Pages

Sunday, June 21, 2015

20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය! ඔන්න... ගැසට්‌ පත්තරේනම් හරි...

20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධන ඇතුළත් කෙටුම්පත ගැසට්‌ කරනවා යෑයි කීවේ දැනට දෙසතියකට පෙරය. එම ප්‍රවෘත්තිය පළවූදාට පසුදාම "ගැසට්‌ටුවට"ද බාලගිරිදොෂය වැළඳෙනු ඇතැයි අපි කීවෙමු. එය එසේම සිදුවිය. ඒ වග අපට කීවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු හෝ ආණ්‌ඩුවේම කකුල් දෙපැත්තේ තබාගෙන සූදානමින් ඉන්නා මන්ත්‍රීවරයකු හෝ ඇමැතිවරයකු නොවේ.

ඒ බව අප කීවේ පෙර දැක්‌මෙනි. එතෙක්‌ සිදුවූ සියලු දේ කිරා මැන බැලීමෙනි. කෙසේ හෝ පෙරේදා (17දා) වනවිට අදාළ 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කර තිබිණි.

20 වැනි සංශෝධනය ගැන රටේ ජනතාව තුළ විශාල උනන්දුවක්‌ ඇතිවී තිබිණි. ඇත්තෙන්ම මැතිවරණයකටත් වඩා රටේ ජනතාවට අවශ්‍ය වී තිබුණේ දේශපාලනයේ මතුව තිබෙන මේ තක්‌කඩි සංස්‌කෘතිය වෙනස්‌ කිරීමේ අවශ්‍යතාවකි. තමන් ගොඩයන්නේ කොහොමදැයි සිතන බොහෝ දේශපාලනඥයන්ට වඩා ජනතාවට දුරපෙනෙන වගක්‌ පෙනෙන්නට තිබේ.

ගැසට්‌ පත්‍රයක්‌ මගින් ප්‍රකාශයට පත්කළද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන මස දෙවැනි සතියේදී බව කියෑවේ. දින සියයේ පොරොන්දු අතර 20 ගැනද සඳහන්ව තිබිණි. ජනාධිපතිවරයාට බොහෝ දේ වෙනස්‌ කිරීමේ හා ශ්‍රී ලාංකීය දේශපාලන සංස්‌කෘතියට නව ප්‍රවේශයක්‌ ගැනීමේ තදබල වුවමනාවක්‌ තිබෙන බව පැහැදිලිය. දින සියයේම ප්‍රමුඛ පොරොන්දුවක්‌ වූ විධායක බලතල අඩුකරමින් ඔහු ප්‍රකට කළේ ඒ වුවමනාවයි.

එහෙත් පසුගිය කාලය තුළම සිදුවූයේ කිසිදු එකඟතාවක්‌ ඇතිකර ගැනීමට නොහැකි අයුරින් 20 වැනි සංශෝධන මාතෘකාව කචල් කරගැනීමය. ජනාධිපතිවරයාට වුවමනාවී තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර 20 වැනි සංශෝධනය ගෙනඒමයි. ජනාධිපතිවරයාගේ දින සියයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා නව මැතිවරණ ක්‍රමයක්‌ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්‌ පත්කළ යුතුයෑයි සටහන්ව තිබුණේය. එම කමිටුව පත් කිරීම කළ යුතුව තිබුණේ පසුගිය ජනවාරි 28 වැනිදාය.

එමෙන්ම නව මැතිවරණ ක්‍රමය පිළිබඳව කමිටු යෝජනා අනුව නීති රීති සකස්‌ කිරීමට නියම කොට තිබුණේ මාර්තු මස දෙවැනිදාය. මාර්තු 17 වැනිදා වන විට නව මැතිවරණ ක්‍රමය ඇතුළත් සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබිණි.

එදා මේ කාලසටහනේ දින කිහිපයක්‌ හෝ සතියක්‌ දෙකක්‌ එහා මෙහාවීමකින් වැඩකටයුතු ආරම්භ කළේ නම් සංශෝධන ගෝරි සහ වාද (විවාද) වලටද කාලය ගනිමින් 20 වැනි සංශෝධනය ගෙන ඒමේ අවසන් අදියරයට පැමිණෙන්නට ඉඩකඩ තිබිණි. කෙසේ හෝ දැන් නාට්‍ය කරළියට ගෙනවිත් තිබේ. ටිකට්‌ කඩා අවසන්ය. ප්‍රේක්‍ෂකයන් නොඉවසිල්ලෙනි.

දැන් ඇත්තේ "ඉක්‌මනින්" රඟදැක්‌වීමය.

මේ "ඉක්‌මන" දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව සඳහා නොව ජනතාවගේ හෙට දවස උදෙසාය. අපට පෙනෙන හැටියට විස්‌ස මේ තරමින් ප්‍රමාද වූයේ කිසිවෙකුත් එය "ජාතික න්‍යාය පත්‍රයක්‌" හැටියට සළකමින් කටයුතු නොකළ නිසාය. තවමත් බොහෝ දේශපාලනඥයන් එය තමන්ගේ "දේශපාලන න්‍යාය පත්‍රය" බවට පත්කරගෙන තිබේ. ගමේ, නගරයේ සිටින තක්‌කඩින්, කුලියට මිනීමරන්නන්, කුඩු මුදලාලියන්, දූෂිතයන් විසින් රැස්‌කරගත් (මංකොල්ල කෑ) මුදල් කන්දරාව විසිකරමින් ඡන්ද බාගන්නා මනාපය අහෝසිකර යහපත් (මිනිසෙකු) දේශපාලනඥයකු පාර්ලිමේන්තුවට පත්කර යෑවීමේ ක්‍රමයක්‌ ගෙන ඒමට විරුද්ධවන්නේ මේ දේශපාලන කුණුවළෙහිම කරවටක්‌ ගිලී සිටින්නෝ පමණි.

එහෙත් රටේ ප්‍රජාතාන්ත්‍රික වෙනසක්‌ අපේක්‍ෂා කරන ජනතාව මේ ක්‍රමයේ වෙනස ගැන උනන්දුවෙන් පසුවෙති. පසුගිය ජනවාරි 8 වැනිදා ජනතාව බලය ලබා දුන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයටය, න්‍යාය පත්‍රයටය. ඒ ජනවරමට පයින් ගසමින් කේවල් කිරීමේ පාදඩ දේශපාලනය අවසන් කළ යුතුය.

http://www.divaina.com/2015/06/19/editor.html

Pic Source

0 comments: