංස හිමි
http://www.divaina.com/2013/04/10/feature01.html

0 comments: