Pages

Friday, June 26, 2015

කොටි යළි උපද්දවීම

රාජ්‍ය පාලකයා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු වීම අත්‍යවශ්‍ය කාරණයකි. අතීතයේදී රජකම ලබා ගැනීමට ප්‍රගුණ කළ යුතු යුද ශිල්ප ශාස්‌ත්‍ර ඥනය පිළිබඳව සැලකිල්ලක්‌ දැක්‌වූයේ ඒ නිසාය. ලෝකය දියුණු වෙත්ම ප්‍රජාතන්ත්‍රවාදය මතුරමින් දැන් ඕනෑම අයෙකුට රජකම කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අතමිට දිග හැර අවශ්‍ය හා අනවශ්‍ය දේට වියදම් කිරීමත් තම ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට හොඳ හෝ නරක උපාය උපක්‍රම දැන සිටීමත් පමණි. ලංකා දේශපාලනයේ මේ ප්‍රවණතාවය වඩා වර්ධනය වී බුද්ධිමතුන් උගතුන් ශාස්‌ත්‍රඥයන් වැන්නවුන් සමාජයේ මුල්ලකට තල්ලුකර දේශපාලනඥයන්ට අවශ්‍ය දේම පමණක්‌ කරන පරිසරයක්‌ නිර්මාණය වී තිබීම කනගාටුදායකය. මෙම තත්ත්වයට වගකිවයුත්තේ අද රට කරවන දේශපාලනඥයන් නොව ඔවුන්ට පූර්වාදර්ශ සැපයූ අතීතයේ රට කරවූවන්ය. දේශපාලනඥයන් අතරද උගතුන් බුද්ධිමතුන් නැත්තේම නොවේ. ඒත් ඔවුන්ට උඩුගං බලා පීනා යාමට නොහැකි නිසා ගඟදිය පාරට හසුව ඔවුන්ද ගසාගෙන යන්නේය.

අපට මේ පූර්විකාව සඳහන් කරන්නට සිදුවූයේ පසුගිය සතියේ අපි මේ තීරුවෙන් හෙළිදරව් කළ ඩයස්‌පෝරාවේ කටයුතු ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිල ප්‍රකාශනය නිසාය. එම වාර්තාව සඳහන් කරන අන්දමට කොටි සංවිධානය පරාජය කළද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය හා ඊට මුදල් එකතු කරන වැඩපිළිවෙළක්‌ හොඳ හැටි ක්‍රියාත්මක වේ. 2014 වර්ෂයේදී කොටි හිතවාදී ජාත්‍යන්තර මුදල් ඒකකය ක්‍රියාත්මක වූ බවද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවට යුරෝපයේ උතුරු ඇමරිකාවේ මෙන්ම ආසියානු කලාපයේ වෙසෙන කොටි හිතවාදීන්ගෙන් මුදල් පරිත්‍යාග ලැබෙන බවද 2014 වර්ෂයේදී මැලේසියාවේදී කොටි හිතවාදීන් 14 දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

මේ සියලු කාරණාවලින් යළිත් තහවුරු වී ඇත්තේ කොටි සංවිධානයේ හිතවතුන් දෙමළ ඩයස්‌පෝරාව වෙනුවෙන් විවිධ නම්වලින් ක්‍රියාත්මක වන බවය. මේ යථාර්ථය අවබෝධ කර නොගන්නා ඇතැම් දේශපාලනඥයන් ඩයස්‌පෝරාවට විවිධ අර්ථ කථන සපයමින් තමන්ගේ ක්‍රියා මාර්ග නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරමින් සිටින බවක්‌ පෙනේ. ලෝක ඉතිහාසයේ බිහිවූ දෙවන ඩයස්‌පෝරාව දෙමළ ඩයස්‌පෝරාවයි. දෙමළ බෙදුම්වාදයට ඩයස්‌පෝරාව නමැති මෙම ටයිටලය (ඔසඒකැ) ආදේශ කරන ලද්දේ ලොස්‌ ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පුවත්පත විසිනි. ඒ 1983 වර්ෂයේදීය. අපේ දේශපාලනඥයන්ගේ අර්ථකථනයට අනුව සිය මව්බිමෙන් ඈත් වී ලෝකයේ විවිධ රටවලට සංක්‍රමණය වී සිටින ජනතාව ඩයස්‌පෝරාවය. එය අසත්‍ය මෙන්ම සත්‍ය වසං කරන්නට හෝ සාමාන්‍ය ජනතාව නොමඟ යෑවීමට දරන උත්සාහයකි. එම අර්ථයෙන් ගතහොත් මුළු මහත් ඇමරිකා මහද්වීප දෙකේම ජනයා ඩයස්‌පෝරාවේද? එක්‌සත් ජනපදය හා කැනඩාව යන දෙරටේ අද ජීවත්වන ජනතාවගෙන් 80% ක්‌ පමණ යුරෝපීය රටවලින් හා අප්‍රිකාවෙන් සංක්‍රමණය වූවන් බව අමුතුවෙන් කිව යුතු නැත. දකුණු ඇමරිකාවේ ජීවත් වන අතිවිශාල බහුතරය ස්‌පාඤ්ඤ හා පෘතුගීසි බස කතා කරන රටවලින් සංක්‍රමණය වූවෝය.

පසුගිය වසර 25 ක්‌ ඔස්‌ටේ්‍රලියානු ජන සමාජය පිළිබඳ මට අත්දැකීම් හා අවබෝධයක්‌ ඇත්තේය. එරට ව්‍යවස්‌ථානුකූලවම බහුජාතික හා බහු සංස්‌කෘතික දේශයකි. එහි ජනගහනයෙන් 90% ක්‌ යුරෝපය හා ආසියාතික රටවලින් සංක්‍රමණය වූවෝය. එහි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ද ලක්‍ෂ දෙකක්‌ පමණ ජීවත් වෙති. නව සංඛ්‍යා ලේඛනවලට අනුව ලන්ඩන් නුවරටත් වඩා සිංහල සංක්‍රමණිකයන් ජීවත් වන්නේ මෙල්බර්න් නුවරය. මෙල්බර්න් නගරය හා අවට සිංහල බෞද්ධ පන්සල් 7 ක්‌ පිහිටුවා ඇත. මීට අතිරේකව කාම්බෝජය, තායි, බුරුම, ලාඕස්‌, චීන, වියට්‌නාම්, කොරියන් හා ජපන් බෞද්ධයන්ගේද පන්සල් ඒ නරගයේ පිහිටුවා තිබේ.

සංක්‍රමණිකයන් හා බෙදුම්වාදීන් අතර වෙනස ඩයස්‌පෝරාවය. ඩයස්‌පෝරාව නිශ්චිත බෙදුණු රාජ්‍යයක්‌ වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින්නේය. සංක්‍රමණික ප්‍රජාවගෙන් ඒ ඒ රටවලට ලබාගත හැකි සේවය ලබාගත යුතුය. අප රටට වැඩිපුරම විදේශ විනිමය ලැබෙන්නේ මැදපෙරදිග අර්ධ වහල් සේවයේ යෙදෙන අපේම කාන්තාවන් ගෙන්ය. රටකින් රටකට රැකියා හෝ අධ්‍යාපනය ලබන්නට යන්නේ සංක්‍රමණිකයෝ නොවෙති. ඔවුන් තාවකාලික වීසා බලපත්‍රලාභීන්ය. සංක්‍රමණිකයන් හා ඩයස්‌පෝරාව අහසට පොළව මෙන් වෙනස්‌ය. එය එකම කාසියේ දෙපැත්ත ලෙස මවා පෙන්වීමට උත්සාහ දැරීම ඉතිහාසය විකෘත කිරීමකි.

අද අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියා මාර්ග හා ඔවුන් කරනු ලබන ප්‍රකාශයන් දෙස හොඳ අවධානයකින් හිටියහොත් ඔබට පෙනේවී ඔවුන් පවසන්නට හදන්නේ කපුටන් පෙන්වා කවුඩන් යෑයි කීම බව. සංක්‍රමණිකයන් ඒ ඒ රටවල රාජ්‍යයන්ට හා රාජ්‍ය පාලකයන්ට අවනතය. කීකරුය. රටේ නීති රීති පිළිපදින්නට ඔවුන් එකඟය. ඒ නිසා ඔවුන් සමග ඕනෑම ගිවිසුමක්‌ අත්සන් කළ හැකිය. එහෙත් බෙදුම්වාදී උන්මාදයෙන් පෙළෙන දෙමළ ඩයස්‌පෝරාව කිසිවකුට අවනත නැති අකීකරු තමන්ගේ අරමුණ වෙනුවෙන් ඕනෑම බලහත්කාරකමක්‌ කිරීමට පසු නොබසින පිරිසකි. ඔවුන් සමග එකඟතා ඇති කර ගන්නෝද මුලාවෙති.

අපි ස්‌වෛරී නිදහස්‌ ජාතියක්‌ ලෙසත් රටක්‌ ලෙසත් ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන එයට මුහුණ දිය යුතුමය. අපට ජාත්‍යන්තරය රවට්‌ටන්නට බැරිය. ඔවුන් අපට වඩා හොඳින් අපටත් වඩා කලින් ඩයස්‌පෝරාව පිළිබඳ අවබෝධයක්‌ හා අත්දැකීම් ලැබූ අයයි. අදටත් ඔවුන් ඒ අත්දැකීම් සමග පීඩාවට පත්ව සිටින්නෝය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව ඩයස්‌පෝරාවට එල්ටීටීඊ හිතවාදීන් මුදල් එකතු කරන්නේ යාඥවෙන් හෝ හිඟමනේ යෙදීමෙන් නොවේ. ඔවුන් ඩයස්‌පෝරාවට මුදල් සොයන්නේ බලහත්කාරයෙන් මුදල් ලබාගෙනය. එසේ කරන ඔවුන් තිර අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන්නේ බෙදුණු රාජ්‍යයක්‌ උදෙසාමය. ඔවුන් එම අරමුණින් බැහැර වන්නේ නම් ඩයස්‌පෝරාව ක්‍රියාවිරහිත විය යුතුය. එසේ නොවන බව අපට තේරුම් ගත හැක්‌කේ ඩයස්‌පෝරාවේ ඉතිහාසය පරිශීලනය කිරීමෙනි. 1983 දී අපේ රටේ ඇතිවූ අවාසනාවන්ත කළු ජූලියෙන් පසු ආරම්භ වූ දෙමළ ඩයස්‌පෝරාව ලොව රටවල විහිදී සිටින එල්ටීටීඊ හිතවාදීන් මාර්ගයෙන් බලහත්කාර කමින් මුදල් එකතු කර ගනිති. ඒ ඔවුන්ගේ අනාගත සැලසුම් සඳහා වියදම් කරන්නටය.

මේ සියලු පසුබිම් හා පවතින රාජ්‍ය පාලනයේ හැකියාවන් හා නොහැකියාවන් හොඳින් අධ්‍යයනය කරන ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේග ඉතා ප්‍රවේශමින් හා අවස්‌ථානුකූලව ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා කටයුතු කරන බවද අමතක නොකළ යුතු අතිශයින්ම වැදගත් කරුණකි. මේ තත්ත්වය තහවුරු වන්නේ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පියවර ගත යුතු යෑයි ඉන්දීය අගමැති මෝදිගෙන් ඉල්ලා ඇති බව අනාවරණය වීමෙනි. කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බවට නවදිල්ලි ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ද ඉදිරිපත් කර ඇත. දෙමළ ඩයස්‌පෝරාව තමිල්නාඩුවේ පමණක්‌ නොව බොම්බායේ හා නවදිල්ලියේද ක්‍රියාත්මකය. අද ඉන්දියා තමිල්නාඩුවේ පවතින මේ තත්ත්වය සැලකීමේදී එළඹෙන ප්‍රාන්ත මැතිවරණයේදී ජයලලිතා හා කරුණානිධි යන දෙපළ ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවිය යුතු යෑයි ඔවුන්ගේ සටන් පාඨය කර ගැනීමටද බැරිකමක්‌ නැත.

1967 පැවැති මැතිවරණයේදී ඔවුන් ඉල්ලා සිටියේ සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම අහෝසි කරන ලෙසය. අද ඔවුන් එදාට වඩා ඉදිරියට පැමිණ ඇත. "රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය" කළාක්‌ මෙන් මේ තීරණාත්මක මොහොතේ අපේ ඇතැම් දේශපාලනඥයන් විහිළු සැපයීම කනගාටුදායක තත්ත්වයකි.

අපේ රටේ යුද්ධය උත්සන්නව පැවැති අවධියේ ඇතැම් දේශපාලනඥයන් රණවිරුවන්ගේ කැපවීම හෑල්ලුවට ලක්‌ කළේ කිලිනොච්චි යනවා කියලයි. තවත් අය කීවේ රණවිරුවන් යාපනය අල්ලන්න ආසන්නයි කියන්නේ බෙන්තර පාලමට ගිහිල්ල ආන්න ගාල්ල පේනවා වාගේ කියමනකට කියලයි. අප අතීතයෙත් පාඩම් උගත යුතුය. තම තමන්ගේ දේශපාලන අරමුණු හා ඉලක්‌ක කුමක්‌ වුවත් අප යථාර්ථයට මුහුණ දිය යුතුය. මේ අනුව මේ මොහොතේ ශ්‍රී ලාංකීය ජාතිය මුහුණ දී ඇති අභියෝග හමුවේ ඔවුන්ගේ ජීවිත ඉරණම සමග විහිළු කිරීම දැන්වත් නවතා දැමිය යුතුය. පටු දේශපාලන වාසී වෙනුවෙන් බෙදී වෙන්වී නොසිට සියලු පක්‍ෂ හා ජාතීන් එකට එක්‌ව දේශයේ හා ජාතියේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුය.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/06/26/feature03.html

Pic Source

සබැඳි ලිපි -
[

කැලේ මාරු උනත් පුල්ලි වෙනස් නොවන කොටියා කොටියාමයි!http://denethharinna.blogspot.com/2015/06/blog-post_81.htmlකොටි ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් හොඳ හැටි ක්‍රියාත්මකයි - ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_53.html
]

0 comments: