Pages

Tuesday, June 9, 2015

පරිත්‍යාගශීලී ජනතාව සිටින රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වන තැනට

ලෝකයේ පරිත්‍යාගශීලී ජනතාව සිටින රටවල් අතර ශ්‍රී ලංකාව සිව්වන ස්‌ථානය ලබාගෙන ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විඡේසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ බෞද්ධ සංගමය මගින් මහරගම පිළිකා රෝහල සඳහා වාර්ෂිකව ලබාදෙනු ලබන ප්‍රදානයන් ලබාදීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.

එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ බෞද්ධ සංගමය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සඳහා අමතර කොටස්‌, අත්වැසුම් 17000 ක්‌, වියළි ආහාර, සබන්, දත් බෙහෙත්, සෙල්ලම් බඩු ආදී භාණ්‌ඩ රැසක්‌ ප්‍රදානය කළේය.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය විඡේසූරිය මහතා ශ්‍රී ලංකාවේ ජනතාව සැබෑ වාසනාවන්ත ජනතාවක්‌ බවත් පිළිකා සඳහා ඖෂධ නිපදවන එක්‌සත් රාජධානිය, ඉන්දියාව වැනි රටවල්වත් නොමිලේ ප්‍රතිකාර නොකරන බව පැවැසීය. මෙරට පියයුරු පිළිකා සඳහා ලබා දෙන එන්නත් වෙනුවෙන් පමණක්‌ එක්‌ රෝගියෙකුට රු.ලක්‍ෂ 45 ක්‌ රජය වැය කරයි. මේ සා විශාල මුදලක්‌ රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් රජය වැය කරන බව ජනතාව දැන ගත යුතුය. එසේම රෝග ඇති වීමට හේතු සහ ඉන් මිදීමට ජනතාව ආයතන මට්‌ටමෙන් දැනුවත් කිරීමද සිදුකළ යුතු බවද වෛද්‍ය විඡේසූරිය මහතා අවධාරණය කළේය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ මානව සම්පත් අධ්‍යක්‍ෂ රංජිත් කරුණාරත්න මහතා බෞද්ධ සංගමයේ අරමුණ වඩාත් යහපත් සේවාවක්‌ සිදුකිරීම බවත් ඒ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ සියලුම සේවක සේවිකාවන් ඒ සඳහා කැපවන බවත් පැවැසීය.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටස්‌කරුවකු වන ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය ඒ සඳහා පමණක්‌ සීමා නොවී හැකි පමණින් සමාජ සත්කාර සේවාවන් සඳහා යොමුවී සිටී. මෙරට ආයෝජන කලාප තුළ ලක්‍ෂ 5 ක පමණ ශ්‍රම බළකායක්‌ සේවයේ යෙදේ. මින් වැඩි ප්‍රමාණයක්‌ කාන්තාවන්ය. ඒ අනුව ඉදිරියේදී කර්මාන්තකරුවන් හා එක්‌වී මෙම දිරිය කාන්තාවන් ලෙඩ රෝග ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්‌ ආරම්භ කරන බවද කරුණාරත්න මහතා කීය. ඉදිරියේදීත් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය බෞද්ධ සංගමය පිළිකා රෝහලේ පරිපාලනය සමඟ සාකච්ඡා කර රෝහලට අවශ්‍ය දැ සැපයීමට ක්‍රියාකරන බවත් ආහාර වේලකින් ඔබ්බට ගිය රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ වැනි දැ සැපයීමට අවදානය යොමු කරන බවත් පැවැසීය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2015/06/08/news12.html

0 comments: