Pages

Wednesday, June 3, 2015

ඓතිහාසික සාක්ෂි සනාථ කරන අශෝක අධිරාජයාගේ ධර්ම දූත සේවාවෙන් ශ්‍රී ලංකාව සහ ලෝකය ලත් දායාද

ශ්‍රී ලංකාවේ රජකම් කළ දේවානම්පියතිස්‌ස රජුත් භාරත දේශයේ රජකම් කළ අශෝක රජුත් අතර පැවැති සම්බන්ධතාවය මත ක්‍රි. පූ. 03 වැනි සියවසේ මිහිඳු මාහිමියන් මෙම රටට පැමිණීමෙන් බුද්ධාගම මෙහි ප්‍රචලිත විය. මිහිඳු මාහිමියෝ අශෝක රජතුමාගේ පුත්‍රයෙකි. මේ ගැන චීන දේශාටකයන් කියන්නේ උන්වහන්සේ අශෝක රජුගේ සහෝදරයකු බවයි.

මෞර්ය අධිරාජ්‍යයේ සීමාවන් ඉන්දියාවේ පුලිකට්‌හි සිට නැගෙනහිර ඉන්දියාවේ චිතල්ඩ්‍රග් දක්‌වා විහිදී තිබීමෙන්, අශෝක අධිරාජයාගේ 13 වැනි ශිලා ලේඛනයට අනුව සිරියාව, මිසරය, මැසිඩෝනියාව, සිරින්, එපිරස්‌, සයිරේනියාව ආදී විදේශ රටවල්වල පවා තම සම්බන්ධතාවයන් පුළුල්කර තිබිණි.

ශ්‍රී ලංකාවේ රජු අශෝක රජු වෙත පුද පඬුරු සමඟ දූතයින් යෑවීමත්, අශෝක රජු යළි අභිෂේකයක්‌ කරන ලෙසට දන්වා අභිෂේකෝපකරණ ලංකාවට එවීමත් පිළිබඳව වංශ කතාවලින් දැක්‌වෙයි. දේවානම්පියතිස්‌ස රජු ද ලක්‌ රජවරුන් භාවිත කළ "දෙවනපිය" විරුද නාමය ද මින් ලබා ගත්තේය. එය අශෝක රජුගෙන් ලැබුණ නාමයකි. අශෝක රජු ලංකා රජුට එවන ලද පණිවුඩයේ මෙසේද කියා තිබිණි. "මම බුදු සසුනෙහි තෙරුවන් සරණගිය උපාසකයකුව සිටිමි. ඔබත් තෙරුවන් සරණ යන්න" යටකී කරුණු අනුව මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් පසු ලංකාවේ බුද්ධාගම රාජ්‍යාගම බවට පත්විය.

අශෝක රජතුමා ඉන්දියාවෙන් වෙනත් රටවලට බුදු දහම (ධර්ම පණිවුඩය) බෙදාදීමට පෙර එහි පිවිතුරු බව සහතික වනුවස්‌ ධර්ම සංගීතියක්‌ පැවැත්වීය. මෙය බෞද්ධ ඉතිහාසයේ තෙවැනි ධර්ම සංගීතියයි.

අශෝක රජුගේ නව රට ධර්ම දූත මෙහෙවර පිළිගැනෙන සාධකයන් ඉන්දියාවේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තිබේ. ආචාර්ය කනින්හැම් කියන පරිදි ධර්මදූත ව්‍යාපාරයට සම්බන්ධිත උදවිය සත්‍ය ඓතිහාසික පුද්ගලයන් බව සාංචියේ අංක 02 දරණ ස්‌ථූපය කැණීමේදී සොයාගෙන ඇති ධාතු කරඬුවල ලියෑවුණ අභිලේඛන යන්ගෙන් සනාථ කරයි.

ශපුරිශ (ශ) මොගලි ප්‍රතශ (මෙම කරඬුවෙ තැන්පත් ධාතුන් මොග්ගලී පුත්ත තිස්‌ස නම් සත්පුරුෂයාණන්ගේය) යනුවෙන් එන සඳහන මෙම ධර්ම දූත මෙහෙය මෙහෙයවීයෑයි වංශ කථාවල සඳහන් මොග්ගලී පුත්ත තිස්‌ස මාහිමියන්ද ශපුරිශ (ශ) වඡ්ජි වශ (වඡ්ඡ්ව නම් සත් පුරුෂයාණන්ගේය) යනුවෙන් එන සඳහන ආදී විස්‌තර දීප වංශයෙන් අනාවරණය වෙයි.

මිහින්තලයේ තිබී හමුවූ ශිලා ලේඛනයක වංශ කතාවන්හි ලංකාවට ධර්ම දූතයන් ලෙස පැමිණි මහින්ද, භද්දසාල, ඉට්‌ඨිය, උත්තිය යන තෙරවරුන්ගේ නම් තිබුණ බවට වාර්තාවෙයි. මහින්දා ගමනයට අනතුරුව එහි ප්‍රතිඵලයක්‌ ලෙසින් මිහිඳු මාහිමියන්ගේ නැඟණියක වූ සංඝ මිත්තා මෙහෙණිය විසින් ශ්‍රී මහා බෝධි ශාඛාව වැඩමවාගෙන ආ පුවතද මහින්දා ගමනය තවදුරටත් සනාථ කරයි.

මෙම කරුණු මත ලංකාවේ බිහිවූ රාජ්‍ය ආගම පිළිබඳ සංකල්පය ක්‍රි.පූ. 03 වැනි ශත වර්ෂයේ පටන් සිංහල රාජ්‍යයේ අවසානය වූ 09 වැනි ශත වර්ෂය දක්‌වා වූ කාලය තුළ ලක්‌ සිහසුන බෞද්ධයෙකුට මිස අන් අයෙකුට හිමි වූයේ නැත. මේ වනවිට රජය විසින්ද බුද්ධාගම සුරක්‍ෂිත කොට පෝෂණය කළ යුත්තේය යනුවෙන් 1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන්ද 1978 ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන්ද සහතික කර ඇත.

එළාරයන් අසේල රජු මරණයට පත්කර රාජ්‍ය උදුරාගෙන රජකම් කළේ බෞද්ධයින්ගේ සිත් දිනාගෙනය. වංශ කථාකරුවන් එළාර රජු දැහැමින් රාජ්‍ය කළ රජෙකු හැටියට සලකයි. චේතියගිරිය නොහොත් මිහින්තලයට වන්දනා ගමනක යෙදුණ මොහු පෙර සිරිත් අනුව භික්‍ෂුන් වහන්සේලා හමුවී පුද පූජා කළේය. තම රිය ගමන් ගනිද්දී, රිය කෙළවර ස්‌ථූපයක වැදී කොටසක්‌ කැඩීයැම නිසා ඇමැතිවරුන් ඒ බව රජු වෙත දන්වා සිටින ලදුව, ඔහු රියෙන් වහා බැස රෝදයට යටකර තම හිස සිඳින්නැයි කියා තිබේ. මහරජ පරහිංසාවට බුදුන් වහන්සේ නොකැමැති හෙයින් ස්‌ථූපය යළි සංරක්‍ෂණය කරවා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම මැනවැයි දන්වන ලදුව එසේ කරන ලදී.

අනුරාධපුර පුවරු ලිපියකින් හෙළිවන තොරතුරුවලට අනුව ක්‍රි.ව. 05 වැනි සියවසේදී ලක්‌දිව රජකම් කළ බුද්දපාරින් නමැති ද්‍රවිඩ රජු තමන් බුදු සමයට අවනත බව පෙන්වීම සඳහා බුදඋස (බුද්ධදාස) යන උපපදනාමය ගත් බව කියෑවෙයි.

මිහිඳු මා හිමියන්ගේ සම්ප්‍රාප්තියෙන් පසු බුදු දහම ලංකාව පුරාම ඉතා ඉක්‌මනින් විසිරී පැතිරී ගියේය. වංශ කථාවල දැක්‌වෙන පරිදි ලංකාව ඇතුළු කාශ්මීර ගන්ධාර දේශය, මහිස මණ්‌ඩලය, වනවාසය, යවන අපරාන්තය, මහා රාෂ්ට්‍රය, යවනරට, හිමවත, සුවණ්‌ණ භූමිය යන දේශවලටද අශෝක රජතුමා විසින් ධර්මදූත මෙහෙවර යෙදීය. හැම රටකටම පාහේ ප්‍රධාන ධර්මදූතයන් වහන්සේ නමක්‌ සමඟ තවත් ධර්මදූතවරු 04 නමක්‌ වැඩියහ.

ලංකාව හා බුරුමයෙන් සොයාගෙන ඇති ශිලා ලේඛනයන්ගෙන්ද අශෝක රජුගේ ධර්ම දූතයන් ඒ ඒ රටවලට ගොස්‌ ධර්මය ප්‍රචාර කළ හැටි ගම්‍යවෙයි. අශෝක රජුගෙන් පසු තම පුතු රජකමට පත්වන්නට සිටියදී පැවිදි බිමට පත්කර බුද්ධාගම ප්‍රචලිත කිරීමට ගත් උත්සාහයත්, සංඝමිත්තා නම් තම දියණිය ලංකාවේ බෞද්ධාගම උසස්‌ තත්ත්වයකට පත්කිරීමට උනන්දු කරවීමත් නිසා අශෝක රජතුමා මෙරටේ බුද්ධාගමට මහත් මෙහෙවරක්‌ කළේය.

දැනට පිරිසිදු ථෙරවාදය පවතින ප්‍රධාන රටවල් දෙකක්‌ ලෙසින් බුරුමය හා ලංකාව ගිණිය හැකිය. බුදු දහම ව්‍යාප්ත කිරීමට අශෝක රජුගේ ධර්ම දූත මෙහෙවර ප්‍රබල විය. මෙම රජතුමා විසින් බෞද්ධ ලොවක්‌ බිහිකරලීමේ කාර්යයට බෞද්ධ කලා ශිල්පයද උපයෝගී කරගත්තේය. කලා ශිල්පයන් මානව වර්ගයාගේ සන්තානයන් කෙරේ බලපෑ හැකි ප්‍රබල මාධ්‍යයක්‌ බව අවබෝධ කරගත් අශෝක රජ තම ජීවිතය පුරාම බෞද්ධ කලා ශිල්පයන් දියුණු කිරීමට ප්‍රයත්න දැරීය. වංශ කථාවලට අනුව අශෝක රජු ලංකාව ඇතුළු අවට ප්‍රදේශවල අසූහාරදහසක්‌ වෙහෙර විහාර කරවූ බවට වංශ කථාවලින් හෙළිවෙයි. සාංචියේ අද දක්‌වාත් ආරක්‍ෂිතව පවතින ස්‌ථූපයද අශෝකයන් විසින් කරවන ලද්දකි.

(බෞද්ධ සංස්‌කෘති ලිපි සරණිය ඇසුරින්)

මීරිගම - ආර්. ඇම්. ටී. බී. රත්නායක
http://www.divaina.com/2015/06/02/feature03.html

0 comments: