Pages

Sunday, June 7, 2015

ලෝක පාපන්දුවට නව පණක් සහ දුප්පත් රටවල පාපන්දුවට නව ජවයක් දුන් බ්ලැටර්ගේ අභිනික්‌මන

පාපන්දු ක්‍රීඩාවත් හුස්‌ම ගැනීමත් තමන්ට දෙකක්‌ නොව එකක්‌ යෑයි පවසන ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජෝසෆ් සෙෆ් බැල්ටර් සිය තනතුරේ සියලු වරප්‍රසාද සහ බලය අතහැරීමට තීරණය කළේය. ඒ තවත් සිව් වසරක්‌ සඳහා ඔහුට බහුතර මනාපය හිමිව තිබියදීය. 

ලොව බහුතරය ඇලුම් කරන පාපන්දු ක්‍රීඩාවේ රජ පුටුව ඉකුත් වසර 17 පුරාම වෙන්ව තිබුණේ ජෝසෆ් සෙෆ් බ්ලැටර් වෙනුවෙනි. පස්‌වැනි වරටත් පාපන්දු රජ පුටුවේ හිමිකරුවා ලෙස ඉකුත් 30 වැනිදා පත් වු බ්ලැටර් ඉන් සිව්දිනක්‌ ඉක්‌ම ගිය තැන එම වරම ගලවා දමා ගෙදර යැමට සුදානම් වීම පාපන්දු ලොවම කැළඹූ තීරණයක්‌ විය.

ස්‌විස්‌ ජාතිකයකු වන බ්ලැටර් 1998 දී යමෙකුට අහම්බයෙන් ලැබෙන පාපන්දු රජ පුටුවේ වරම දිනා ගනිමින් වසර 17 ක්‌ එම පුටුවේ නොදැවී සිටියේය. නිලවරණ හතරක්‌ එක දිගට ජය ගත් බ්ලැටර් පසුගිය 30 වැනිදා පස්‌වැනි වරටත් පාපන්දු සභාපති ලෙස තේරී පත්විය. නමුත් ඉකුත් නිලවරණයට වඩා ඔහුට ලැබුණ මනාප සංඛ්‍යාව මෙවර අඩුවිය. ඒ කෙරෙහි කලකිරුණු බ්ලැටර් සිය වරම ඉවත දමා පාපන්දුවට වෙනත් අයුරකින් ඔක්‌සිජන් දීමේ අදහසින් සිය ධුරයට සමූදීමට තීරණය කළ බව පැවසීය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිෆා) සේවකයන්ට පඩි නඩි ගෙවා ගැනීමට නොහැකි කාලයක්‌ තිබිණි. ඒ 1981 දී බ්ලැටර් ෆිෆා හී ලේකම් ධුරයට පත්වූ කාලයේදීය. එම වගකීම කර මත තබා ගනිමින් ෆිෆා සියලු සේවකයන්ට නියමිත වැටුප ගෙවීමට උරදුන්නේද බ්ලැටර්ය. ඒ ස්‌විස්‌ හී පෞද්ගලික බැංකුවකින් ණය මුදලක්‌ ලබා ගනිමිනි. ෆිෆා ලාභය මිලියනය ගණන්වලින් බිලියන වලට හැරවු පාපන්දු නායකයා බ්ලැටර්ය. ඔහුගේ සමුගැනීම ශ්‍රී ලංකාව ඇතුලු සමස්‌ත පාපන්දු ලොවේ බහුතරටයටම පාඩුවක්‌ වන්නේ ඇයිද යන්න මාර්තෘකාවට බඳුන්විය යුතුම සාධකයකි.

ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය සඳහා බ්ලැටර් සමග ජෝර්දානයේ අලි බින් අල් හුසේන් කුමරු මෙවර තරගයට ඉදිරිපත් විය. එහිදී බ්ලැටර් ඡන්ද 133 ක්‌ ලබද්දී අල් හුසේන් කුමරු ඡන්ද 73 ක්‌ ලැබුවේය. එහි පරතරය ඡන්ද 60 කි. නමුත් වසර 17 ක්‌ පුරා බ්ලැටර් වැපූරු අස්‌වැන්නේ තරමට ප්‍රතිඵලය නොලැබීම බ්ලැටර්ගේ සමුගැනීමේ ශීර්ෂපාඨය වී තිබේ.

''මට සම්පූර්ණ සහය ලැබී නැහැ. මේ ඡන්ද ක්‍රමය බැලීමේදී පැහැදිලි වෙන්නේ බහුතරය මට කැමැති වුණත් තවත් බහුතරයකට ආසන්න පිරිසක්‌ අකමැති බවයි. ඒ නිසා යළිත් නිලවරණයක්‌ තබා බහුතර කැමැත්ත ඇති සභාපතිවරයකු පත්කර ගැනීම අනිවාර්යයි. එයට අවස්‌ථාව දී මම යනවා. මගේ සමුගැනීම නිල වශයෙන් තීරණය කරන්න ඉක්‌මනින් කොන්ග්‍රස්‌ සැසියක්‌ කැඳවන්න තීරණය කරනවා. කොහොම වුණත් ෆිෆා නිල මඩුල්ල පත්වන ඡන්ද ක්‍රමය වෙනස්‌ විය යුතුයි. එය වෙනස්‌ කිරීමට මෙය සුදුසුම කාලයයි.'' යනුවෙන් බ්ලැටර් සිය සමුගැනීම පිළිබඳව පවසා තිබේ.

1998 දී පළමු වරට පාපන්දු සභාපති සටනට පිවිසි බ්ලැටර් එදා ඡන්ද 111 ක්‌ ලබා ජය ගනිද්දී ඔහුගේ ප්‍රතිවාදියා වු ලෙනාට්‌ ජොහැන්සන්ට ලබා ගත හැකි වුයේ ඡන්ද 80 ක්‌ පමණි. 2003 වසරේදී දෙවැනි වරටත් සභාපති සටනට ඉදිරිපත් වු බ්ලැටර් එහිදී ඡන්ද 139 ක්‌ ලබා ගත්තේය. ඒ පළමු වරට වඩා ඡන්ද 28 ක වැඩි වීමකි.

නමුත් 2011 වසරට වඩා බ්ලැටර්ට තිබූ කැමැත්ත පසුගිය 30 වැනිදා වන විට පැහැදිලිව පහළ වැටී තිබිණි. 2011 වසරේදී බ්ලැටර් ඡන්ද 172 ක්‌ ලබා ගනිමින් සභාපති ලෙස පත්වුවද මෙවර එම සංඛ්‍යාවෙන් 39 දෙනකුට ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම බ්eලැටර්ගේ ඉල්ලා අස්‌වීමට ප්‍රධාන හේතුව ලෙසින් දක්‌වයි.

පසුගිය වකවානුවේ ෆිෆා හි ඇතැම් නිලධාරීන්ට දුෂණ චෝදනා එල්ල විය. විටෙක ඔවුන් හිර බත් කෑවේය. මේ සියලු කාරණාවල 'කළු පැල්ලම්' අවසානයේදී බැර වන්නේ මුලසුනේ සිටින බ්ලැටර්ගේ කර මතටය. එයට හේතුව ෆිෆා නිල මඩුල්ල පත්කිරීමේ ක්‍රමය බව බ්ලැටර් පවසයි.

ෆිෆා සභාපති තනතුර සඳහා පමණක්‌ ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරන රටවල් 209 කම ඡන්ද විමසීම සිදුකරයි. එහෙත් සෙසු නිලතල තීන්දුවන්නේ ඒ ඒ කළාපවලට ඡන්ද ක්‍රමය අනුවය. එය වෙනස්‌ කරමින් සමස්‌ත ලෝකයේම ඡන්දයට අනුව ෆිෆා නිල මඩුල්ල තේරීම හොඳම ක්‍රමය බව බ්ලැටර් පවසයි. ඔහුගේ කාලයේදී එය කිරීමට කොතරම් උත්සහ කළද ඇතැමුන්ගෙන් බාධා එල්ලවීම මත එය කල්දැමීමට සිදුවූ බව බ්ලැටර් පැවසුවේය. අසුන අතහැර නැගිටින බ්ලැටර්ගේ මීළග වෑයම ෆිෆා නිලමඩුල්ලේ ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීමය.

1980 වසරේදී තාක්‍ෂණික නිලධාරියෙකු ලෙස ෆිෆා හී කටයුතු කරන අතරවාරයේ බ්ලැටර් පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අනතුරුව 1998 දී ෆිෆා සභාපති ධුරයට පත්වු බ්ලැටර් පළමු වරට ලොව පාපන්දු ක්‍රීඩා කරන රටවල් 209 ටම වාර්ෂිකව ඩොලර් 250,000 බැගින් ලබාදීමට කටයුතු කළේය. ඔහු විසින් 2000 වසරේදී ආරම්භ කරන ලද ගෝල් ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රටවලට පාපන්දු නිවහනක්‌ තනා ගැනීමට හැකියාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ බැද්දගානනේ ක්‍රීඩාංගණය, කෘතීම තණතීරු, පුහුණු මධ්‍යස්‌ථාන සහ යාපනයේ පාපන්දු ක්‍රීඩාංගණ ඉදිකිරීමද බ්ලැටර්ගේ ප්‍රතිපාදන ඔස්‌සේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතා විසින් කරවන ලදී.

ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ ක්‍රීඩාංගණ සහ ක්‍රීඩකයන් වෙනුවෙන් ආධාර මුදල් ලබාදීමට බ්ලැටර් 2005 දී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බ්ලැටර්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාපන්දුවට මුදල් පොම්ප වන්නට පටන් ගැනිණි. එය සෙසු පාපන්දු ලොවේ දුප්පතුන්ටද මහත් වු වාසනාවක්‌ විය. 

කෙසේ වෙතත් බ්ලැටර් සමුගැනීමට පෙර පැවැති පාපන්දු ලෝක කුසලානයේදී ෆිෆා ලාභය ඩොලර් බිලියන 5.7 ක්‌ ලෙස සටහන් වේ. එය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ වැඩිම ලාභය ලෙසින් සටහන් වේ. එහි සියලු ලාභාංශ සමසේ බෙදී යන ක්‍රමයක්‌ ඔහු සකස්‌ කළේය. නමුත් එම ක්‍රමයට දුප්පත් පාපන්දුව පණ ගසා නැගිටින විට ඇතැම් ධනවාදී රටවල් වලට එය දිරවුයේ නැති බව වාර්තාවේ. කෙසේ වෙතත් බ්ලැටර්ගේ 'දාන චේතනාව' නුරුස්‌සන ධනවාදී පිරිසක්‌ ඉදිරියේදී ෆිෆා පරිපාලනය අවුල් කළ හැකි යෑයි බියෙන් සහ එය රැක ගැනීමේ ආශාවෙන් බ්ලැටර් සමුගැනීමට තීරණය කළා විය හැකිය.

බොහෝ දුරට බ්ලැටර්ගේ ප්‍රතිවාදියා වූ ජෝර්දානයේ අලි බින් අල් හුසේන් කුමරු ෆිෆා සභාපති ලෙස ඉදිරි නිලවරණයේදීත් තරග කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ඔහු මීට ඉහත ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළ වකවානුවේදී ශ්‍රී ලංකාවට කිසිදු උපකාරයක්‌ නොකර තැනැත්තෙකි.

හිටපු පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා ෆිෆා සභාපති බැල්ටර් සමග සමීප සබඳතා පවත්වමින් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ පාපන්දු උන්නතිය සඳහා බෙහෙවින් කැපවී ක්‍රියා කළේය. එයට විශේෂ හේතුවක්‌ තිබේ. ඒ ධනවාදී පාපන්දු පවුල්වලින් කොන්වී සිටි ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවලට බ්ලැටර් සමයේදී දහසින් බැදි පියලි ලැබුන නිසාවෙනි.

ශ්‍රී ලංකාව පාපන්දු ලෝකයේ ලිලිපුට්‌ටන් වුවද ශ්‍රී ලංකාවේ මනාපයද හිමිවුයේ බ්ලැටර් වෙතය. එබැවින් බ්ලැටර්ගේ සමුගැනීම ශ්‍රී ලංකාවට අවාසිදායක වනු ඇත. 

අසේල විතාන
http://www.divaina.com/2015/06/07/sports03.html

0 comments: