Pages

Sunday, June 7, 2015

වකුගඩු මාරක ග්ලයිපොසේට්‌ රේගුවෙන් නිදහස්. තවත් දසවසරකට මේ විෂ ප්‍රමාණවත්! අහිංසක ගොවි පරපුරේ මරණයේ කතාව නැවතත්..?

විනාශය පෙනි පෙනීත් බඩවඩා ගැනීම හමුවේ හොරට නිදා සිටින බලධාරින් ගහණ රටක ඉපදීමේ අවසනාව හේතුවෙන් ඒ මරණයේ කතාව යළි යළිත් අකුරු කරන්නට අපට සිදුව තිබේ. 

ජාතියට බත සැපයූ රජරට ගොවීන් මාරක වකුගඩු රෝගයක ගොදුරු වී දිනෙන් දින මියෑදෙමින් සිටිනුයේ වෙසමුණිගෙන් වරම් ගත් මිනී කන යක්‍ෂයන් රැළක්‌ සේ මෙරට තුළ ක්‍රියාත්මක කෘෂි රසායන සමාගම් ත්‍රස්‌තවාදය විසින් 1960 වසරේ සිට ගෙවී ගිය හතළිස්‌පස්‌ වසරක්‌ පුරා අපේ ගොවීන් ලවාම මේ පිං බිමට පතිත කළා වූ මාරක විෂ සහිත කෘෂි රසායන හේතුවෙන් බව අද කාටත් රහසක්‌ නොවන්නකි.

එය මේ වන විට පැහැදිලිවම සනාථ වී තිබෙන්නේය. මෙකී කෘෂි රසායන මාරයා අපේ ගොවීන් වකුගඩු රෝගීන් කර බිලි ගැනීමෙන් නොනැවතී සමස්‌ත ජාතියම මරා දමමින් සිටින්නේ යෑයිද අද තවත් අතකින් කියෑවෙමින් තිබෙන්නේය. 

ඒ මේ වන විට මෙරට තුළ ව්‍යාප්තව තිබෙන හෘදයාබාධ, ආඝාතය, පිළිකා, අධි රුධිර පීඩනය, ගැස්‌ට්‍රයිටීස්‌ සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග රැසකටම හේතුව කාලාන්තරයක්‌ පුරා අප ගත් ආහාර සමඟ ශරීරගත වූ ඉහත කී කෘෂි රසායන වස විෂ බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී තිබෙන බැවිනි.

මිනිසුනේ, කියන්නට කනගාටුය. කනගාටුවටත් වඩා පිළිකුල්ය. රට කරවන උතුමන් බොරු කියමින් සමස්‌තය රවටා ජනතාව ගොනාට අන්දවද්දී යක්‍ෂයා තවමත් අප බිලි ගනිමින් සිටින්නේය. ඇතැම්විට බුදු හිමියන් අද වැඩසිටියා නම් අපේ දේශපාලනඥයන් ජාතිය මියෑදෙද්දී මේ කරන බොරුව දැක ඒ පාපය ආනන්තරිය කුලකයේ එකක්‌ කරනු නිසැකය. 

කෘෂි රසායන මාරයා තවමත් අපව බිලි ගනිමින් සිටින බවට පැහැදිලිවම යළිත් අනාවරණය වූයේ මෙරට ක්‍රියාත්මක එක්‌තරා පොහොර සමාගමක්‌ මගින් ඉකුත් මැයි මස නව වැනිදා ආනයනය කළා වූ උග්‍ර විෂ සහිත "ග්ලයිපොසේට්‌" නමැති කෘෂි රසායන අඩංගු කන්ටේනර් පහළොවක්‌ රේගුවෙන් මුදාගෙන සිය ගබඩා වෙත රැගෙන යැම සමගිනි. 

මෙසේ එක්‌ කෘෂි රසායන ත්‍රස්‌තවාදියකු විසින් රේගුවෙන් මුදාගෙන ගිය ග්ලයිපොසේට්‌ තොගය යනු තවත් දසවසරක කාලයක්‌ පුරා මේ බිම වනසන්නට ප්‍රමාණවත් ගිනි කන්දක්‌ බව අද කවුරුත් නොදන්නා කරුණක්‌ බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නකි.

මෙකී මාරක ග්ලයිපොසේට්‌ තොගය මෙරටට ළඟා වීමෙන් පසු ඒවා මුදා ගැනීමට අදාළ සමාගමේ නියෝජිතයන් රේගු දෙපාර්තමේන්තුවට පැමිණීමත් සමඟ සිදු වූ අනාවරණයක්‌ හේතුවෙන් පසුගිය දිනවල ඒ පිළිබඳ රට තුළ දැඩි කතාබහක්‌ද ඇති විය. නමුත් ඒවා කෙසේ හෝ දැන් ඇත්තේ යක්‍ෂයා අතය. 

ග්ලයිපොසේට්‌ අරබයා මෙරට තුළ තහනමක්‌ද පනවා තිබියදී එක්‌ මාර සමාගමක්‌ මෙසේ ක්‍රියාත්මක වීම හමුවේ කෘෂි රසායන ත්‍රස්‌තවාදයේ සැබෑ පැටිකිරිය රටට හෙළි කරමින් මාධ්‍ය මගින්ද ඒ පිළිබඳ වාර්තා කරන්නට විය. ඒ අප බිලිගනිමින් සිටින යක්‍ෂයාගේ තරමද පැහැදිලි කරමිනි.

එහිදී වත්මන් රජයටද ඇඟිලි දිගු වන්නට වූයේ යහපාලනයේ දින සියයේ පොත් පිංච මගින් ද කෘෂි රසායන මෙරට තුළ තහනම් කරමින් වකුගඩු රෝගීන් පිළිබඳ සොයා බැලීමේ යාන්ත්‍රණයක්‌ ඇති කරන බවට පොරොන්දු දී තිබුණු නිසාය. එසේ මාධ්‍ය මගින් රජයට චෝදනා එල්ල කරද්දී ආණ්‌ඩුවේ ඉහළ තලයේ ඇතැමුන් මාධ්‍යයට දෙස්‌ දෙවොල් තැබූ බවක්‌ද වාර්තා විය.

කෙසේ වෙතත් සිද්ධීන් පෙළත් සමඟ පසුගිය දා එක්‌ සුවිශේෂී දෙයක්‌ද සිදු විය. ඒ කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ග්ලයිපොසේට්‌ ඇතුළු විෂ සහිත කෘෂි රසායන මෙරට තුළ භාවිතය සහ ආනයනය ද තහනම් කරන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කරනු ලැබීමය. 

ග්ලයිපොසේට්‌ ඇතුළු මාරක කෘෂි රසායන මෙරට තුළදී තහනම් යෑයි අපේ දේශපාලන නායකයකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තුන්වැනි අවස්‌ථාව එය බවද මෙහිදී සටහන් කළ යුත්තකි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ රටට හිතැති ඒ වටිනා ප්‍රකාශය අසා අපිද බෙහෙවින් සතුටු වූයෙමු. ජනාධිපතිවරයාගේ එම ජනතාවාදී කතාව අගය කළ යුත්තක්‌ බවද මෙහිදී කිව යුතුය. 

නමුත් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන මොහොත වන විට සැබැවින්ම සිදුව තිබුණේ කුමක්‌ද? ඒ මොහොත වන විටත් අදාළ සමාගම මගින් යළිත් වරක්‌ රට තුළට ගෙන්වන ලද ඒ මාරක විෂ තොගය තිබුණේ ඔවුන්ගේ ගබඩා තුළට රැගෙන ගොසිනි. අප එය ඉහතින්ද සඳහන් කළෙමු.

මෙරට තුළ ග්ලයිපොසේට්‌ තහනම් යෑයි මුලින්ම කියෑවුණේ ඉකුත් 2013 වසරේ පැවති මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදීය. නැවතත් එය 2014 වසරේදීද ප්‍රකාශයට පත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී තහනම් යෑයි නැවතත් කියනු ලැබුවේ ඒ ග්ලයිපොසේට්‌ම ය. 

මෙහිදී මතුවන බරපතළම ගැටලුව වන්නේ එසේ තහනම් යෑයි ප්‍රකාශ වූ යමක්‌ රටේ ජනාධිපතිවරයකු නැවත නැවතත් තහනම් කරන බවට ජනතාවට කියද්දීත් මෙදා මෙරටට ගෙන්වූ ග්ලයිපොසේට්‌ තොගය අදාළ සමාගම රේගුවෙන් රැගෙන ගියේ කෙසේද යන්න කල්පනා කිරීමේදීය.

එනිසාම අපි මේ පිළිබඳ ඉකුත් සතියේ රේගු දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුගෙන් විමසා සිටින්නට පියවර ගත්තෙමු. එහිදී ඔහු අප ඉදිරිපත් කළ ඒ ගැටලුවට පිළිතුරු දුන්නේ මෙසේය.

"ඔව් 2013 වසරේ මුල් වරට තහනම් යෑයි කියූ ග්ලයිපොසේට්‌ කෘෂි රසායනය නැවතත් තහනම් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ කළ බව ඇත්ත. නමුත් මේ දක්‌වා එසේ තහනම් යෑයි කී ප්‍රකාශවලට ගැසට්‌ නිවේදනයක්‌ මගින් නීත්‍යනුකූල බවක්‌ ලබා දී නැහැ.

ඒ නිසා ඒ වාචික තහනම ක්‍රියාත්මක කිරීමට රේගුවට හැකියාවක්‌ නැහැ. අප එසේ කරන්නට ගියහොත් අදාළ සමාගම් නීති මගින් කටයුතු කරන්නට ඉඩ තිබෙනවා. මෙන්න මේ තත්ත්වය නිසයි අප මෙවර ආනයනය කරන ලද ග්ලයිපොසේට්‌ තොගයත් මුදා හරින්නට කටයුතු කළේ. 

මෙසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහනම් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ග්ලයිපොසේට්‌ තොගය අදාළ සමාගම මගින් රැගෙන ගොස්‌ ඇති බවට වාර්තා වීමත් සමග පසුගිය දිනවල නැවතත් මාධ්‍ය මගින් ඒ පිළිබඳ පුළුල්ව කතා කරන්නට විය. ඒ රට වනසන මාරයන් ජනාධිපතිවරයාද අභිබවා යන පරිදි ශක්‌තිමත් වී සිටිනුයේ කෙසේද යන්න ගැටලුවක්‌ම වූ නිසාය.

එහෙත් රටේ මාධ්‍ය මේ පිළිබඳ කතා කරන්නට වීමත් සමඟ එකත්රා අපූරු චරිතයක්‌ අලු ගසා පැමිණි මාධ්‍ය සංදර්ශනයක්‌ පවත්වන්නට වූයේ රටම හිනස්‌සමින් බවද මෙහිදී කිව යුතුය. හේ අන් කිසිවකුත් නොව, පසුගිය රජයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටිමින් පසුව වත්මන් රජයේද ඇමැතිකමක්‌ ගෙන නොබෝදා ඉන් ඉවත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාය.

පසුගියදා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මාධ්‍ය හමුවක්‌ අතර තුර ග්ලයිපොසේට්‌ ගැන කතා කරන්නට වූ ඔහු ජනධිපතිවරයා තහනම් කර තිබියදී ඊටත් ඉහළින් සිට මෙකී කෘෂි රසායන තොගය රේගුවෙන් පිට කළේ කවරෙක්‌දැයි ප්‍රශ්න කරන්නට වූයේ අමුතු චූන් එකක්‌ද සමගය.

රට වනසන කෘෂි රසායන ත්‍රස්‌තවාදය පිළිබඳ කතා කිරීමේදී හිටපු ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ඒ ප්‍රශ්න කිරීම පිළිබඳ කියන්නට ඕනෑ තරම් අතීතාවර්ජන අප සතුව ඇත. ඒත් මේ සටහන පුරවමින් නිස්‌සාර දේ කියා වචන නාස්‌ති කරන්නට කාලයක්‌ නොමැති බැවින් කණ්‌ණාඩියක්‌ ඉදිරියට ගොස්‌ "ග්ලයිපොසේට්‌".. "ග්ලයිපොසේට්‌".. කියා උච්චාරණය කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිමින් අපි ඒ කතාව අවසන් කරන්නෙමු.

මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ "ග්ලයිපොසේට්‌" ඇතුළු කෘෂි රසායන තහනම පිළිබඳ කතා කරමින් කිසිත් නොදෙන්නා කිරිසප්පයකු සේ ජාතිය මියයන සැබෑ ඛේදවාචකයේ සත්‍ය පසෙකින් තබා දේශපාලන තුරුම්පු ඇද ගොඩේ වාසිය ගන්නට සැරසේදී එයට පිළිතුරු දෙන්නට ඉදිරියට පැමිණියේ වත්මන් රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා මෙන්ම කැබිනට්‌ ප්‍රකාශක ලෙසද කටයුතු කරන රාජිත සේනාරත්න මහතාය. 

මීට දෙසතියකට පමණ ඉහත පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ කතා කළ ඇමැති රාජිත සේනාරත්න මහතා කියන්නට වූයේ කුමක්‌ද?

කවුරුන් කුමක්‌ කීවත් ග්ලයිපොසේට්‌ තහනම එසේම ක්‍රියාත්මක කරන බව කී ඇමැතිවරයා දැනට රට තුළට ගෙන්වා තිබෙන ග්ලයිපොස්‌ට්‌ තොග විනාශ කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කරනු ලැබීය. 

මෙහිදී රාජිත සේනාරත්න මහතාගෙන් ඇසිය යුතු එක්‌ දෙයක්‌ ඇත. ඒ ග්ලයිපොසේට්‌ යනු කටින් කියන තරමට පහසුවෙන් විනාශ කළ හැකි දෙයක්‌ බව වෛද්‍යවරයකුද වන ඇමැතිවරයා වටහාගෙන සිටින්නේදැයි යන්නය. ඇමැතිවරයා කටින් කියන ලෙස කල් ඉකුත් වූ අහාරවලට කරන්නාක්‌ මෙන් මේවා විනාශ කිරීමේ හැකියාවක්‌ නම් නැත. ග්ලයිපොසේට්‌ වළ දැමීමටද නොහැකිය. එසේම ගිනි තැබීමට ද නොහැකිය. 

ප්‍රංශය, ජර්මනිය වැනි ලොව දියුණු රාජ්‍යයන් මෙවන් විෂ විනාශ කරනු ලබන්නේ සීල් කරන ලද විශාල කොන්ක්‍රීට්‌ ටැංකි තුළ අසුරා මුහුදු පතුළට දැමීමෙනි. එහෙත් එවන් වියදම් අධික දේ ප්‍රායෝගික ලෙස අපට කරන්නට නොහැකිය.

එසේ නම් කළ යුතු එකම දේ වන්නේ මේවා විනාශ කිරීම නොව ගෙන්වන ලද රටටම ආපසු හරවා යෑවීම බව අප කියා සිටින්නේ ජනතාව ඉදිරියට පැමිණ නොදරුවකු සේ රසකරමින් ග්ලයිපොසේට්‌ විනාශ කරන බව කියන රාජිත සේනාරත්න ඇමැතිවරයාට ඇසෙන්නටය. 

පොහොර සමාගමක්‌ මගින් ගෙන්වන ලද ඉහත කී ග්ලයිපොසේට්‌ තොගය රේගුවෙන් මුදා ගත් බවට කෙරෙන ප්‍රකාශ අමූලික බොරු යෑයි කියමින් මෙම මාධ්‍ය හමුවේදී අමූලික බොරුවක්‌ කියන්නටද ඇමැති රාජිත අමතක නොකළේය. රාජිත සේනාරත්න මහතා එසේ අමූලික බොරුවක්‌ කී බව අප සඳහන් කරන්නේද වගකීම් සහිතවය.

මෙකී කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවති දිනයේ මුදල් අමාත්‍යංශයේදී තවත් මාධ්‍ය හමුවක්‌ පැවැත්විණි. එහිදී මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ නව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ කුමක්‌ද?

හේ කීවේ 2013 වසරේ සිටි තහනමක්‌ පැනවී තිබුණද ග්ලයිපොසේට්‌ ආනයනය තහනම් කිරීමට නීතියක්‌ නොමැති බැවින් අදාළ කෘෂි රසායන තොගය මුදා හැරීමට රේගුව කටයුතු කළ බවකි. එය නීත්‍යනුකූල ක්‍රියාවක්‌ බවද රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා එහිදී කීවේය. 

කෙසේ වෙතත් කැබිනට්‌ මාධ්‍ය හමුවේදී එක්‌ බොරුවක්‌ කීවද රාජිත සේනාරත්න මහතා තවත් අවස්‌ථාවක කීවේ මේ වන විට ග්ලයිපොසේට්‌ ඇතුළු මාරාන්තික විෂ සහිත කෘෂි රසායන තහනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවකට පසුගිය දා කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී අනුමැතිය හිමිවී ඇති බවය.

අප එය රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන තවත් බොරුවක්‌ යෑයි නොසිතන්නෙමු. ඒ අප මෙන්ම අපේ ගොවි රජවරුන් සහ මේ රටේ අනෙකුත් පුරවැසියන් කෘෂි රසායන මාරයාගෙන් හෙවත් මෙකී මාරක ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ වී සුවසේ වෙසෙනු දැකීම අපේ එකම ප්‍රාර්ථනය වී තිබෙන නිසාය.

එහෙත් ගැටලුව වන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයා එසේ කියද්දී ඉකුත් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී රජයේ තවත් ඇමැතිවරයකු ග්ලයිපොසේට්‌ කෘෂි රසායනය මෙරට තේ වගාව සඳහා අත්‍යවශ්‍ය බැවින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට අනුබද්ධ "සිපෙට්‌කෝ" ආයතනය හරහා ඒ විෂ ගෙන්වීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ගෙවී ගිය මාසයේ දෙවැනි සතියේදී පමණ තවත් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කළ බවට වාර්තා වෙමින් තිබීමය.

කෙසේ වෙතත් කවුරුන් කුමක්‌ කීවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ සැබෑ වුවමනාවක්‌ තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු. කිසි කලකත් නොවූ පරිදි අද දවසේ මෙරට වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ මැදිහත් වීමක්‌ සිදු වෙමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ එකී වුවමනාව නිසාමය. 

එහෙත් රටත් ජනතාවත් අද මුහුණ දී සිටින මෙකී කෘෂි රසායන ත්‍රස්‌තවාදයෙන් ජාතිය ගලවා ගැනීම සඳහා ග්ලයිපොසේට්‌ ඇතුළු තෝරා ගත් කෘෂි රසායන කිහිපයකට පමණක්‌ තහනමක්‌ පැනවීමෙන් අපට හැකි වේද? එය අද රට ඉදිරියේ තිබෙන බරපතල ගැටලුවකි.

මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක කෘෂි රසායන ත්‍රස්‌තවාදය විසින් රට තුළට ආනයනය කරනු ලබන කෘෂි රසායන වර්ග ත්‍රිත්වයක්‌ ඇත. ඒ දිලීර නාශක, කෘමි නාශක සහ වල් නාශක ලෙසිනි. ඊට අමතරව විකිරණශීලී ද්‍රව්‍ය අධික ලෙස අඩංගු පොහොර වර්ග රැසක්‌ද මේ මොහොතේත් කිසිවකුටත් නොදැනී කිසිදු බාධාවකින් තොරව මෙරටට ගෙන ඒමට කෘෂි රසායන ත්‍රස්‌තවාදය ක්‍රියා කරන බව මෙරට විද්වතුන්ගේ මතය වී ඇත.

කිසිවකුටත් නොදැනී යෑයි අප මෙහිදී සඳහන් කළේ මෙරටට ගෙන එනු ලබන මෙකී කෘෂි රසායන සහ පොහොර වර්ගවල අන්තර්ගතය සොයා බැලීමේ නිසි ක්‍රමවේදයක්‌ සහ තාක්‍ෂණ පහසුකම් තවමත් අප සතුව නොමැති බැවිනි. 

මෙම තත්ත්වය හමුවේ ග්ලයිපොසේට්‌ ඇතුළු කෘෂි රසායන කිහිපයක්‌ පමණක්‌ තහනම් කිරීමෙන් කිසි විටෙකත් අද දවසේ ජාතිය මුහුණ දී සිටින මෙකී ඛේදවාචකයෙන් මිදීමට අපට නොහැකිය. එසේ නම් අප කළ යුත්තේ කුමක්‌ද? සියල්ල දෙස විමර්ශනාත්මකව බලා ජාතික ක්‍රමවේදයක්‌ තුළින් කෘෂි රසායන මාරයා පැරදවීමට ක්‍රියාත්මක වීම නොවේද?

යථාර්ථය ඇත්තේ එතැනය. එහෙයින් බොරුව රජයන්නට ඉඩක්‌ නොතබා ජාතියේ නාමයෙන් මේ යක්‍ෂයාට එරෙහිව නැගී සිටින ලෙස අප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නේ එය වගකීම් දරන සියලු දෙනාගේ මතු භවයන් සුවපත් කරනු ලබන මහානුභාව සම්පන්න පුන්‍ය කර්මයක්‌ම බවද සිහිපත් කර දෙමිනි.

රට වනසන මෙකී කෘෂි රසායන ත්‍රස්‌තවාදය හමුවේ අද තොගපිටින් මිය යමින් සිටින්නේ අපේ මිනිසුන්ය. මේ මොහොත වන විට කුඩා ළදරුවාගේ සිට මහල්ලා දක්‌වා වූ සියලු පුරවැසියන් ඒ භිහිසුණු මරණයේ නිහඬ ගොදුරු බවට පත්ව සිටින බව ශාතිසය සංවේගයෙන් යුතුව අවසන් වශයෙන් සටහන් කරනු ලබන්නේ කාටත් ඇත්ත වටහා ගනු පිණිසය.

සමන් ගමගේ 
http://www.divaina.com/2015/06/07/feature09.html

සබැඳි ලිපි -
[ශ්‍රී ලංකාව පුරා හඳුනාගත් වකුගඩු රෝගීන් තිස්‌ දහසක්‌! දහනව දහකට අධික පිරිසක්‌ උතුරු මැද!http://denethharinna.blogspot.com/2015/05/blog-post_8.html
වකුගඩුවලට විනකටින ග්ලයිෆොසේට්‌ තහනම්! ආනයනය කළ තොග නිදහස් කරන්න කළ ඉල්ලීම ජනපති ඉවතලයි.http://denethharinna.blogspot.com/2015/05/blog-post_6.htmlතහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: