Pages

Wednesday, June 3, 2015

දන්සල්වලින්ද, පිංකම්වලින්ද පිරීගිය අනුරපුර මිහිඳු දවස

පොසොන් පෝදා හෙවත් "මිහිඳු දවස" සමස්‌ත බෞද්ධ ජනතාව දහම් ගත විය යුතු සිල්වත් විය යුතු වසරේ උතුම්ම දවසයි. සම්බුද්ධ ශාසනයේ ආශිර්වාදය, දර්ශනය හා බෞද්ධ ශිෂ්ඨාචාරය රට පුරා පැතිරුණු අති උතුම් දවස ලෙස "මිහිඳු දවස" අප සලකනු ලැබේ. රාවණා යුගයේ සිට පැවත එන "සූර්ය මංගල්‍යය" මෙන් මිහිඳු යුගයේ සිට පැවත එන බුද්ධාගම හා බෞද්ධ සංස්‌කෘතිය සරණ ගිය බෞද්ධ ජනතාවට අවුරුද්දේ උතුම්ම දිනය ලෙස සැලකිය හැක්‌කේ මිහිඳු දවසයි.

වසර පුරා පැවැත්වෙන සුවිශේෂ කරුණුවලදී එම කරුණට අදාළව වසරේ දිනයක වෙන්කර ඇති පරිද්දෙන්ම බෞද්ධයන්ට සුවිශේෂ වූ පොසොන් දිනය "මිහිඳු දිනය" ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කිරීම සම්බුද්ධ ධර්මයට ද මිහිඳු මාහිමිපාණන්ට ද බෞද්ධ ජනතාවට ද කෙරන රාජ්‍ය ගෞරවය වන්නේය. බොහෝ දරුවන් දිවංගත මවුපියන් සිහිපත් කොට වසරකට වරක්‌ "මව්පිය වන්දනාව" පවත්වන පරිද්දෙන්ම සම්බුද්ධ ධර්මය හා මිහිඳු මාහිමිපාණන් සිහිපත්කොට පොසොන්දාට හෙවත් "මිහිඳු දවස" ට පෙහෙවස්‌ සමාදන් වීමෙන් ද ආගමානුගත වීමෙන් ද සිය දුවා දරුවන්ට සම්බුද්ධ ධර්මය කියාදීමෙන්ද, මිහිඳු අගය කියාදීමෙන් ද දරුවන් ධර්මානුගත කිරීමේ පින්කම් කටයුතු ඉටුකරමින් දුවා දරුවන් බුද්ධ ධර්මයට අනුගත කිරීම හා පෙළගැස්‌වීම ඉතාම වැදගත් වේ. මේ අන්දමට සමස්‌ත බෞද්ධ ජනතාව "මිහිඳු දවස" තුළ කටයුතු කරන්නේ නම් අදට වඩා හොඳ තරුණ බෞද්ධ පරපුරක්‌ හෙට දවසේ අපට දකින්නට ලැබෙනු ඇත.

"මිනිසාට උපකාර කිරීම මිනිසාගේ පරම පිවිතුරු ගුණය බව" සම්බුදු පියාණන් වහන්සේ ලොවට පැහැදිලි කර දී ඇත. 

බෞද්ධ දර්ශනයයි. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා ලංකාවේ අනගාරික ධර්මපාලතුමා සහ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ද මේ උතුම් බුදු ගුණය නිතර නිතර ජනතාවට සිහිපත් කරදී ඇත. අපේ රටේ සෙසු නායක කාරකාදීන් ද මේ සම්බුදු දහම අනුකරණය කරන්නේ නම් අපේ රට මුළු මහත් ලෝකය තුළම විනීත, සදාචාරානුගත දැහැමි මිනිසුන් වෙසෙන බෞද්ධ රාජ්‍යයක්‌ ලෙස සම්මානයට පාත්‍ර වනු ඇත. මිනිසාට උපකාර කිරීම මිනිසාගේ පරම යුතුකම යෑයි බෞද්ධ දර්ශනයෙන් උගත් පාඩම අදටත් බොහෝ බෞද්ධයෝ අනුකරණය කරති.

මිහිඳු දවසේදී දිවයිනේ හතර දිග්බාගයෙන් අනුරපුරට හා මිහින්තලේට පැමිණ දන්සල් ආදිය පවත්වමින් දාන මානයෙහි යෙදෙන්නේ අපේ උතුම් බුදු බණට අනුගතවීමෙනි. මෙවර මිහිඳු දවස තුළ මිහින්තලේ ද අනුරපුරයේදී ද දන්සල් සියයකට වැඩි ප්‍රමාණයක්‌ පැවැත්වෙන බව වාර්තා වී ඇත. සංවරයෙන් හා ආචාරශීලීව පවත්වනු ලබන දන්සල්වලට ඊට දායක වන බෞද්ධ ජනතාව හදවතින්ම පිං පමුණුවනු නිසැකය. දිය කලගෙඩි 99 ක්‌ ඇද සියවැනි කලය බිඳ නොගැනීමට දන්සල් පවත්වන සැදැහැවතුන් සැලකිලිමත් විය යුතුය.

අනුරපුර පිංබිමේ පිහිටි අටමස්‌ථානය ඇතුළු සියලු වෙහෙර විහාර ද මිහින්තලේ වෙහෙර විහාර ද බෞද්ධ ජනතාවට පිංකම් කර ගැනීමට විවෘතව පවතී. විශේෂයෙන් අටමස්‌ථානයට ඇතුළු වන දොරටුව ලෙස සැලකිය හැකි ජයන්ති මාවතට යාව ජයන්ති විහාරය පිහිටුවා ඇත. විශේෂයෙන් මිහිඳු සතිය තුළ මිහින්තලේ රාජමහා විහාරස්‌ථානයේ සර්වඥ ධාතු මුල්කොට "මිහිඳු ධාතු" ප්‍රදර්ශනයක්‌ ද පැවැත්වීමට විහාරාධිපති හිමියන් කටයුතු කර ඇත.

පසුකාලීනව "අභයගිරි" මහ සෑරදුන් ඉදිකළ චෝල ආක්‍රමණය නිසා සිය බිසව "සෝමා දේවිය" සමඟ පලායමින් සිටි වට්‌ටගාමිණී අභය රජු ලංකාරාම පෙදෙසේදී සෝමා දේවියට නවතින්නට සලස්‌වා පලාගොස්‌ නැවත චතුරාංග සේනාව එක්‌රැස්‌ කරගෙන චෝලයන් පළවාහැර "මහ කළු සිංහලයා පලා යනවා" යෑයි තමන්ට සමච්චල් කළ "ගිරි" නම් වූ නිගන්ඨයාගේ නම ද සිය නාමය ද ගොනුකොට "අභයගිරි" මහ සෑරදුන් ඉදිකිරීමෙන් ඉක්‌බිතිව සෝමාදේවිය විසූ තැන ලංකාරාමය ද පිහිටුවා ඇත. ලංකාවේ ඉපැරණි චෛත්‍යය වූ ථූපාරාමය ද, දුටුගැමුණු රජතුමන් ඉදිකළ රුවන්මැලි සෑ රදුන්ද, එතුමා විසින්ම ඉදිකළ මිරිසවැටිය සෑ රදුන්ද, අභයගිරි සෑ රදුන්ද, ලංකාරාම සෑ රදුන් ද ඡේතවනාරාම සෑ රදුන් ද අනුරපුර පිංබිමේදී වැඳ පුදා ගැනීමට පුළුවන. එසේම මෑතකදී පැවති යුද්ධයෙන් මියගිය මිතුරු පසමිතුරු සියලු රණවිරුවන්ට පිං පමුණුවමින් "සඳහිරු සෑය" දැන් ඉදිවෙමින් පවතී. මෙම පූජනීය සෑ රජුන් වහන්සේ තුළ ද සර්වඥ ධාතූන් තැන්පත් කර ඇති හෙයින් මෙම නව දාගැබ් වශයෙන් ද වැඳ පුදා ගැනීමට පුළුවන. 

මෙවර මිහිඳු සතියේදී අනුරපුර හා මිහින්තලේ පුණ්‍ය භූමිවලට සැදැහැවත් බෞද්ධ ජනතාව හාරලක්‍ෂයක්‌ පමණ පැමිණෙනු ඇතැයි අනුමත කර තිබේ. ඒ කාලපරිච්ඡේදයන් තුළ වැඩිම ජනාකීර්ණත්වයක්‌ එක්‌රැස්‌ වන්නේ අනුරාධපුරය, බුද්ධාලම්බන ප්‍රීතියෙන් සැදැහැ සිතින් එන මේ මහා ජනගංගාව පිළිගැනීමට ඔවුන්ට ආරක්‍ෂාව ලබාදීමට, ආහාරපාන හිඟයකින් තොරව ලබාගැනීමට සෞඛ්‍ය පහසුකම් සලසා දීමට අනුරපුර නව දිසාපති කුමාරසිරි මහතා ඇතුළු මිහිඳු උපසත්කාරක මණ්‌ඩලය පියවර ගෙන තිබේ.

අනුරපුර පිං බිමට එන ජනතාව දැනුවත් කිරීම සඳහා කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව තිබේ. තමන්ට නිදහස ඇති නිසාම වෛවාරණ ඇඳුම් පැළඳුම්, අඩ නිරුවත් ඇඳුම් ඇඳ පැළඳගෙන, මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ විසූ අනුරපුර පිං බිමට නොපැමිණීමට කවුරු කවුරුත් සැලකිලිමත් විය යුතුව තිබේ. ඇඟ පුරා වැසී යන සුදු ඇඳුම් ඇඳගෙන විහාර දොරටුවෙන් ඇතුළුවන්නේ නම් ඔවුන් සම්බුද්ධ ධර්මයට හා මිහිඳු මාහිමිපාණන්ට ගරු බුහුමන් කළා වන්නේය. සිල්වත් බව, සදාචාරශීලී බව, විනීතබව සිය හැසිරීම් තුළින් ගලා යන්නේ නම් එය ද සම්බුද්ධ හිමිපාණන්ට ගරු කළා වන්නේය.

මේ දිනවල පැවැති අධික වර්ෂාව නිසා තිසාවැව, නුවරවැව, මල්වතු ඔය අතුළු වැව (කුම්බිච්චකුලම්) ලෝකයේ ප්‍රථම වාපිය වූ අභයවැව ආදිය උතුරා යමින් පවතී. "දියේ ගැඹුර නොදැන දියට පනින්න එපා" යෑයි ද පනින්නට පෙර සිතා බලන්න යෑයි ද විශේෂයෙන් නව යොවුන් වියේ ගැටවර පරපුරෙන් ඉල්ලා සිටීමට කැමතිය. විශේෂයෙන් අනුරපුර වැව් හඳුනාගත් පොලිසිය සහ හමුදාව සුරක්‍ෂිතව ස්‌නානය කළ හැකි තැන් දැන්වීම් පුවරු පිහිටුවා ප්‍රදර්ශනය කර ඇත. මෙම සුරක්‍ෂිත ස්‌ථානවලදී වුවත් විශේෂයෙන් ගැටවර වියේ දරුවන් පරිස්‌සම් වීම වටී.

විශේෂයෙන් තවත් අවධාරණය කළයුතු කරුණක්‌ වන්නේ තමන් ගෙන එන සිලි සිලි බෑග්, පොලිතින් බෑග්, ප්ලාස්‌ටික්‌ බඳුන් ආදිය අනුරපුර පිංබිමේ කොතැනකවත් නොදැමීමට සැලකිලිමත් වීමයි. අපේ දේශීය නිෂ්පාදනයක්‌ වූ පැදුරු, හුනු මළු, මාගල් ආදිය අතහැර දමා යන්නේ නැත. එපරිද්දෙන්ම ඵලක්‌ නොවුවත් තමා රැගෙන එන සිලි සිලි බෑග් ආදිය ආපසු රැගෙන ගොස්‌ පිංබිමෙන් පිටතට දමන ලෙස හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු. මිහිඳු සතිය පටන් ගැනීමට පෙර පින්බිම මුළුමනින් ශුද්ධ පවිත්‍ර කර ඇත. බෞද්ධ ජනතාව පිංබිමෙන් පිටවී ගිය පසුත් පිංබිමේ ශුද්ධ පවිත්‍රතාව රැකෙන පරිදි කටයුතු කිරීම බෞද්ධ ජනතාවගේ යුතුකමකි.

පණ්‌ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි, උතුර, උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක | සාකච්ඡා සටහන - එප්පාවල, රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/06/02/news34.html

Pic Source

0 comments: