ගරු ඇමැතිවරයාගේ ප්‍රකාශයට නිමිත්ත වන්නේ ඊයේ පුවත්පත්වල පළ වී තිබූ ප්‍රවෘත්තියකි. එනම් මේ වසර අවසානයේ ඩයස්‌පෝරා සංවිධාන මෙරටට ගෙන්වා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවය. විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂි කොලොන්නේ ඒ බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
බොහෝ දෙනකුට මෙය කුතුහලය දනවන ප්‍රවෘත්තියක් වී තිබිණි. ඩයස්‌පෝරා සැණකෙළිsයක් ඇයි? ඒ ප්‍රශ්නයට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාවගේ ප්‍රකාශයෙන්ම කෑල්ලක් ඇමිණිය හැක. ඒ අනුව මෙය පැවැත්වෙන්නේ මෙරට සංහිඳියාව ඇති කරමින් ජනතාවගේ හදවත් තුළ ඇති ජාතිවාදී අදහස් ඉවත් කිරීමේ අරමුණින්ය.
දැන් එවිට අපට (ජනතාවට) තවත් ප්‍රශ්නයක් මතු වේ. ඒ සංහිඳියාව ගොඩනැඟීමට ඩයස්‌පෝරා සැණකෙළියක් අවශ්‍යමද යන්නයි. මෙසේ කියන විට සමහර බුද්ධිමත් මහත්වරු ''අන්න ජාතිවාදී හැඟීම් අවුස්‌සන්නවා යෑයි'' ෂුවර් එකටම කියනු ඇති බවට සැකයක් නැත. අද සත්‍ය කතා කිරීම යන්නට යොදන පරියාය පදය වන්නේ ජාතිවාදී වීම යන්නය. එසේ කල්පනා කරන කිසිවකුත් ඩයස්‌පෝරාව පසු ගිය කාලයේ සහ මේ දැනුත් ප්‍රකට කරණ හැසිරීම් කිසි විටකත් සංහිඳියාවකට නොගැලපෙන ඒවා බව සිතන්නේ නැත.
සරල එක් උදාහරණයක් පමණක් පෙන්වමු. ඔය කියන ඩයස්‌පෝරා උදවිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායම විදෙස් රටකදී ක්‍රීඩා කරන විට පෙන්නූ ''කානිවල්'' සිහියට නඟා ගන්න. අපේ රටේ ක්‍රිකට් කණ්‌ඩායම අපගේ ජාතීන් අතර එකමුතුව පෙන්වන හොඳම ජාත්‍යන්තර ලාංඡනයයි.
එහෙත් ඩයස්‌පෝරාව අඩුම තරමේ ක්‍රිකට් පිටියේදීවත් ඔය කියන සංහිඳියාව ජාත්‍යන්තරයට පෙන්නුවේ නැත. එවැනි සංහිඳියාවක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවක් තිබියේ නම් එය වඩාත් ප්‍රශස්‌ත මට්‌ටමින් කළ හැකි හොඳම අවස්‌ථාවන් තවත් බොහෝමයක් විය.
අප විශ්වාස කරන්නේ ඔය කියන සංහිඳියාවට හොඳම ඉඩකඩ විවර වූයේ 2009 වර්ෂයේ යුද්ධය අවසන් වූ මොහොතේ සිටම බවය. ජාත්‍යන්තරය ගාවා ගන්නට පෙර රට තුළ සංහිඳියාව ගොඩනැගීම අසීරු කාරණයක්‌ව තිබෙන්නේද ඩයස්‌පෝරාවේම ඇඟිලි ගැසීම් නිසාය. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල පැවැති තත්ත්වය තුළද යුද්ධය අවසන් වීමෙන් පසුද ජනතාව සාමාන්‍ය ජීවිතයට පිළිපන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. ඕනෑම යුදමය තත්ත්වයකින් පසු කලක් යනතුරු පැවැති බිය සැක සංකා එක්‌වරම තුරන්වන්නේ නැත. සමහර තත්ත්වයක් තුළ උතුරු නැගෙනහිර ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වන්නේ යෑයි කියමින් ජාත්‍යන්තරය ''කුලප්පු'' කිරීමේ නින්දිත මෙහෙයුම දියත් කළේ ඔය කියන ඩයස්‌පෝරාව බව අමතක කළ යුතු නැත. මෙරට සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්‌ව තිබියදීත් ඉන්ස්‌ටන්ට් සංහිඳියාවක් බලාපොරොත්තු වීම විසුළු සහගතය. අප ''කානිවල් සංහිඳියාවක්'' බලාපොරොත්තු වන්නේ එවන් තත්ත්වයක් තුළය. සැණකෙළිය පවත්වන ක්‍රමවේදය ගැන පැහැදිලි කිරීමක් නැති බැවින් ඒ ගැන වැඩි යමක් නොකියමු. එහෙත් පසුගිය කාලයේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා ගෙන එමින් රට දංගෙඩියට ගෙන යන්නට උත්සාහ කළේ ද ඔය ඩයස්‌පෝරාවම බව නොදන්නෝ කවරහුදරෑ මුලින් අපි රටේ දේශපාලන පක්‍ෂවල සංහිඳියාව ගොඩනගමු. එවැනි ශක්‌තිමත් පදනමක් තුළ මේ ''ඩයස්‌ප්‍රෝඩා කානිවල්'' වෙනුවට විධිමත් සංහිඳියාවක් නිතැතින්ම ගොඩනැගෙනු ඇත.
http://www.divaina.com/2015/06/12/editor.html
Pic Source
0 comments:
Post a Comment