Pages

Wednesday, June 17, 2015

අවුරුදු දහස් ගණනක සිහල බොදු උරුමය පාවාදී ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම

බොහෝ දේශපාලනඥයෝ 'බලය' ලබා ගැනීම සඳහා නොකරන දෙයක්‌ නැත. ඒ බැව් අප අත්දැකීමෙන් දනිමු. එහි අලුත්ම උපක්‍රමය නම් මහ මැතිවරණයකදී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ තීරණාත්මක සාධකයක්‌ වන දෙමළ/ මුස්‌ලිම් ඡන්ද ඩැහැ ගැනීමට කරන්නා වූ බාල ප්‍රකාශයි. මෑතකදී එක්‌තරා අමාත්‍යවරයකුගෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට ඔහු පිළිතුරු දුන්නේ, "කවුද කියන්නේ මේක සිංහල රට, සිංහල බෞද්ධ රට කියලා, කොහෙද ඒක ලියලා තියෙන්නේ" යනුවෙනි. සමහර විට එවන් දෙයක්‌ ප්‍රකාශ කිරීමට එය හිතාමතාම සූදානම් කොට ඇසූ ප්‍රශ්නයක්‌ ද විය හැක. එම පිළිතුරෙන් ඔහු බලාපොරොත්තු වන්නේ දෙමළ/ මුස්‌ලිම් ජනයාගේ හිත දිනා ගැනීම වන අතර "ඔව් මෙය සිංහල රට තමයි" යනුවෙන් දේශප්‍රේමී ජනතාව ඊට පිළිතුරු දෙන විට ඔවුන් නියෝජනය කරන පක්‍ෂ කෙරෙහි සුළු ජාතීන්ගේ සිත් කලකිරීමට පත් කොට ඔවුන්ගේ ඡන්ද වැළැක්‌වීමට සැලැස්‌වීමයි. බලය ලබා ගැනීම සඳහා දියත් කොට ඇති ජාතිය පාවා දීමේ නිහීන උපක්‍රමයන්ගේ කූටප්‍රාප්තිය මෙය බව මගේ හැඟීමයි.

උක්‌ත අමාත්‍යතුමා නියෝජනය කරන කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දෙමළ/ මුස්‌ලිම් ඡන්ද විශාල සංඛ්‍යාවක්‌ ඇත. ඔහුගේ එම ප්‍රකාශයෙන් එම සුළු ජාතික සහෝදර සහෝදරියන් සතුටු වනු ඇතැයි ඔහු සිතනු නිසැකය. මා නියෝජනය කරනුයේ නැගෙනහිර පළාතේ දිගාමඬුල්ල දිස්‌ත්‍රික්‌කයයි. එහි ඡන්ද දායකයන්ගෙන් තුනෙන් දෙකකටත් අධික පිරිසක්‌ වන්නේ සුළු ජාතික මිතුරන්ය. එය එසේ වුවද අප මාතෘ භූමියේ සිංහලයාට හිමි උරුමය/ අයිතිය පිළිබඳව පැහැදිලි කිරීමට මා නොපසුබට අතර බුද්ධිමත් දෙමළ/ මුස්‌ලිම් ජනතාව ද එය අවබෝධ කර ගනු ඇතැයි අපේක්‍ෂා කරමි. මන්ද නියම සිංහල බෞද්ධයෙක්‌ වන මා දෙමළ/ මුස්‌ලිම් ජාතියටත් හින්දු/ මුස්‌ලිම් ආගමටත් කවදත් ගෞරව කරන බැව් ඔවුන් හොඳින් දන්නා බවයි.

ශ්‍රී ලංකාව හෙවත් අපේ මාතෘ භූමියට වසර 2500 ක ලිඛිත ඉතිහාසයක්‌ තිබෙන මුත් ඊට එහා ගිය අභිමානවත් ඉතිහාසයක්‌ අප සතුව ඇත. පෘතුගීසීන් මෙහි පැමිණීමට පෙර අපේ රට වරින් වර ආක්‍රමණය කළ කාලිංගමාඝ, චෝල, පාණ්‌ඩ්‍ය, සොළී ආක්‍රමණිකයන් සමඟ දිවි හිමියෙන් සටන් කොට රට බේරා ගත්තේ සිංහලයන් ය. මහා විජයබාහු බිහිවීමට පෙර අපේ රට හැඳින්වූයේ 'මුම්මුඩි චෝලේ' යනුවෙනි. එනම් දකුණු ඉන්දියානු ප්‍රාන්තයක්‌ ලෙසිනි. අභීත සිංහලයෝ නොසිටියේ නම් අද අප ඉන්දියාවේ ම තවත් එක්‌ ෆෙඩරල් ප්‍රාන්තයක්‌ බවට පත් වී හමාරය.

ඉන් පසුව රට ආක්‍රමණය කළ පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි සමඟ සටන් කොට සියලුම දේ අහිමි කර ගත්තේ ද සිංහලයන් ය. විදේශිකයන්ගේ අණසකට යටත් නොවූ ඔවුන්ගේ ආගම වැළඳ නොගත් නිසාම කෲර ලෙස ඝාතනයට ලක්‌ වූයේ ද සිංහලයන් ය. ඔවුන්ට එරෙහිව කැරලි ගසා දහස්‌ ගණනක්‌ මියගියේද සිංහලයන් ය.

ඉංග්‍රීසීන්ගෙන් රට මුදා ගැනීමට 1818 දී සහ 1848 දී දියත් කළ කැරලිවලින් පසුව ඉංග්‍රීසීන් විසින් අවුරුදු 18 ත් 35 ත් අතර මරාදැමූ සියලුම මිනිසුන් සිංහලයෝය. ඔවුන් විසින් විනාශ කරන ලද හරකබාන කුඹුරු සියල්ලම සිංහලයන්ගේ ය. ( අද අපට මානව හිමිකම් පිළිබඳව දැනමුතුකම් දීමට එන ඉංග්‍රීසීන් රතු පලස්‌ දමා පිළිගන්නා වර්තමාන ආණ්‌ඩුව ඇත්තෙන්ම ලැඡ්ජා විය යුතුය.) එසේ නම් රට බේරා ගැනීමට චිරාත් කාලයක්‌ මුළුල්ලේ දිවිපුදා ඇත්තේ සිංහලයන් බව සියල්ලන්ම දැන්වත් දැන ගත යුතුය. ඒ මේ රට 'සිංහල රට' වූ බැවිනි. 1815 දී අපේ රටේ ස්‌වාධීනත්වය පාවා දෙමින් ඉංග්‍රීසීන් සමඟ අත්සන් කළ උඩරට ගිවිසුමේ මේ රට හඳුන්වා ඇත්තේ 'සිංහලේ රාජ්‍යය' නමින් බව යමෙක්‌ නොදන්නේ නම්, හෝ නොදන්නා බව හඟවන්නේ නම් ඔහු මන්ද බුද්ධිකයෙක්‌ හෝ අනිවාර්යයෙන්ම සිංහල ජාතිය පාවා දෙන කුහකයෙක්‌ හෝ විය යුතුය. ඉංග්‍රීසීන්ගේ උච්චාරණයට අනුව එදා කන්ද උඩරට, කන්ද, කැන්ඩි වූ බවත් සිංහලේ 'සිලෝන්' වූ බවත් යමෙක්‌ නොදන්නේ නම් ඔහු සුජාත සිංහලයෙක්‌ නම් විය නොහැක.

විදේශ ආක්‍රමණිකයන්ගෙන් පසුව අප අත්විඳි අනෙක්‌ ඛේදවාචකය නම් ත්‍රස්‌තවාදයයි. ත්‍රස්‌තවාදයෙන් සියලුම ජාතීන්ට අයත් මිනිසුන් ඝාතනය වූ අතර උන් සමඟ සටන් කොට මිය ගිය 30,000 ක සෙබළ/ සෙබළියන්ගෙන් සහ ආබාධිත වූ 14,000 ක පමණ අයගෙන් 99% ක්‌ ම සිංහලයන් බව ද අප අමතක කළ යුතු නැත. (මෙහිදී රට වෙනුවෙන් දිවි පිදූ/ සේවය කළ මුස්‌ලිම්/ දෙමළ හමුදා නිලධාරීන්/සෙබළුන් ගෞරවයෙන් සිහිපත් කරමි.) අද මේ රට සිංහල නොවේ යෑයි පාරම්බාන ඇමැතිගේ ආණ්‌ඩුවේ පවුල්වල උදවිය ද ඇතුළු සියලුම ජන කොටස්‌ බෝම්බ බියෙන් තොරව නිදහසේ සතුටින් ජීවත් වන්නේ සියලුම දේ කැපකොට, දිවි හිමියෙන් සටන් කොට ත්‍රස්‌තවාදීන් විනාශ කළ 'සිංහලයන්' නිසා බැව් නැවත සිහියට ගත යුතුය. එසේ සිහි තබා ගත් කිසිවෙකු හෝ මෙය සිංහල රට යෑයි ලියා තියෙන්නේ කොහේද යනාදී මුග්ධ ප්‍රශ්නයක්‌ නඟමින් සිංහලයන්ට අවමන් නොකරනු ඇත.

මීට අවුරුදු 1800 කට පෙර ඉදි කළ "යෝධ ඇළ" හි බෑවුම යොදුනකට රියනකි. එනම් සැතපුමකට අඟල් තුන්කාලකි. එවන් ඇළක්‌ ඉදිකිරීමට ත්‍රිකෝණමිතිය නම් ගණිත ක්‍රමයේ කෙළ පැමිණිය යුතුය. අදත් විදෙස්‌ ඉංජිනේරුවන් විශ්මයට පත් කරන යෝධ ඇළ ඉදිකළේ සිංහල ඉංජිනේරුවන් ය. මාදුරුඔය ජලාශයේ වසර 2000 ක්‌ පැරැණි, අදටත් ක්‍රියාත්මක කළ හැකි ගලින් සෑදූ බිසෝ කොටුව නිර්මාණය කළේ සිංහලයන් ය. "මේ තරම් සියුමැලි" නොවූ කළුගලින් බිම සිට උඩ බලන විට සමමිතිකව පෙනෙන ලෙසද, නාසයෙන් බිම වැටෙන වැහිබිංදුව හරියටම දෙපා මුලට වැටෙන ලෙස ද සුක්‍ෂ්මව නෙළා ඇති අව්කන බුදු පිළිමය නමැති විශ්වකර්ම නිර්මාණය ද සිංහලයකුගේය. මෙවන් දැ සිය ගණනක්‌ වුව ලිsවිය හැක. අද උතුර - නැඟෙනහිර ඇතුළු දිවයින පුරා විසිර පැතිර ඇති දහස්‌ ගණනක්‌ නටබුන් බෞද්ධ නටබුන්ය. අපේ රටේ දෙමළ/ මුස්‌ලිම් ජනතාව ද එවන් පුරාවස්‌තුන් දැක බලා ආශ්වාදයක්‌ විඳිනු අප කොතෙකුත් දැක ඇත්ද?

රටක්‌ හඳුන්වන්නේ රටේ උරුමය/ සහ උරුමක්‌කාරයන් පදනම් කොට ගෙනය. අපේ රටේ සිංහල බෞද්ධ උරුමය වසර දහස්‌ ගණනක්‌ ඈතට දිව යයි. එම උරුමය තහවුරු කර ගනිමින්, රට විදේශිකයන්ට නතු වීමට ඉඩ නොදී දිවි හිsමියෙන් සටන් කොට, මතු පරම්පරාවට රට ආරක්‍ෂා කළේ සිංහලයන්ය. එසේ නම් එය සිංහල රට යෑයි කීම ඒ අභීත සිංහලයන්ට කරනු ලබන උපහාරයකි. එසේ ආරක්‍ෂා කළ රටෙහි අද දෙමළ/ මුස්‌ලිම්/ මැලේ/ බර්ගර් සියල්ලන්ම සුවසේ සාමයෙන් ජීවත් වෙති. අද වෙනම ද්‍රවිඩ රාජ්‍යයක්‌ ඉල්ලන උතුරේ පදිංචිව සිටින්නේ දෙමළ ජනයා 48% ක්‌ පමණි. ඉතිරි 52%ම ජීවත් වන්නේ දකුණේ සිංහලයන් අතර ය. මුස්‌ලිම් ජනතාව (උතුරේ හැර) දිවයිනේ සෑම පෙදෙසකම සිංහලයන් සමඟ සාමයෙන් ජීවත් වේ. එසේම අද කොළඹ ආර්ථිකයෙන් 80% ක්‌ ම මෙහෙයවන්නේ දෙමළ/ මුස්‌ලිම් පුද්ගලයන් වන අතර දෙමළ/ මුස්‌ලිම් කෝටිපති ව්‍යාපාරිකයන්ය. පාරිභෝගිකයන්ගෙන් 90% සිංහලයන් ය.

කරුණු එසේ බැවින් බුද්ධිමත් දෙමළ/ මුස්‌ලිම් ජනතාවට මෙය 'සිංහල රට වීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක්‌ නොමැත. නමුත් මෙම 'නැති' ප්‍රශ්නය 'ඇති' කොට සුළු ජාතීන්ගේ ඡන්ද ඩැහැ ගැනීමටත්, සුළු ජාතීන්ගේ සිත් තුළ මහ ජාතීය කෙරෙහි වෛරයක්‌ ජනිත කිරීමටත් යමෙක්‌ තැත් කරන්නේ නම් එය තුච්ඡ නිහීන ක්‍රියාවකි. එය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

රියර් අද්මිරාල් සරත් වීරසේකර
http://www.divaina.com/2015/06/17/feature03.html

Pic Source

0 comments: