Pages

Sunday, June 21, 2015

රට ඉහලට ඔසවාතැබූ SLT අතීත සන්නිවේදන උරුමය INET Colombo 2015 හිදී ඉහළින් ඇඟයුමට

ගත වූ වසර 20 ක කාලය පුරාවට ජාලකරණ හා අන්තර්ජාල සේවා මෙරට තුළ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් දැක්‌වූ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ උත්සවය වන INET Colombo 2015 හිදී ජාතික විදුලිසංදේශන හා තොරතුරු තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරුවා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත ඉහළ පිළිගැනීමක්‌ හිමි විය. 

ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ සන්නිවේදන ජාල හා අන්තර්ජාල සේවා ව්‍යාප්ත කිරීමට කැප වීමෙන් කටයුතු කිරීම අගය කරමින් 1991 සිට 1995 දක්‌වා ශ්‍රී ලංකා ටෙලිකොම් කළමනාකරණ අධ්‍යක්‍ෂවරයෙකුව සිටි පී. කේ. වික්‍රමාරච්චි මහතා සාමාන්‍යාධිකාරී - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් අජිත් සිල්වා මහතා සහ සාමාන්‍යාධිකාරී - ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් එම්. අයි. ඩීන් මහතා වෙත ඇගයීම් ඵලක පිරිනමන ලදී. 

ශ්‍රී ලංකා ටෙලිකොම්හි පළමු කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා (1991-1995) ලෙස පත් වූ පී. කේ. වික්‍රමාරච්චි මහතා එහි සිදු වූ ආයතනික පරිවර්තන ක්‍රියාදාමය හා ශ්‍රී ලංකාවට ගෝලීය සබැඳියාව ලබා ගැනීම වෙනුවෙන් සුවිශේෂී භූමිකාවක නිරත වූ අයෙකි. ඉතාම තීරණාත්මක හා අපහසුතා සහිත යුගයක SEA-ME-WE 2 ප්‍රකාශ තන්තු මුහුදු සංදාම පද්ධතිය වෙත පර්යන්ත ප්‍රවේශය ලබා ගැනීම එවක ඔහුගේ වගකීමක්‌ව පැවතිණ. මෙම මුහුදු සංදාම පද්ධතිය සහ පාදුක්‌කේ පිහිටි ඩිජිටල් පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්‌ථානය මගින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සේවාවන් ඉහළ ප්‍රමිතියක්‌ සමගින් වඩාත් වේගවත් හා ක්‍රමානුකූල කළ හැකි විය. 

1993 වසරේදී කොළඹ, මොරටුව හා විවෘත විශ්වවිද්‍යාලයන් එකිනෙක සමග යා කරමින් ශ්‍රී ලංකාවේ මුල්ම දත්ත සන්නිවේදන ජාලය සථාපිත කිරීම සම්බන්ධයෙන් වගකීම ගෙන ක්‍රියා කළේ අජිත් සිල්වා මහතාය. මීට අමතරව ඒ මහතා සමාගම තුළ ක්‍රියාත්මක වූ තවත් ව්‍යාපෘති කිහිපයකටම නායකත්වය දී කටයුතු කළේය. 1994 වසරේදී වාණිජ මට්‌ටමේ අන්තර්ජාල හා විද්යුත් තැපැල් සේවා ආරම්භ කිරීම, දිවයින පුරා පාසල් 1500 යා කළ ජයදදකභැඑ නම් වූ ජාලකරණ ව්‍යාපෘතිය, රාජ්‍ය ආයතන 400 කට අධික ප්‍රමාණයක්‌ එකිනෙක හා සම්බන්ධ කළ ලංකා රාජ්‍ය ජාලය (Lanka,Government Network - LGN) ප්‍රකාශ තන්තු තාක්‍ෂණයෙන් මෙරට පිහිටි සෑම විශ්වවිද්‍යාලයක්‌ම සම්බන්ධ කළ LEARN (Connected University Network) ව්‍යාපෘතිය හා නැණසල ආදී මහා පරිමාණ ජාලකරණ ව්‍යාපෘති ඉන් කිහිපයකි. එසේම, 1998 දී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් සැපයීම සඳහා ආයතනික අලෙවිකරණ පර්ෂදය පිහිටුවීමටද කටයුතු කළ අතර 2008 දක්‌වාම එම පර්ෂදය පැවතියේ ඒ මහතා යටතේය. 

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අත්දැකීම විප්ලවීය වෙනසකට බඳුන් කළ ව්‍යාපෘති කිහිපයක්‌ම අතරින් පරිවර්තන ව්‍යාපෘති තුනකට නායකත්වය දෙන ලද්දේ එම්. අයි. ඩීන් මහතා විසිනි. අන්තර්ජාල සේවා හඳුන්වා දීමේ සිටම ඒවා සංවර්ධනය කිරීම හා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවාවන්හි මූලික යටිතල පහසුකම් ව්‍යහය පරිවර්තනය කිරීම සඳහාද ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඒ මහතා අතින් ඉටු විය. එසේම, 2002 වසරේදී ADSL හඳුන්වා දීමත් සමග ශ්‍රී ලංකාවේ බ්‍රොඩ්බෑන්ඩ් විප්ලවයක්‌ ඇති කිරීමේ වගකීම දරන ලද්දේද ඒ මහතා විසිනි. මීට අමතරව, ඩීන් මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල ප්‍රොටොකෝල රූපවාහිනී සේවාව (IPTV) ආරම්භ කිරීමත් සමග මෙරට වැසියන් රූපවාහිනී නැරඹීම හා විනෝදාස්‌වාදාත්මක අත්දැකීම් විඳගැනීම කැපී පෙනෙන වෙනසකට ලක්‌ වූ බව කිව යුතුය. 

සෑම විටම සේවයට කැප වූ කණ්‌ඩායමකින් සමන්විත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය දිනෙන් දින වැඩිදියුණු කිරීම හා මහජනතාවට දරාගත හැකි මිල ගණන් යටතේ එම සේවාවන් සැපයීම සඳහා නිරන්තරයෙන් කටයුතු කරයි.

http://www.divaina.com/2015/06/19/velanda02.html

0 comments: