Pages

Tuesday, June 23, 2015

කැලේ මාරු උනත් පුල්ලි වෙනස් නොවන කොටියා කොටියාමයි!

සියල්ල සතියකින් අමතක වන බව පැවසෙන මේ රටේ බහුතරයක්‌ ඇත්තන්ට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිහිකැඳවීමක්‌ කර තිබේ. ඒ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළද ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලයද, මූල්‍යජාලයද හොඳහැටි ක්‍රියාත්මකවන බවය.

වර්ෂ 2009 මැයි මස වන විට මෙරට හමුදා විසින් කොටියාගේ ඉතිරිව තිබූ අවසන් දතද ගලවා දමනු ලැබීය. දත් සියල්ල ගැලවූ පමණින් කොටියා ඌට ආවේනික සත්ව හැසිරීමෙන් මිදේවිද? දත් නැතත් කොටියා කොටියාමය. දත් නැතිවූ පමණින් කොටියාට උගේ ගොදුර වෙත ඇති දොළ සන්සිඳෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයා තේරුම්ගත යුතුවන්නේ එයයි. උතුරේ හෝ නැගෙනහිර අවිගත් කොටි නැතිවුණිද, දකුණේ බෝම්බ බැඳගත් කොටි නැති වුවද, අවිගත් හෝ බෝම්බ බැඳගත් කොටියාගේ අවසාන ඉලක්‌කය තවදුරටත් කොටි සංවිධානයේ අවසාන ඉලක්‌කයම වන්නේය. අවිය සහ බෝම්බය ඊළාම් රාජ්‍යයක්‌ යන අරමුණට යැම පිණිස තිබූ එක්‌ ප්‍රවේශ මාර්ගයක්‌ පමණි. එම අරමුණ කරා යැමට තවත් විකල්ප මාර්ග රැසක්‌ තිබෙන බව කොටියා දනියි. කොටි ජාත්‍යන්තර ජාලයත්, මූල්‍යජාලයත් ක්‍රියාත්මක වන්නේ විකල්ප මාර්ග ඔස්‌සේ සිය ඉලක්‌කයට යැම පිණිස අවශ්‍ය මගවියදම සොයාදීමටය. මාර්ගෝපදේශනය සැපයීමටය. 

එල්.ටී.ටී.ඊයේ පළමු ජාත්‍යන්තර නියෝජිතයා ලෙසින් සැලකෙන එන්. එස්‌. ක්‍රිෂ්නන්ගෙන් පටන්ගත් එහි ජාත්‍යන්තර ජාලය විටෙක ලොව පුරා කාර්යාල 42ක්‌ ක්‍රියාත්මකවන තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය. හැත්තෑව දශකයේ අගභාගයේ ඇරඹුණු ඊළාම්වාදයේ ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය 2009 දී සටන් පරාජයත් සමගින් අවසන් වූවායෑයි අප අද සිතන්නේ නම් හෙට සිට රටේ ප්‍රධාන ආහාරය තණකොල බවට පත්කර තුන්වේලට අතිරේක පෝෂණයක්‌ ලෙසින් පුන්නක්‌කු ලබාදිය යුත්තේය.

කොටියාගේ සැබෑ ශක්‌තිය තිබුණේ ප්‍රභාකරන්ගේ යුද යාන්ත්‍රණයේ නොවේ. ඒ සියල්ල රැඳී තිබුණේ මේ ජාත්‍යන්තර සහ මූල්‍යජාලය මතයි. රාජ්‍ය නායකයන් දෙදෙනෙකු (ඉන්දියාවේ රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ රණසිංහ ප්‍රේමදාස) මරණයට පත්කිරීමට හැකිවූ ලොව එකම ත්‍රස්‌තවාදී සංවිධානය, ගුවන් බලයක්‌ හිමි ලොව එකම ත්‍රස්‌තවාදි සංවිධානය, නැව් 20 ක හිමිකාරිත්වය ඇතුළු ලොව කිසිදු ත්‍රස්‌ත කල්ලියකට නොදෙවෙනි තැනට එල්.ටී.ටී.ඊ ය පත්කරන්නේ මෙකි ජාත්‍යන්තර සහ මූල්‍යජාලයයි. වෙනම බැංකු, වෙනම පොලිසි, වෙනම උසාවි හදමින් වෙනම රාජ්‍යයක්‌ බවට ජාත්‍යන්තර පිළිගැනීමට ලක්‌වීම සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණ කිරීම උදෙසා වන මොළය තිබුණේ ප්‍රභාකරන් නම් වත්මන් නිරිසතා (අපායගාමී වූ සත්වයා) තුළ නොව මෙකී ජාලය තුළය. අවශ්‍ය නම් කොටියාගේ ගැලවුණු දත් සවිකර ගොදුර වෙත උසිගැන්වීමටද, නැතිනම් ජාත්‍යන්තරයේ හිස මතින් ඉතාම නිරුපද්‍රිතව ගොදුර කොටියාගේ කටේ එබීමටද හැකියාව මෙකී ජාත්‍යන්තර සහ මුල්‍ය ජාලයට ඇත. 

කොටියා තුවක්‌කුව හෝ බෝම්බය රැගෙන එද්දී පිපිරුම් හඬ මගින් එවැනි විනාශකාරියකු සිටින බව දැන එයට ප්‍රතිචාර දැක්‌වීම පහසුය. නමුත් මෙකී ජාත්‍යන්තර සහ මූල්‍යජාලය විසින් කොටියා අපූරුවට මේකප් කර දෙවඟනක සිරිගන්වා සිය අරමුණට රැගෙන යන විට එය හඳුනාගැනීම පහසු කටයුත්තක්‌ නොවේ. එහිදී එකදු උණ්‌ඩයක්‌ හෝ වැය නොකර, සිය එකදු සාමාජිකයකු හෝ බිලි නොදී ඉලක්‌කය සපුරා ගැනීමේ අතිරේක වාසියක්‌ද කොටියා සතුය. ශ්‍රී ලාංකේය ජාතියේ අවධානයට යොමු විය යුතු කරුණ වනුයේ මෙයයි.

ඒ ඊළාම් රාජ්‍යය, ශ්‍රී ලංකාව නැමැති රට මත්තේ බිහිකිරීමට නොහැකිම නම් හෙට එය තමිල්නාඩුවේ හෝ ජොහැන්ස්‌බර්ග්හි හෝ ටොරෙන්ටෝහි ඉඳිවිය හැකිබව ජාත්‍යන්තරයට පෙන්වා දිය යුතුය. එසේ පෙන්වා දීමට නම් ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි විශිෂ්ට ශ්‍රී ලාංකිකයකුටම විය යුතුය. රටවල් 32ක්‌ තුළ එල්.ටී.ටී.ඊ ය තහනමට ලක්‌වන තැනට වැඩ සැලැස්‌වීමට ඒ මහතාණෝ සමත්වූහ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කරන ලද එම අනතුරු ඇඟවීමෙන් කියනුයේ, විශිෂ්ට කදිරගාමර් කෙනෙකු සහ ජාත්‍යන්තරයේ කොටි ක්‍රියාකාරිත්වය විනිවිද දැකිය හැකි අතිශයින් ශක්‌තිමත් රාජ්‍ය බුද්ධි අංශයක අවශ්‍යතාවයම නොවේද?

http://www.divaina.com/2015/06/23/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
කොටි ජාත්‍යන්තර ජාලයත් මූල්‍ය ජාලයත් හොඳ හැටි ක්‍රියාත්මකයි - ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවhttp://denethharinna.blogspot.com/2015/06/blog-post_53.html
]

1 comments:

Unknown said...

fu*# them all and අපායටම පල