Pages

Friday, June 12, 2015

මේ රටේ මහා සංස්‌කෘතිය බිහි කළෝ සිංහලයෝය! සිව්හෙළයේ කොඩිය කොඩිවිනයක්‌ නොවේවා!

පරතෙරක්‌ නොපෙනෙන මහා සමුද්‍රයේ යාත්‍රා කරන නෞකාව කුඹගස මුදුනේ කොඩියක්‌ බැඳ තැබීමේ වැදගත්කම පෙර සිටම මුහුදු යාත්‍රිකයෝ දැන සිටියහ. මේ නිසා යම් නැවක්‌ වෙයි නම් එය කුමන රටකට, කුමන ජාතියකට අයත් දැයි දුර තියා හඳුනා ගැනීමට හැකි විය. බෞද්ධයන්ගේ ත්‍රිපිටක පාළියෙහිද කොඩි පිළිබඳව සඳහන් වෙයි. ධජග්ග පිරිතේ සඳහන් වන ආකාරයට දෙවියනට ද ඒ ඒ දෙවියන් හඳුනාගැනීමට ධජයක්‌ හෙවත් කොඩියක්‌ තිබුණු බවත් දක්‌නට ඇත. අප රටවාසීන් අදහන දෙවි දේවතාවුනට ද තම තමන්ගේ සංකේත දැක්‌වෙන කොඩි ඇති බවට රැපියෙල් තෙන්නකෝනුන්ගේ පැදි පෙළක එන මගෙ කුකුලා නැසු එකා දදය ඔබගෙ පාලු යකා ආදී වූ පද්‍ය පාදයෙන් හෙළිවේ. මේ ආදී කරුණු අනුව සිතන විට යම් පුද්ගලයෙක්‌, යම් කිසි පෙදෙසක්‌ යම් පිරිසක්‌ හඳුනා ගැනීමට කොඩිය එක්‌ ආකාරයකින් සරළ සංකේතයක්‌ වන බව කිය හැකිය.

ආදියේ පටන් සිංහලයන් ද ඔවුන් හඳුන්වා දීමේ සංකේතය ලෙස කොඩියක්‌ භාවිතයට ගෙන ඇත. රංගිරි දඹුලු විහාරයට පිවිසෙන ඕනෑම අයෙකුට එහි සිවිලිම් චිත්‍ර අතර වූ සිංහ කොඩියක්‌ දැක ගන්නට හැකිය. දුටුගැමුණු මහ රජු එළාර සමග සටනට සිය පිරිස ගෙන නික්‌ම යද්දී ඉදිරියෙන් ගෙන ගිය උදාර සංකේතය වු ජයග්‍රාහී සිංහ කොඩිය අපරාජිත සලකුණ කඩුව අතින්ගත් සිංහයාද හිරුසඳු ද සහිත වූ සිංහලයන් සතුව පැවති නියම සිංහ කොඩිය අදටත් එහි දෘෂ්‍යමානව පවතී. සිංහලේ ඒ ඒ සාවන් සඳහා එනම් සත් කෝරලය, සතරකෝරලය, ඌව බින්තැන්න ආදී වූ පාලන ප්‍රදේශ සඳහා කොඩි භාවිතයට ගෙන ඇත. මෙකලද පළාත් සභා බල ප්‍රදේශ සංකේතවත් කෙරෙන විවිධ කොඩි භාවිතයෙහි ඇත.

බල තණ්‌හාවෙන් උමතු වූ උඩරට ඇතැම් රදල පිරිස්‌ මේ රට බ්‍රිතාන්‍යයන්ට යටත් කොට පාවා දුන් උඩරට ගිවිසුම ගැසූ දා මහනුවර මඟුල් මඩුව අබියස කොඩිගස මත රඳවා තිබුණු ඉංග්‍රීසි කතිර කොඩිය ඇද බිම දමා එය මත සිට යළි සිංහ කොඩිය ඔසවාලන්නට එදා සිටි එක්‌ අභීත සිංහලයකුට ප්‍රබල ආත්ම ශක්‌තියක්‌ තිබුණි. සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්‌වා ආ ඒ අනුහස්‌ සහිත සිංහ කොඩියේ ගැමුණු සමයේ තිබුණු හිරු, සඳු ගැලවී ගොස්‌ තිබුණද කඩුව අතට ගත් සිංහයා හැර වෙන කිසිදු සලකුණක්‌ එහි නොවීය. අද වන විට ඒ ජාතික කොඩිය තවත් වෙනස්‌කම්වලට භාජන වී ඇති බවකි.

"සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා" යන උපහාසය දනවන කියමනක්‌ මෙරට වෙසෙන අන්‍ය ජාතිකයන් අතර පවතී. එය සැබෑ කරවමින් සුළුතරයේ හොඳහිත හා සහයෝගය දිනා ගැනීමේ අභිප්‍රායයෙන් බහුතරය වූ සිංහලයෝ අනන්ත කැප කිරීම් කරති. අතීතයේ ගෙරි සමක්‌ එලා ගන්නා තරම් කුඩා බිම් කඩක්‌ සිංහලේ රජුගෙන් ඉල්ලා සිටි පරදේශක්‌කාරයන් ඒ අවසරයෙන් ගෙරි සම කුඩා තීරුවලට කපා එකට එක ගැට ගසා බිම එලා විශාල ප්‍රදේශයක්‌ අත්පත් කරගත් සැටි අප අමතක නොකළ යුතුය.

පසුගියදා අල්ලස්‌ කොමිෂන් සභාව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී එහි රැස්‌ව සිටි පිරිස අත විකෘති කළ ජාතික කොඩියක්‌ තිබුණු බවක්‌ ප්‍රවෘත්ති පත්‍රවල පළවී තිබුණි. මෙම කාරණාව පසුගිය දිනවල දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය විය. උද්ඝෝෂකයන් අතරට පිටතින් ආ කුමන්ත්‍රණකාරී කිහිප දෙනෙක්‌ විකෘති කළ ජාතික කොඩි ගෙන පැමිණ ඇති බවත් එබඳු කොඩි තමන් අතටද ලැබුණ බවත් ඒවා සැබෑ ජාතික කොඩිම දැයි විමසීමකින් තොරව තම අතට ගත් බවත් උද්ඝෝෂණයට පැමිණ සිටි ඇතැම් නායකයන් කියා තිබුණි.

අදහස්‌ ප්‍රකාශ කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහස මෙරට තවමත් පවතින බැවින්ද ජනතාවට අහිතකර නොවන මත ප්‍රකාශනයට අවහිර නැතැයි සිතන බැවින්ද එබඳු මත ප්‍රකාශ හරහා සමාජ ප්‍රගමණයටද යම් පිටිවහලක්‌ වේව යෑයි සිතන බැවින්ද සිංහලය ගැනත් සිංහකොඩිය ගැනත් යමක්‌ කිය යුතුව ඇත. 2015.05.25 දින "දිවයින" පුවත්පතේ එක්‌ තැනක වත්මන් අධිකරණ අමාත්‍යවරයා මේ රට සිංහලයන්ගේ කියා කොතැනද තිබෙන්නේ කියා ප්‍රශ්න කර තිබුණි. සැබෑවකි. සිව්හෙළයන් සතුව අනාදිමත් කලක සිට පැවති සිංහලය දැන් සිව්හෙළයන්ගෙන් සිංහලයන්ගෙන් දුරස්‌ වෙමින් ඇත. ශ්‍රී ලංකාව නමැති මගී රියේ දැන් අප ගමන් කරන්නේ පාපුවරුවේය. මුලදී ඔළුව පමණක්‌ කූඩාරමට රිංගවාගත් ඔටුවා දැන් කඳම රිංගවා ගන්නට උත්සාහ දරයි. කූඩාරම මහන්සියෙන් අටවා ගත් ස්‌වාමියාට සිදු වන්නේ එළියට වී තෙමී නහින්නටය. පා පුරුවේ යන අපේ පශ්චාත් භාගයට ඇතුළට රිංගනවූන්ගෙන් වදින පා පහරින් එළියට විසි වුවහොත් මේ රට සිංහලයන්ගේ කියා කොහෙද තිබෙන්නේ යන ඇමැතිතුමාගේ ප්‍රශ්න කිරීම අදට වඩා එදාට යෝග්‍ය වනු ඇත. එක්‌ දෙයක්‌ කිය යුතුය. එදාට නම් සිංහලයන් වෙසෙන සිංහලයන්ගේ සිංහල දේශය ලෝක සිතියමෙන් සඳහටම මැකී යනු ඒකාන්තය. උතුරු නැගෙනහිර සිංහල අයිතිය යන්තමින් වත් ප්‍රකාශ වන පුරාවිද්‍යාත්මක නටබුන් එකින් එක වනසන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මකය. විල්පත්තු වන බිම එළි කරමින් අනවසර පදිංචි කරවීම් පිළිබඳව කතා බහක්‌ද පවතී. පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල හිමියන් මදුරුවන්ට ලේ දන් දෙමින් නිදිවරමින් කකුල් කෙඩෙත්තු වන තුරු ඇවිදිමින් කළ පර්යේෂණ හා ගවේෂණ මානසික රෝගියකුගේ පිස්‌සු විකාර වැඩක්‌ වනු ඇත.

සිංහලයන්ගේ ආනුභාව සම්පන්න සිංහකොඩියට තිබුණු ස්‌වරූපය දැන් විකෘති වී ඇත.මෙ රට වසන සුළු ජන පිරිස්‌ සතුටු කිරීමේ චේතනාවෙන් අපේම නායකයෝ අපේ සිංහකොඩියට කොළ සහ තැඹිලි වර්ණ තීරු එක්‌කාසු කළහ. 

අපි වෙමු එක මවකගේ දරුවෝ එක නිවසෙහි වෙසෙනා යෑයි වැඩිමලා කියතත් බාල සහෝදරයෝ එය කනකට නොගනිති. සිය මව ගැන තැකීමක්‌ නැති ඔවුහු ඇගේ දේපළ බෙදා ගන්නට පොර අල්ලති.

ජාත්‍යන්තර කටයුතුවලදී අද තිබෙන ජාතික කොඩිය යොදා ගැනීමේ වරදක්‌ අපි නොදකිමු. එසේ කීමට සිදුව ඇත්තේද සිදු වූ දේ සිදු වී හමාර බැවිනි. දැන් එය ආපසු ගත නොහැක. ගිය දේ ඇතුන් ලවාවත් ඇදගත නොහැකියෑයි කියමනක්‌ ඇත. මේ රටේ මහා සංස්‌කෘතිය බිහි කළෝ සිංහලයෝය. බැහැරින් ආවෝ මෙරටට ඇල්ම කළහ. එදා සිට අද දක්‌වාම අපි ඔවුන් සෙනෙහසින් පිළිගත්තෙමු.

අද සිංහ කොඩියේ සුළු ජාතීන් සඳහා වෙන් වූ තීරු රහිත කොඩියක්‌ අත දැරීම දඬුවම් ලැබිය හැකි පාපයකි. සියලු ශ්‍රී ලාංකිකයින් නියෝජනය කරන ජාතික කොඩිය තිබේන අතරම සිංහලයා නියෝජනය වන සිංහ කොඩියක්‌ තිබීමෙහි ඇති වරද කුමක්‌ද?

බෞද්ධ සංකේතයක්‌ වූ බෝපත් සතර සහ කඩුව අතට ගත් සිංහයා සටහන් වු කොඩිය සිංහලයන් නියෝජනය වන කොඩිය සේ යොදාගැනීමට සිංහලයනට අයිතියක්‌ දැන් නැත. හරිනම් එම කොඩියට ඉර හඳ තිබෙන තුරාවට ම මේ රට සිංහලුන්ගේ ය යන්න තහවුරු වන සේ ගැමුණු රජුගේ කොඩියේ වූ ඉර හා සඳ ද ඇතුළත් විය යුතුය. යටත් විජිත පාලනයෙන් නිදහස්‌ වී ස්‌වයං පාලනයකට පිය එසවූ අප රටට සුද්දන් ආපසු දුන් අපේ ජාතික කොඩිය අද දක්‌වා ඒ අයුරින් රැක ගත නොහැකි වීම කොතරම් අභාග්‍යයක්‌ද?

ජාතික කොඩිය ගැන මෙහි දක්‌වන මත ප්‍රකාශනය බොහෝ විට ජාතිවාදය ඇවිස්‌සීමක්‌ ලෙස කෙනෙකුට සිතෙන්නට බැරි නැත. වඳ පීදී යන සිංහල ජාතිකත්වය එයින් මුදා ගැනීමට ආනන්ද රාජකරුණා, ටිබැට්‌ ජාතික එස්‌. මහින්ද, ඡේ. පීටර් පෙරේරා ආදී කවීන්ගේ ළමා කවි, ගී යළි මුද්‍රණය කර පාසල් දරුවන් අතට පත් කළ යුතුව ඇත. 

මේ විශිෂ්ඨයන් ලියූ කව් අද සිටින කවියකු ලියුව හොත් ඔහු ජාතිවාදය අවුස්‌සන්නකු ලෙස සලකා අත්අඩංගුවට ගන්නවාට සැක නැත. කොඩිය කොඩි විනයක්‌ කර නොගෙන රටේත් ජාතියේත් යහ පැවැත්මට යොදා ගැනීම වත්මන් පාලක පිරිසේ වගකීමකි.

ඩී. ඒ. ටී. බී. දේවසිංහ
http://www.divaina.com/2015/06/12/feature.html

Pic Source

1 comments:

ධමිමික ස‍‍දරුවන් said...

පැහැදිලිවම වර්ථමාන ඊනියා විග්‍රහයට අනූව මේ ලිපිය ජාති වාදය අවුලන්නක්.නමුත් කතාව මාත් එක හෙලාම පිළිගන්නවා.වර්ථමාන පාලනයේ බහු ජාතියට හිමි තැන අහුරමින් සුළු ජාතින් ඉදරියට ගැනීමක් මැනැවින් පේනවා.