Pages

Sunday, June 21, 2015

ටෝනි රණසිංහයනි, රස පෙම් හැඟුම් අප ළඟ තබා ඔබ කොහෙද යන්නේ සැඟවිලා?

ටෝනි රණසිංහ රංගධරයා අද සවස්‌ යාමයේ මහබාගේ පවුලේ සුසාන භූමියේදී සදහටම අප අතරින් සමුගනී. ටෝනි රණසිංහයන් සමීපව ඇසුරු කළ අය අතර සනත් ගුණතිලක ප්‍රවීණ රංගන ශිල්පියාද සිටී. ටෝනි රණසිංහයන් පිළිබඳ සනත් ගුණතිලක ලියූ ලිපියක්‌ මතු දැක්‌වේ.

අද ජුනි 16 උදයෙන් අවදි වූ මම ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන මගේ නැඟණියගේ දියණියට ගත් උපන්දින සුබ පැතුම් පත තැපෑලට දමන්නට කල්පනා කළෙමි. ඒ ඇගේ උපන් දිනය අතළඟ නිසාය. මම මගේ පොත් අල්මාරිය ඇර සුබ පැතුම් පත එළියට ගත්තෙමි. ඒ සමඟම තවත් කාඩ්පතක්‌ මා අතට හසුවිණි. ඒ ඉතා සුවිශේෂී පුද්ගලයෙකුට යෑවීමට මා මිලදී ගත් සුබපැතුම් පතකි. දියණියටත්, මේ සුවිශේෂි පුද්ගලයාටත් සුබපැතුම් කාඩ්පත් දෙක මා මිලදී ගත්තේ හිතමිතුරු රවින්ද්‍ර රන්දෙණිය සහෘදයාගේ උපන් දිනයට සුබ පැතුම් පතක්‌ මිලදී ගත් අවස්‌ථාවේදීය. රවින්ද්‍ර පසුගියදා හැත්තෑවෙනි දිනුම් කණුව පසු කළේය.

මා සඳහන් කළ සුවිශේෂි පුද්ගලයාගේ උපන් දිනය ජුලි 31 වැනිදාය. ඔහු මගේ පරමාදර්ශී රංගන ශිල්පියාය. මම යළිත් මේ සුබපැතුම් පත කියවා බලා පොත් අල්මාරියේ තැන්පත් කළෙමි. මුහුණ කට හෝදා ගෙන ආ මම මගේ ජංගම දුරකථනය අතට ගත්තෙමි. හිතමිත්‍ර මාධ්‍යවේදී අජිත් අලහකෝන් මා ඇමතීමට කිහිපවරක්‌ උත්සාහ කර ඇති බව දුටුවෙමි. ඔහුගේ දැඩි වුවමනාව තේරුම්ගත් මම යළි ඔහු ඇමතුවෙමි.

"සනත්... ටෝනි අයිය නැතිවෙලාලු. පොඩ්ඩක්‌ හොයලා බලලා ඇත්තක්‌ද කියලා මටත් කියන්න..." අජිත්ගේ වදන් ඇසූ මගේ හිස භ්‍රමණය වන්නට විය. ගත අප්‍රාණික විය.

දෙයියනේ... ඔහුට යෑවීමට ගත් උපන්දින සුබපැතුම් පත මීට මොහොතකට කලින් මා අතට හසුවූවා නේද... මේ සුවිශේෂි පුද්ගලයා ටෝනි අයියා නැතිවෙලාලු... මේක වෙන්න පුළුවන්ද... මගේ සිත මගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

දින කිහිපයකට පෙරාතුව පැවැත්වූ මගේ 'සිහනව අතරින්' තිර නාටක ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට ආරාධනා කරන්න මම ටෝනි අයියාගේ නිවසට දුරකථන ඇමතුමක්‌ දුන්නෙමි.

"ටෝනි මහත්තය එයාගේ පුතාගෙ ගෙදර ගියා..." නිවසේ සේවිකාව උත්තර දුන්නාය. ටෝනි අයියාගේ ජංගම දුරකථනයට ඇමතුවෙමි. එයද ක්‍රියා විරහිතය.

"කමක්‌ නෑ... කොළඹ ආවම ගෙදරට ගිහින් ටෝනි අයියා හමුවෙනවා", යෑයි මම එදා සිතාගත්තෙමි.

ඒත්... දැන් ලැබුණ ආරංචිය "ටෝනි අයියා නැති වෙලාලු..." මම ටෝනි අයියාගෙ ගෙදරට කතා කළෙමි. කතා කළේ ඔහුගේ ආදරණීය පුත්‍රයෙකි.

සනත් අයියේ... තාත්තා අසනීපවෙලා හිටියේ ආසිරි එකේ. රෝහලේ ඉන්න බව කාටවත්ම කියන්න එපා කිව්වා. ඒකයි නොකීවේ... ඒත් තාත්තා අද උදේ නැතිවුණා..."

මරණය ස්‌වභාවික සංසිද්ධියක්‌ බව මම හොඳින් තේරුම් ගත් අයෙක්‌මි. එය පෙරටත් වඩා දැන් මට ඔරොත්තු දේ. ඒ බොහෝ විට මා විශ්වාසය තබා ඇති අය මා පිටුපසින් විත් පිහියෙන් ඇනපු අවස්‌ථා මෑත කාලයේ ඇතිතරම් මා විඳ ඇති නිසාය. ඊට සසල නොවී විඳදරා ගැනීමේ සුවිශේෂි ශක්‌තියක්‌ මට ඇති බව මම සනාථකරගෙන ඇත්තෙමි. ඒත්... ටෝනි අයියා අප හැර යැමේ පුවත දරාගත නොහැකි කම්පනයකි. ඉවසිය නොහැකි වේදනාවකි.

මනුෂ්‍ය ජීවිතයට භයංකාරත්වය ගෙන දෙන්නේ මරණය හෝ ආපදාව නොව තනිකම බව මාර්ටින් වික්‍රමසිංහයන් කියූ කතාවක්‌ මට සිහිවේ. එය සත්‍යයකි. මමද එය අත්විඳිමි. නිරතුරුව හමුනොවුණද දිනපතා කතා බහ නොකළද ටෝනි රණසිංහ නමැති මහා වෘක්‍ෂයේ සෙවණ මා සැමදා පතා ඇතැයි මට දැනිණි. ඔහුගේ දැවැන්ත සෙවනැල්ල මගේ වෘත්තිය ජීවිතයේ ප්‍රතිබිම්බය බව මගේ මනස මට තේරුම් කර දේ. මම යළි අජිත් අමතා ආරංචිය සත්‍යයක්‌ බව කීවෙමි.

"ටෝනි අයියා ගැන ඔයාගෙන් ලිපියක්‌ ඕනෑ... වරද්දන්න එපා..." යෑයි කී ඔහු මට උත්තර දීමට ඉඩ නොදී දුරකථන ඇමතුම විසන්ධි කළේය.

ටෝනි අයියා ගැන ලිවීමට මට බොහෝ දේ ඇති බව ඔහු හොඳාකාරවම දනී. ඒත් මගේ අදහස්‌ කොළයකට සටහන් කරන්න තරම් ශක්‌තියක්‌ මට නැත. මම පැය ගණනාවක්‌ කල්පනා කළෙමි. යමක්‌ ලියන්නට උත්සාහ කළෙමි. මොහොතක්‌ දැස්‌ වසාගත්තෙමි.

සුපුන් සඳක්‌ පායා ඇති රාත්‍රියක සුන්දර නදියක රූබර යුවතියක්‌ ඔරුවක නංවාගෙන හබල් ගසමින් ගඟ තරණය කරන ආකර්ෂණීය රූපය මගේ දැස්‌ ඉදිරියේ මැවේ.

සුපුන් සඳක්‌ නැගීලා....
කිරි බැබැලෙන පාරුවේ...

'සිහින හතක්‌' චිත්‍රපටයේ සදා අමරණීය මිල්ටන් පෙරේරාගේ ගී හඬට අපූර්ව රසයක්‌ මුහුණේ ඉරියව්වලින් දයාබරිතව ලැබදෙන ටෝනි අයියාගේ මුව මඬල මා දැස්‌ ඉදිරියේ මැවේ. එකල ටෝනි අයියාගේ සුන්දර සිනහවට වශී නොවූ යුවතියක්‌... ළඳක්‌ නොසිටි බව නම් නිසැකය. එය අව්‍යාජ පෙම්බර සිනාවකි.

'මගේ නාමලී බැඳි ආදරේ....' හරුන් ලන්ත්‍රා 'ගොපළු හඩට' ගැයූ ගීතමය ජවනිකාවද මෙහිදී සිහිපත් විය. දැනට මාසයකට පමණ පෙර ටෝනි අයියා සමඟ කතා බස්‌ කරද්දීත් ඒ සිනහව මතුව ආ බව මට මතකය. පරිණත බව, අසනීප ගතිය, වයස්‌ගත ස්‌වරූපය නිසා ඒ සිනහව එදා තරම් ආකර්ෂණීය නොවුණත් මෙදා සිනහව හරහා එදා සිනහවේ රසවත් බව, පිවිතුරුබව සිනමාපටයක අතීතාවර්ජනයක්‌ සේ මා ඉදිරියේ දිස්‌වේ. එදා තිරයේ ප්‍රේම ජවනිකා රඟද්දී මැවූ ප්‍රේමනීය රැඟුම් ගැටවරයන් සේ එදා ඒ චිත්‍රපට නරඹා අප හදවත් ප්‍රේමයෙන් කුල්මත් කළේ වරක්‌ දෙවරක්‌ නොවේ.

පෙර මා සඳහන් කළ ගීය මෙන්ම ප්‍රවේශම් වන්න චිත්‍රපටයේ "ආදරේ සිහිනයක්‌ කිව්වේ එදා කවුද සුදො", පෙම්බර මදූ චිත්‍රපටයේ "දෙනුවන් නුවන් මත් කළා. උදාහරණය. එදා අපට පෙම්වතියක්‌ හිටියත්, නැතත් ටෝනි රණසිංහ නැළවූ ඒ පෙම් නැළවිල්ල නලවන්න අපිද පුල පුලා බලා සිටියෙමු. එකල සිය පෞරුෂත්වය මුසුකරගත් රංග කුසලතාවයෙන් සිංහල සිනමාව සියතට ගත් ගාමිණී ෆොන්සේකා නමැති රංග වේදියාටත්, තම කඩවසම් බව මුසුකර ගත් තමන්ටම ආවේණික අංගචලනයන්ගෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණයෙන් සිනමාව දිග්විජය කළ විජය කුමාරතුංගයන්ටත් මැදි වූ වෙනස්‌ම ආකාරයේ රංග ප්‍රතිභාවත්. ස්‌වභාවික රංගන හැසිරීමක්‌ සහ ශික්‍ෂණයක්‌ ටෝනි රණසිංහ සතුවිය. එබැවින් තවත් දශක දෙක තුනකින් දේශීය සිනමාවේ රංගනය පිළිබඳ ඉතා ගැඹුරින් හදාරන්නෙකුට "ටෝනි රණසිංහ රංගන ක්‍රමවේදයක්‌" නමැති සුවිශේෂි සටහනක්‌ තැබීමට සිත් පහළ වුණොත් එය විමතියට කරුණක්‌ නොවන බව මම අද මෙම ලිපියේ ගෞරවයෙන් සඳහන් කරමි. ඔහුගේ රංගනය එතරම් විශිෂ්ටය. ස්‌වාධීනය සරලය. ඔහුටම ආවේණිකය.

දේශීය සිනමාවේ සුවිශේෂි ස්‌ථාන හිමිවන චිත්‍රපට ඇත්තේ අතළොස්‌සකි. ඒ අතර 'පරසතුමල්' සුවිශේෂි තැනක්‌ හිමිකර ගනී. පරසතුමල් කී පමණින් කෙනෙකුගේ මතකයට එන්නේ "බොනී මහත්තයා"ය. පරසතුමල් චිත්‍රපටයත් බොනී මහත්තයාත් ගහට පොත්ත මෙන් එකට බැඳී තිබේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොනී මහත්තයාගෙ චරිතයට ගාමිණි ෆොන්සේකා අතිශය සාධාරණයක්‌ කර ඇත. එහෙත් චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය වූ සිරිසේනට තිර රචනයෙන් බොනී මහත්තයාට සේ විශාල රුකුලක්‌ නොලැබුණද සිරිසේන අප හදවත් තුළ සදානුස්‌මරණීය ලෙස රැඳී පවතී. 'පරසතුමල්' නරඹන අයට 'සිරිසේන' ද අමතක නොවේ. ඒ තිර රචනයෙන් රුකුලක්‌ නැතත් තම චරිත පරාසය තුළ උපරිම රංග කුසලතාවන් දැක්‌වීමට සිරිසේන ලෙස රඟපෑ තරුණ නළුවාට හැකිවිය. බොනී මහත්තයා ලෙස ගාමිණී බුහුමන් ලබද්දී සිරිසේන ලෙස චරිතය මැවූ නළුවාටද එවන් වූ බුහුමණක්‌ ලැබිණි. හේ කිසිවකු හෝ නොව ටෝනි රණසිංහය.

ලැබෙන චරිතයේ ප්‍රමාණය නොව ඊට ලබාදිය හැකි උපරිම දායකත්වය ටෝනි අයියා විසින් ලබාදෙන අයුරු මම දැක ඇත්තෙමි. ටෝනි අයියා රඟන දර්ශන තලවල රැඳීමට තරම් මා පෙරපින් ලබා ඇත.

"මචං... පොඩි නළුවෝ ලොකු නළුවෝ කියලා දෙවර්ගයක්‌ නෑ... තියෙන්නේ ලොකු චරිත සහ පොඩි චරිත... ඒවාට සාධාරණයක්‌ කරන්න අපට පුළුවන් වෙන්න ඕනෑ.." සුවිශේෂි විදෙස්‌ කලාකරුවකුගේ චින්තනයක්‌ ගෙන හැර දක්‌වන ඔහු අප දිරිමත් කළේය. (මා ඔහුට වඩා පසු පරපුරේ නළුවෙකු වුවද ඔහු සැම විටම මා ඇමතුවේ 'මචං සනා...' කියාය. ඒත් ඔහු මට සැමදාමත් ටෝනි අයියා වූ බව ... සිහිපත් කරමි. ඔහු අපට 'මචං' කීවාට අප කිසිදා ඔහුට 'මචං' කියා අමතන්නට සිතුවේ වත් නැත. ඒ ඔහු අපට අති උදාර පුද්ගලයකු වන බැවිනි.)

මේ සටහන එකදිගට ලියාගෙන යැම අපහසුය. මගේ සිත හැඟුම්බරය.. කැළඹිලි සහගතය. ලිපිය ලිවීම මඳකට නතර කළෙමි. ටෝනි අයියාට අවසන් ගෞරව දක්‌වන්න පුංචි බොරැල්ලේ ඔහුගේ දියණියගේ නිවසට ගියෙමි.

නිසලව සැතපී සිටින උතුම් මිනිසාගේ දෙපා මත දෙඅත් තබා මගේ හදපිරි ගෞරවය සහ ශෝකය පිරිනැමුවෙමි. "දෙලොවක්‌ අතරේ" නිශ්ශංක තමන් අතින් වූ වරද පිළිබඳ ස්‌වයං විවේචනයක යෙදෙන දුක්‌බර කටහඬ මට ඇසේ. තම දියණියට පෙම්කළ ඥති පුත්‍රයාට තදින් බැණ වැදී නිවසින් පන්නාගන්නා පියාගේ හඬ මට ඇසේ. රොඩිත්තියකගෙන් පිපාසයට දියබිඳක්‌ ඉල්ලා මොර දෙන කුලැත්තාගේ කටහඬ මට ඇසේ. "සප්ත කන්‍යා" පාතාල මුදලාලිගේ කටහඬ මට ඇසේ. මේ සියල්ල අභිබවමින් "වැනීසියේ වෙළෙන්දා" හරහා මස්‌ රාත්තලම ඉල්ලා කෑ ගසන ෂයිලොක්‌ගේ හඬ මට ඇසේ.

එක්‌ මිනිසෙකු නිවැරදිව ක්‍රමවත්ව භූමිකා රැසක්‌ ඉදිරිපත් කිරීම... ඔහු කෙතරම් අභ්‍යාසයක්‌ කර කැපවීම් කර සිටිය යුතුද. ටෝනි රණසිංහ තම ජීවිත කාලය පුරා තම වෘත්තිය වෙනුවෙන් කැපවීම් කළේ ඉමහත් ආදරයෙනි. භක්‌තියෙන් සහ සතුටකිනි. සිනමා රංගනය, රූපවාහිනි රංගනය සහ වේදිකා රංගනය අතර තිබෙන සමානතා හා විෂමතා හඳුනාගත්තේ ඉතා පහසුවෙනි. ඔහුගේ ඒ රංගනයන් පසු පරපුරේ අපට පාඩම් කියා දුන්නේය. සිනමා රංගනය සියුම් සූක්‍ෂම ශිල්පයක්‌ බව ඔහුගේ මතය විය.

ටෝනි රණසිංහයන්ගේ දක්‍ෂතා පිළිබඳ නිසි ඇගයීමක්‌ නිසියාකාරව සිදුවූවා දැයි නැවත නැවත විමසා බැලිය යුතු කරුණක්‌ යෑයි මම නොබියව ප්‍රකාශ කරමි. ඔහුට එවන් සාධාරණයක්‌ වූවා දැයි සොයා බැලීමට ඒ පිළිබඳ ස්‌වාධීන ඇගයීමක්‌ කිරීමට ඉදිරිපත්වන්නේ කවුද. උනන්දු වන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි.

ටෝනි රණසිංහ ඕනෑම ජගතෙකු, ඕනෑම උගතෙකු ඉදිරියේ තම අදහස්‌ නිරන්තරව ඉදිරිපත් කිරීමට මෙන්ම තම මතය සනාථ කිරීමට අවශ්‍ය කරුණු කාරණා ගෙනහැර පෑමට දස්‌කම් ඇත්තෙකි. එමෙන්ම තමාගෙන් වූ වරදක්‌ හෝ ප්‍රවාදයක්‌ ඕනෑම දරුවකු ඉදිරියේ හෝ පිළිගැනීමට තරම් ටෝනි අයියා නිහතමානී විය. පක්‍ෂ භේදයෙන් තොරව මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ නම් දරා සිටින්නන් රැසකගේ දැන හැඳුනුම්කම තිබුණද කිසිදු අවස්‌ථාවක තම අභිමානය කවරකු ඉදිරියේ හෝ හෑල්ලුකර ගත්තේ නැත. ඔහුගේ දේශපාලන දර්ශනය ඔහුටම සීමා විය.

මෙරට පහළ වූ අද්විතීය රංගන ශිල්පියා වූ නැසීගිය ගාමිණී ෆොන්සේකා මහතා සමඟ ටෝනි රණසිංහයන්ගේ දැඩි මිතුදමක්‌ තිබූ බව මම අසා ඇත්තෙමි. ඔවුන් දෙදෙනා එකම දර්ශන තලයන් තුළ කටයුතු කළ ආකාරය සහ එම මිත්‍රත්වය බෙදාගත් අයුරු දැකීමට තරම් මා භාග්‍යවන්තයකු විය. දෙදෙනා අතර සිදුවන සුහද විවාදයකදී ජය පැරදුම සොයා ගැනීම එය නරඹන අපට උගහටය. නමුත් ඒ අසල සිටින කෙනෙකුට ලැබෙන දැනුම් සම්භාරය නම් අප්‍රමාණය.

ටෝනි රණසිංහයන්ගේ අද්විතීය රංගන කුසලතා පිළිබඳ මා සතු දැනුම ප්‍රමාණවත් නැත. නමුත් මා තිර රචනය ලියා නිෂ්පාදනය කළ "සිසිල ගිනි ගනී" චිත්‍රපටයට එතුමා රංගන දායකත්වය පිරිනැමූ අයුරු සහ එහි තිබූ සුහදකමත් වෘත්තීයමය තත්ත්වයත් අති උතුම්ය. මේ දැවැන්ත රංගන ශිල්පියා "එකමත් එක රටෙක" නම් මගේ කුළුඳුල් චිත්‍රපටය හරහා අධ්‍යක්‍ෂණය කිරීමට තරම් මා වාසනාවන්ත වූයේ කෙසේ දැයි මම තවමත් සිතමි. මේ පරිණත ශිල්පියා ඒ කටයුත්තේ දී දැක්‌වූ සහය, සරල බව, නිහතමානී බව, කැපවීම විස්‌තර කිරීමට තරම් වචන මා සතු නොවේ. මා මෙතෙක්‌ ආ සිනමා ගමන් මගේ දී විවිධ පුද්ගලයන්ගේ උපදෙස්‌, අවවාද මඟ පෙන්වීම් ලබා ඇත්තෙමි. නමුත් මා රංගන ශිල්පියෙකු ලෙස වැඩියෙන්ම ඇසුරු කළේ ටෝනි රණසිංහයන්ය. මට වැරදුනු තැන්, නොකළ යුතු දේ පිළිබඳ මා දොස්‌ අසා ඇත්තේ ඔහුගෙනි. ඒ දොස්‌ සියල්ල මගේ උන්නතිය වෙනුවෙන් ඔහු හදපත්ලෙන්ම ආ බව මම හොඳින් දනිමි.

ලියන්න... කියන්න බොහෝ දේ ඇත. ඒත් ඒවා පෙළ ගැස්‌වෙන්නේ නැත. ලිවීමේ විශාල කුසලතාවක්‌ නැතත් යමක්‌ ගළපා ගැනීමට ඇති හැකියාවද ටෝනි අයියාගේ වියෝව සමඟ බිඳ වැටී ඇත. කිහිපවරක්‌ දෙනෙත් කඳුළින් බොඳවිය. එනිසාම මින් පෙර ටෝනි රණසිංහයන් පිළිබඳ ලියෑවූ ලිපිවලට වඩා මෙය පාඨකයාට නීරස වේදැයි මා තුළ අනියත බියක්‌ද දැනේ. බුදු දහමට අනුව අටලෝ දහමින් නොසැලී ජීවත්වීමට කිසිවකුට හැකි නම් ඔහු හෝ ඇය උසස්‌ පුද්ගලයෙකි. කෙතරම් සිත දැඩි කර ගත්තද එය දියාරු වී මුදු මොලොක්‌ වී කම්පාවන අවස්‌ථා කලාතුරකින් කෙනෙකුට ඇතිවිය හැක. පෘතග්ජනයකු ලෙස අද මමද ඒ තත්ත්වයට පත්ව සිටිමි. ඒ කිසිවක්‌ නිසා හෝ නොවේ. කවදා හෝ අප මියෑදෙන බව සියලු දහම් වලට අනුව අප දැන සිටියද අතළොස්‌සක්‌වන අමරණීය අති උතුම් මිනිසුන් සදාකාලිකව අප සමඟ වසනු ඇතැයි නොදැනුවත්වම හෝ අප විශ්වාස කරන බැවිනි.

එවැන්නෙකු මෙලොව හැරගිය පසු ඒ හිඩැස පිරවීමට තවත් කිසිවකුට නොහැකිය. එච්. ආර්. ජෝතිපාලයන් නැති හිඩැස වසා ගැනීමට නොහැකිව දුක්‌වන කම්පාවන බොහෝ පිරිස්‌ අතරේ මමද තවත් එක්‌ මිනිසෙකි.

"මා දයාබර ටෝනි අයියේ... මා හිතාදර ගුරුතුමාණෙනි... මෙරට කලා ක්‍ෂේත්‍රයට බිහිවූ උදාරතර මනුෂ්‍ය පුත්‍රයාණෙනි... ඔබට මෝක්‍ෂ රාජ්‍යයේ වෙසෙන ඔබේ පියාණන් වෙත යැමට ලැබේවා යෑයි මගේ ප්‍රාර්ථනාවයි.

අද අපෙන් සමු ගන්නා ප්‍රවීණ රංගධර ටෝනි රණසිහයන්ට
'දිවයින සිනමා කලා' සංග්‍රහයේ ආචාරය..

සනත් ගුණතිලක
http://www.divaina.com/2015/06/19/cineart01.html

0 comments: