Pages

Wednesday, June 3, 2015

අපේ යුගයේ ආශ්චර්යය - රම්බඩගල්ල සමාධි පිළිම වහන්සේ

ඉමක්‌ කොනක්‌ නොමැතිව දැවෙන අපේ සිත් සතන් පහන් කර නිවී සනසා ගැනීම තුළින් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණය ජීවිතයට මනාව පිළිබිඹු කර දෙමින්, ඉවසීමේ මහා ප්‍රාතිහාර්යය බබළවමින් සිවුවැනි වරටත් සිරිලක්‌ දෙරණේ මහා කලු ගලක්‌ අතරින් අපේ බුදු හාමුදුරුවෝ වැඩ සිටින සේක. කුරුණෑගල, රම්බඩගල්ල, මොනරාගල විද්‍යාසාගර පිරිවෙන් භූමියේ ගලින් නිම කරන ලද මේ මහා දැවැන්ත සමාධි පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ අතිඋතුම් මහෝත්සවය පසුගිය බක්‌ මාසේ 30 වැනිදා අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ආරම්භයේ සිට අවසානය දක්‌වාම මෙම ප්‍රතිමා නිර්මාණකරණයේ ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ද්‍රවිඩ ආයතනයක්‌ වන කොළඹ ඊශ්වරන් බ්‍රදර්ස්‌ පුද්ගලික සමාගම සහ දේශීය අනන්‍යාතාවය රැක ගැනීමට නිරන්තරයෙන් පුරෝගාමීව ඇප කැපවී ක්‍රියා කරන ඩී. සැම්සන් සමූහ ව්‍යාපාරය විසිනි. සිංහල, ද්‍රවිඩ ව්‍යාපාර දෙකක මැදිහත්වීමෙන් රම්බඩගල්ල ප්‍රදේශවාසීන් ප්‍රධාන ශ්‍රී ලංකාවේ සතර දිග් බාගයෙන්ම ජාති භේද, ආගම් භේද පසෙකලා සමස්‌ත ශ්‍රී ලාංකීය මහජනතාවම තමාට ඇති හැකි අයුරින් මෙම පිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතුවලට දායක වීම පැසසිය යුතු කරුණකි.

මෙවැනි සමාධි ප්‍රතිමාවක්‌ නිර්මාණය කිරීමේ අති භාරධූර සත්කාරයක නියමුවාණන් ලෙස කටයුතු කරනු ලැබුවේ, බෞද්ධ ප්‍රතිපදාවේ නියෑලෙමින්, සීලයෙන්, ගුණයෙන් අගතැන්පත්වූ අපේ කාලයේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් වීම, මුළු මහත් සඟ පරපුරටම ආඩම්බරයකි. ආදර්ශයකි. අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි හිමිපාණන් වහන්සේට කෙතරම් බාධක කම්කටොලු තිබුණද ඒ සියල්ල මැඩගෙන අතිශය දුෂ්කර ගමනක නිමාව දක්‌වා මෙසේ වීරිය පාරමිතා බලෙන් යුතුව වැඩම කොට මෙවැනි ප්‍රතිමාවක්‌ මෙරටට දායාද කිරීම, උන්වහන්සේගේ අති උදාරතර සම්මා වායාමයක්‌ බව කිව යුතුය.

මෙම උතුම් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශක්‌තියේ බලයෙන් සියලු ජාති, ආගම්, කුල මල භේද සියල්ල දුරලා සියලුම ජාතීන් ඒකරාශී කොට ජාතික සමගියක්‌ නැතහොත් ජාතික සංහිඳියාවක්‌ ඇතිවේවා යි යන්න එකම අරමුණ විය. මෙවැනි උතුම් සත්ක්‍රියාවක නිමාව දකින මොහොතේ අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි හිමිපාණන් වහන්සේ අපට දුන් ආදර්ශය, අවවාදය මෙසේ සනිටුහන් කරමි.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වසර අටසිය පනස්‌ ගණනකට පසු 21 වන සියවසේ ශ්‍රී ලාංකීය ජනතාවගේත්, ජාතියේත් වාසනාවකට නිර්මාණය වූ ආශ්චර්යවත් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ මුළු මහත් ලෝකයටම ආශිර්වාදයකි. ඇෆ්ගනිස්‌ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා තලෙයිබාන් අන්තවාදීන් විසින් විනාශ කර දමනු ලබද්දී, රම්බඩගල්ල විහාරවාසී ජනතාව මෙම පිරිවෙන් භූමියේ පිහිටා තිබූ මහා කළු ගලක්‌ සිඳ බිඳ දමා මෙබඳු ප්‍රතිමාවක්‌ නිර්මාණය කිරීමෙහිලා පෙරමුණ ගෙන, පසුබිම සකස්‌ කිරීම සැබවින්ම ආශ්චර්යවත් සිදුවීමකි. මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කරගැනීමට සෑම අයුරින්ම ශක්‌තිය, ධෛර්යය ලබා දුන් සැමටම පළමුව මාගේ පුණ්‍යානුමෝදනාව පිළිගැන්විය යුතුය.

මෙරට සිංහලකම ගැන හා බෞද්ධකම ගැන මහා ඉහළින් කටමැත දොඩවන්නන්ගෙන් පිරී පැවතුණද, සිංහල බෞද්ධ ජනතාවගේ යථා ස්‌වභාවය පිළිබඳව නිවැරදිව හඳුනාගත් පිරිස කෙතරම් අල්ප දැයි සානුකම්පිතව සලකා බැලිය යුතුය. සිංහල බෞද්ධ ජනතාව පත්ව ඇති අවසනාවන්ත දීන ස්‌වභාව වෙනස්‌කරවන්නට නම් පළමුව ධර්මානුකූලව ඔවුන්ගේ චින්තනය වෙනස්‌ කළ යුතුය.

වර්තමාන බෞද්ධ ජනතාවගේ මනස තුළ පවතින්නා වූ හිස්‌ හා පුහු ස්‌වභාවය ධර්මානුකූලව පරිවර්තනයකට ලක්‌ නොකළහොත් මේ ජනතාවට නව චින්තනයක්‌ නැවත කිසිසේත් පහළ නොවනු ඇත. ගිහි ජනතාව පමණක්‌ නොව ස්‌වාමීන් වහන්සේලාද දේශපාලන වශයෙන් පිල් බෙදී වර්ගවාදීත්වයට ගැතිව මේ කරනු ලබන හරඹය කෙතරම් ධර්මයෙන් බැහැරද? ඇතැම් සිංහල බෞද්ධයන්, බෞද්ධයන් යෑයි ලේබල් ගසා ගනු ලබන්නේ තමන්ගේ බලපුළුවන්කාරකම්, මානය හා මකුබව ප්‍රදර්ශනය කිරීම සඳහා පෙරහැර දානාදී සංවිධාන කරමින්ය. මෙකී කරුණු මත පදනම් වූ බෞද්ධ ප්‍රතිපදාවක්‌ තිබේද යන්න මේ පොසොන් පෝ දිනයේවත් ඔබ මෙනෙහි කර බලන්න. බෞද්ධකම රැඳී ඇත්තේ කිසිවෙකුගේ බලපුළුවන්කාරකම් මත හෝ මානය මතදැයි එවිට ඔබටම තීරණය කළ හැකි වේ.

අතීතයේ අනුරාධපුර, පොළොන්නරු යුගවල විසූ ප්‍රෙෘඨ ඉතිහාසයකට උරුමකම් කියන ජනතාව මේ වන විට ක්‍රමක්‍රමයෙන් දියවී ගොස්‌, උදාසීන, කම්මැලි, කිසිදෙයක්‌ තනිව කරකියා ගත නොහැකි, එකතැන පල්වෙන, දෙන දෙයක්‌ කාලා වෙන දෙයක්‌ බලාගෙන සිටින ජාතියක්‌ බවට සිංහල බෞද්ධයා පත්වී තිබීම අතිශය සෝචනීයය. සිංහල බෞද්ධයාට අත්ව ඇති මෙම අවාසනාවන්ත ඉරණම ධර්මානුකූලව වෙනස්‌ නොකළහොත් මෙම අවාසනාවන්ත ජාතියට මේ මාතෘ භූමිය පවා තව නොබෝ කාලයක්‌ යැමට මත්තෙන් අහිමිවන ලකුණු මේ වන විටත් විද්‍යාමාන වේ. මෙවැනි වපසරියක්‌ තුළ මෙවැනි භාරධූර කාර්යයක්‌ සාර්ථක කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ කුකුසක්‌ සිතේ පැවතුණද ධර්ම ශක්‌තිය ඒ සියල්ල යටපත් කරන්නට විය.

බුදුන් වහන්සේගේ ධර්මයෙන් අංශු මාත්‍රයක්‌ හෝ අප සතු වන්නේ නම් ගිහි වුවත්, පැවිදි වුවත් සිංහල බෞද්ධයා පහන් සිතින් පිබිදුණු ක්‍රියාශීලී, සමාජශීලී පුද්ගලයකු වනු නොඅනුමානයි. බල තන්හාවෙන්, ආත්මාර්ථයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකත්වයෙන් පිරී පවතින මෙබඳු දියාරු වූ සමාජයක වෙසෙන ජනයා, බුදුන්ගේ දහම් මඟ යමින් පරාර්ථකාමීව, අවෛරීව, ඊර්ෂ්‍යාවෙන් කුහකත්වයෙන් තොරව ජීවත්වීමට අනුගත වීම තුළින් අතීතයේ විසූ ප්‍රෙෘඪ සාරවත් ජනතාව යළිත් වරක්‌ මෙම භූමිය තුළ ස්‌ථාපිත කළ හැකි බව මෙම පිළිම වහන්සේ තුළින් ඔබ සැමට දෙනු ලබන පණිවුඩය බව අමරමෝලි හිමියෝ පැවැසූහ.

ජාතික සංහිඳියාවක අග්‍රඵලය ලෙස නිර්මාණය කරනු ලැබූ මෙම සමාධි පිළිම වහන්සේ අපේ නූපන් පරපුර වෙනුවෙන් අපේ යුගයෙන් සිදුකරනු ලැබූ උදාරතර සත්ක්‍රියාවකි. එවන් වූ සත්ක්‍රියාවක නියමුවාණන් ලෙස කටයුතු කරනු ලැබූ අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි හිමිපාණන් වහන්සේට තවත් චිරාත් කාලයක්‌ මෙවන් උතුම් ශාසනික සත්ක්‍රියාවන්ගේ නියෑළෙන්නට නිදුක්‌ නිරෝගී දීර්ඝායුෂ අත්වේවායි ප්‍රාර්ථනා කරමු.

මෙම දහම් පඬුරේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයන් වන DSI නිවසිනි.

සටහන - අචලා ඉරෝමි
http://www.divaina.com/2015/06/02/feature02.html

0 comments: