Pages

Thursday, April 4, 2013

මුහුදු මහා විහාරය ගිනි තැබුවාද? - JHU

ඓතිහාසික මුහුදු මහා විහාරයේ හදිසි ගින්න ගිනි තැබීමක්දැයි සාධාරණ සැකයක් මතුව ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් නිශාන්ත වර්ණසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.

නිවේදනය මෙසේය.

ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ සිදු වී ඇති ගින්න පිළිබදව සාධාරණ සැකයක් ඇතිවීමට හේතු සාධක ඇත. මක් නිසාදයත් ඓතිහාසික මුහුදු මහා විහාරය පසුගිය කාලය පුරාම මුස්ලිම් මූලධර්මවාදී බලපෑමට හසු වූ ඓතිහාසික විහාරස්ථානයක් වන බැවිනි. පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉපැරණි පුරාවස්තු විනාශ කිරීමත්, පූජා භූමියට අයත් ඉඩම් බලහත්කාරයෙන් අන්‍ය ජාතීන් අත්පත්කර ගැනීමත්, එහි වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාට දිගින් දිගටම හිංසා පීඩා කිරීමත්, එම ස්ථානයේ වන්දනාමාන කිරීමට ගිය බෞද්ධ වන්දනාකරුවන්ට සිදු වූ බාධකත් හේතුකොට ගෙන මෙම සාධාරණ සැකය පැන නැගී ඇත.

මෙම පූජා භූමියේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම මෙන්ම එහි ඇති ගල් කණු සදකඩ පහන් ඒ අවට අන්‍යාගමිකයන් රෙදි අපුල්ලෑමට, වැසිකිලි වලවල් සෑදීමට, ලිප් සෑදීමට, නිවෙස්වල පඩි සෑදීමට යොදාගත්  බව රහසක් නොවේ.

මෙවැනි පසුබිමක් තුළ මෙහි වැඩවාසය කළ ස්වාමීන් වහන්සේලා කිහිප නමකටම විහාරස්ථානයේ වැඩවාසය කළ නොහැකි තත්වයක් පසුගිය කාලයේ නිර්මාණය කළ අතර, මෙම විහාරස්ථානය සංවර්ධනය කිරීමට හෝ  නගා සිටුවීමට හෝ ඉඩ ලබා දුන්නේද නැත. මෑතක දී එම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකර විහාරස්ථානය සංවර්ධනය කළ අවස්ථාවේදී මුස්ලිම් අන්තවාදී සංවිධාන හා ඇතැම් මුස්ලිම් දේශපාලඥයන්ගෙන් දිගින් දිගටම බාධා කිරීම් සිදුවිය. මුහුදු මහා විහාරය වටලමින් ගොඩ නැගී ඇති මුස්ලිම් බලපෑම හේතුකොට ගෙන අද එම විහාරස්ථානය හුදකලා වී ඇත. එය වන්දනාමාන කිරීමට පැමිණෙන බෞද්ධයන් නොරුස්සන්නේ මෙම ඓතිහාසික බෞද්ධ පුදබිම නැවත බෞද්ධයන්ගේ ජීවමාන වන්දනාවට ලක්වේය යන බිය නිසාය. මුහුදු මහා විහාරය පිටුපස ඇති කතාව කාට තිත්ත වුවත් ඇත්ත කතාව එයයි.

එබැවින් පසුගිය දා මුහුදු මහා විහාරයට හදිසි ගින්නකින් සිදු වූ හානිය ඉතා බරපතලය. මේ පිළිබදව අපට සාධාරණ සැකයක් ඇති අතර, මෙය කඩාකප්පල් කාරී කි‍්‍රයාවක්ද? ගිනි ගැනීමක්ද? ගිනි තැබීමක්ද? යන්න පිළිබදව වහාම පිළිගත හැකි විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙහි සත්‍ය අසත්‍යතාව රටට හෙළිකරන ලෙස අප වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම පරීක්ෂණය සිදුවන ආකාරය පිළිබදව අප විමිසිලිමත්ව බලා සිටින බව අවධාරණය කර සිටිමු.

මුහුදු මහා විහාරයේ හදිසි ගින්න ගිනි තැබීමක්දැයි සැකයක් ?
April 4, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92672/

0 comments: