Pages

Wednesday, June 3, 2015

නූතන සඟ පරපුරේ පරමාදර්ශී චරිතය වූ සෝභිත හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය රටේ යුග පෙරළියක්‌ කරන්න සමත් වුණා - මෛත්‍රී

නූතන සඟ පරපුරේ පරමාදර්ශී චරිතය බඳු මාදුළුවාවේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය රටේ යුග පෙරළියක්‌ කරන්න සමත් වුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසීය.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ 73 වන ජන්ම දිනය වෙනුවෙන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති "ඉසිවර මනසක තුන්කල් දැක්‌ම" උත්සව අවස්‌ථාවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී සෝභිත ස්‌වාමීන් වහන්සේ විසින් සකස්‌ කරන ලද දස වැදැරුම් යෝජනාවලිය සමාජගත කෙරුණු අතර තරිඳු තොටවත්ත සහ අමිල ලොකු බණ්‌ඩාර විසින් මාදුළුවාවේ සෝභිත හිමිගේ චරිතය ආශ්‍රයෙන් රචනා කරන ලද වාදීභසිංහයාණෝ ග්‍රන්ථයද එළිදැක්‌විණි. එසේම සිසිර ජයමහ රචනා කළ තැටිය රත් කළ හැටි නම් ග්‍රන්ථයද එහිදී එළිදැක්‌වූවේය.

අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඥණිස්‌සර ස්‌වාමීන් වහන්සේ විසින් රැස්‌ව සිටි පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් පසු ඉසිවර මනසක තුන්කල් දැක්‌ම වැඩසටහන ආරම්භ විය.

එහිදී තවදුරටත් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

මුළු මහත් රටේම ගෞරවාදරයට ලක්‌වූ ස්‌වාමීන් වහන්සේ නමක්‌ වන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනය වන අද උන්වහන්සේට අප මෙසේ උපහාර දක්‌වනවා.

උන්වහන්සේ ගැන අප සැම කතා කරන්නේ භක්‌තියෙන්, ගෞරවයෙන්. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය රටේ යුග පෙරළියක්‌ සිදු කරන්න දායක වුණා. යුද්ධය පැවැති කාලයේ සෑම ප්‍රදේශයකම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර උන්වහන්සේ සංචාරය කළා. එල්ටීටීඊ ප්‍රහාරයන්ට හසුවූ ගම්වල සතර දිග් භාගයේම වැඩම කරමින් ඔවුන්ගේ ප්‍රශ්න සොයා බැලුවා. ඔවුන්ගේ දුක්‌ දොම්නස්‌ ඇහුවා. ඒ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නා.

උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම රටට අවශ්‍ය සමාජ හා දේශපාලන පරිවර්තනය සිදු කළා. ජීවිත තර්ජන, පහත් විදිහේ අපහාස උපහාස ඒ ගමනේදී උන් වහන්සේට විඳින්න සිදුවූවා. ඒ සියල්ල පසෙක ලා රටට අවශ්‍ය සැබෑ පරිවර්තනය සිදු කරන්න දායක වුණා. මහ යතිවරයන් වහන්සේලා අතීතයේ පටන් රට දැය වෙනුවෙන් සටන් කළ අයුරින් පසුගිය දශක දෙකක කාලය තුළ සෝභිත හිමියන් පුළුල් කැපවීමක්‌ කළා. සියයට සියයක්‌ නොව යම් මට්‌ටමකින් හෝ උන්වහන්සේගේ එම කැප කිරීම්වලට ප්‍රතිඵල ලැබුණා. උන්වහන්සේගෙන් රටට ජනතාවට ලැබුණු පරිත්‍යාගශීලී ගෞරවනීය කැප කිරීම ඉදිරි කාලය තුළත් අපට ලැබෙන බව විශ්වාසයි. උන්වහන්සේට ඒ සඳහා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

පවතින දේශපාලන වාතාවරණය මත මෙවැනි දස වැදැරුම් යෝජනාවලියක්‌ ඉදිරිපත් කිරීම ගැන සතුටට පත් වෙනවා. බලයට පත්වෙන අය බලයට පත් කළ අය අමතක කර තමන්ට රිසි පරිදි හැසිරෙන ඉතිහාසයක්‌ රටේ තිබුණා. පුරවැසි බලය, සිවිල් සංවිධාන ඇතුළු පක්‍ෂ 49 ක්‌ ඒ රටේ යුග පෙරළියකට දායක වුණා. ඒ බලාපොරොත්තු වුණු අරමුණු ඉෂ්ට කර ගැනීමට මෙවැනි යෝජනාවලියක්‌ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුම යෝජනා ලෙස මමත් පැහැදිලිව පිළිගන්නවා. ඒ වෙනුවෙන් මට කළ හැකි කැප කිරීම මා උපරිම ආකාරයෙන් කරනවා.

ඉතාම උතුම් අවස්‌ථාවක්‌ ලෙස මම මේ අවස්‌ථාව දකිනවා. 73 වන ජන්ම දිනය සමරන උන්වහන්සේගේ චරිතය තරුණ භික්‍ෂූන් වහන්සේලාටත් ආදර්ශයක්‌. සංස්‌කෘතික ආර්ථික හා සමාජීය අංශයෙන් භික්‍ෂූන් වහන්සේලාට මේ චරිතයෙන් ගත හැකි දේ බොහෝමයි. සැබවින්ම මාදුළුවාවේ සෝභිත ස්‌වාමීන් වහන්සේ නූතන සංඝ පරපුරට පරමාදර්ශී චරිතයක්‌.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනය අදයි. උන්වහන්සේ උණ්‌ඩ වෙනුවට වචනයෙන් වාදකරලා විශේෂ ජයග්‍රහණයක්‌ ලබාගෙන තියෙනවා. දශක කිහිපයක්‌ විවිධ කාරණා පිළිබඳව උන්වහන්සේ කතා කළා. වාද විවාද සාකච්ඡා තුළින් වෙඩි උණ්‌ඩ පරයා නැගී සිටියා. තුවක්‌කුවට, බෝම්බයට කළ නොහැකි දේ උන්වහන්සේ බුද්ධ ධර්මයෙන් ඉටු කළා. සෝභිත ස්‌වාමීන් වහන්සේ රට, ජාතිය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආදරයෙන් කතා කළා. තැටිය රත්කළ හැටි නම් පොතක්‌ අද එළිදැක්‌වූවා. මේ තැටිය රත් කරන්න සෑහෙන කාලයක්‌ ගත වුණා. රට සහ ජනතාව යම් තැනකට ගේන්න මාදුළුවාවේ සෝභිත ස්‌වාමීන් වහන්සේ ඉටු කළ කාර්යය අපමණයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, ස්‌වාධීන කොමිසම සභා ගෙන ඒමට මෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල අඩු කර ගැනීමේ සටන්වලට උන්වහන්සේ සම්බන්ධ වූවා. 2014 දී එහි ප්‍රතිඵලය ළඟා කර ගැනීමට හැකි වුණා.

චන්ද්‍රිකා මහත්මිය, මෛත්‍රීපාල මහතාත් සහ මාත් සමග උන්වහන්සේ එම සටන ගෙන ගියා. ඡන්දය කළා. ජනතාව ඒ හඬට සවන්දී මෛත්‍රීපාල මහතාව ජනාධිපති ධුරයට පත් කළා. මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ සටනට සම්බන්ධ වුණේ අසමාන කැප කිරීමකින්. උන් වහන්සේගේ වචන මේ රටේ විශාල වෙනසක්‌ ඇති වෙන්න තුඩු දුන්නා. උන් වහන්සේ නොසිටියා නම් ඒ වෙනස ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේගේ හඬට බලයක්‌ ආකර්ෂණයක්‌ විශ්වාසයක්‌ තිබුණා. ජනතාව ඒ හඬට අවනත වුණා. ඒ හඬ විශ්වාස කළා. තැටිය රත්වුණු වෙලාවේ රොටිය හදන්න නොයෙක්‌ පිරිස්‌ හිටියා. ඒ නිසා රොටිය එක එක ආකාරයට තමන්ට ඕන විදිහට පුච්චගන්න කට්‌ටිය උත්සාහ කළා.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මේ දස වැදැරුම් යෝජනාවලිය අපි පිළිගන්නවා. අද එහි ආරම්භයක අපි ඉන්නවා. විප්ලවයක්‌ ඇති කරා වගේම ප්‍රතිවිප්ලවයටත් මුහුණ දීමට අද අපට සිදුව තිබෙනවා. රාජපක්‍ෂ රෙජිමය අසීමිත වරප්‍රසාද වරදාන භුක්‌ති වින්දා. ඒ කණ්‌ඩායම නැවත උත්සාහ කරනවා ප්‍රතිවිප්ලවයක්‌ ඇති කරන්න. ඒ ප්‍රතිවිප්ලවයට ජනතාවගේ සහයක්‌ ඇතිව හිස ඔසවන්න ඉඩ නොදීමට අපි කටයුතු කළ යුතුයි. වරදාන වරප්‍රසාද භුක්‌ති විඳි කණ්‌ඩායමට ඒවා නැතිව ඉන්න බැහැ. දැන් ඔවුන් ප්‍රතිවිප්ලවයක්‌ කර ජන විඥනය වෙනස්‌ කර යළි බලයට එන්න හදනවා. මානසික වෙනසක්‌ ඇති කිරීමේ ප්‍රතිවිප්ලවය පරාජය කළ යුතුයි. එවැන්නක්‌ ඇති වීම සාමාන්‍යයි. විප්ලවයකින් පසු ප්‍රතිවිප්ලව ඇති වෙනවා. මානසික වෙනසක්‌ ඇති කර මේ ප්‍රති විප්ලවයට නැගිටින්න ඉඩ නොදෙමු.

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමි - 

මගේ 70 වැනි ජන්ම දිනයේ දී මා දැඩි ලෙස අධිෂ්ඨානයක්‌ ඇති කරගත්තා රටට හානි කරන, පාර්ලිමේන්තුව දුර්වල කරන, රාජ්‍ය පරිපාලන සේවය දුර්වල කරන විධායක ජනාධිපති ක්‍රමය මේ රටින් තුරන් කළ යුතු බවට. එදා 70 වැනි උපන්දිනයෙන් පටන් ගත් ඒ ගමනේ දී මා හැම දේශපාලනඥයෙක්‌ ළඟටම ගියා. මම තැටිය රත්කළා. අන්තිමේදී ජනවාරි 08 වැනිදා ඒ තැටියෙන් රොටිය රත්කළා. හැබැයි රොටිය හොඳටම පිච්චුණේ නැහැ. බාගෙට තමයි රොටිය පිච්චුණේ. 

රටේ රාජ්‍ය පරිපාලන සේවය මින්පසු විනාශ වෙන්නේ නැහැ. අධිකරණයට බලපෑම් එල්ල වෙන්නේ නැහැ. පොලිසිය ස්‌වාධීන වෙනවා. අල්ලස්‌ හෝ දූෂණ කොමිසමේ ෆයිල් හංගන්නෙ නැහැ.

හිතු හිතු වෙලාවට කේන්දරකාරයෝ කියන වෙලාවට පාර්ලිමේන්තුව විසුරුවන්න ලැබෙන්නේ නැහැ. ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට නියමිත කාලයක්‌ තිබෙනවා. මේ රට දේශපාලනීකරණයෙන් නිදහස්‌ කර අලුත් රටක්‌ හදන්න අපට හැකිවුණා. 

එදා තැටිය රත්වුණා වගේම දැන් තැටිය ආයෙත් නිවිලා. ඒ නිසා දැන් ආයෙත් තැටිය රත් කරන්න ඕනෑ. මන්ද තව රොටියක්‌ පුච්ච ගන්න තිබෙනවා. ඒ තමයි මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමේ රොටිය. 

මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම ඇතුළු පොරොන්දු තුනක්‌ මත ජනාධිපති බලයට පත්වුණා. මේ මැතිවරණ ක්‍රමය අන්ත දූෂිතයි. මන්ත්‍රීවරු අල්ලසට පගාවට යොමු කරනවා. මේ ක්‍රමය තුළ ආසනයට වගකියන මන්ත්‍රීවරයෙක්‌ නැහැ. එය වෙනස්‌ කිරීම අතිශය වැදගත් කාරණයක්‌. 

ඉදිරියේ මැතිවරණයක්‌ එන විට මැතිවරණයකදී ඕනෑම කෙනකුට ඡන්දය ඉල්ලන්න පුළුවන්. හැබැයි දේශපාලන පක්‌ෂ තේරුම් ගන්න ඕනෑ කාවද මැතිවරණයට ඉදිරිපත් කරන්නේ කියල. මිනීමරුවන්, ස්‌ත්‍රී දූෂකයෝ එතැනට පත්කරලා බෝධිසත්ත්ව ගුණ බලාපොරොත්තු වෙන්න බැහැ.

සමාජ පරිවර්තනයක්‌ අද රටට අවශ්‍යයි. මත්කුඩු බොන තරුණයෝ ලක්‍ෂයක්‌ පමණ රටේ ඉන්නවා. මේවා අපි නතර කළ යුතුයි. ඒ වගේම විදේශ රටවලට කාන්තාවන් ශ්‍රමිකයන් ලෙස යෑවීම ගැනත් කල්පනා කර බලන්න. පකිස්‌තානය, ඉන්දියාව වගේම ඉතියෝපියාවත් එය නතර කර තිබෙන්නේ. ඒ සඳහා රටේ අලුත් කර්මාන්ත ඇති කර විදේශගත වහල් මෙහෙය සඳහා කාන්තාවන් යෑවීම නතර කරමු. රැකීරක්‍ෂා ලැබෙන ක්‍රමවේදයක්‌ කරමු. දේශපාලන, ආර්ථික, සමාජ විප්ලවය සිදුකර අලුත් රටක්‌ හදමු. ජාතික ආණ්‌ඩුවක්‌ වෙලා අවුරුදු 5 ක්‌ හොඳ ලස්‌සන රටකට අපි පියවර තබමු.

කථිකාචාර්ය සරත් විඡේසූරිය මහතා - සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ සෝභිත හිමියන් ගසට පොත්ත මෙන් බැඳී පවතිනවා. විධායක හස්‌තයෙන් උන්වහන්සේගේ හඬ නතර කරන්න බැරි වුණා. උන්වහන්සේ කිසිම රාජ්‍ය නායකයකුගෙන් හෝ දේශපාලන පක්‍ෂයකින් පෞද්ගලික වාසි ලබා ගත්තෙ නැහැ. ආගමික සහජීවනය සම්බන්ධයෙන් උන්වහන්සේ පෙනී සිටියා. එදත් අදත් මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් පෙනී සිටියා. තාදී ගුණයෙන් හෙබි සැබෑ බෞද්ධ දෘෂ්ටියක්‌ උන්වහන්සේට තිබුණා. දස වැදෑරුම් යෝජනාවලිය උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ රටේත්, සමාජයේත් ඉදිරි ගමන වෙනුවෙනුයි. විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම මේ දස වැදැරුම් යෝජනාවලිය තුළත් අන්තර්ගතයි. දේශපාලන ව්‍යුහයේ සම්පූර්ණ ප්‍රතිසංස්‌කරණයක්‌ රටට අවශ්‍ය බව එහි දැක්‌වෙනව. මානව අයිතිවාසිකම්, නිදහස හා ශිෂ්ට සම්පන්න සමාජයක්‌ උදාකර දීමට මේ දස වැදෑරුම් යෝජනාවලිය මාර්ගෝපදේශනයක්‌ වගෙයි. රාජපක්‌ෂ පාලනය තුළ රටේ නීතිය වල් වැදුණ. බලයට පොරකන දේශපාලන පක්‍ෂ හමුවේ රටේ ශීලාචාර බව පස්‌සට ඇදී ගියා. බලය එක දේශපාලන පක්‍ෂයකට පමණක්‌ දීර්ඝකාලීනව නතු වීමත් උන්වහන්සේ බැහැර කළා. ශිෂ්ට සම්පන්න නායකයන් රටට අවශ්‍ය බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. 

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමි - තිස්‌ වසරක්‌ රටේ පැවැති යුද්ධය නිමා කිරීම සඳහා භික්‍ෂුන් වහන්සේලා නොයෙක්‌ ආකාරයෙන් දායක වුණා. ඒත් ඒ දායකත්වයට නිසි ඇගයීමක්‌ කවදාවත් ලැබුණේ නැහැ. ජාතික ව්‍යසනයක්‌ නතර කිරීමට කැපකිරීම් කළ භික්‍ෂුන් වහන්සේලා අතරින් ඉහළින්ම සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමියනුයි. ඒ වගේම උන්වහන්සේ තුන් නිකායේම ගෞරවයට ආදරයට පාත්‍ර වුණා. ඒත් සෝභිත හාමුදුරුවෝ කවදාවත් දේශපාලනය කරේ නැහැ. දේශපාලකයන්ගෙන් කිසිවක්‌ ලබා ගත්තේ නැහැ. වරද වරද ලෙස දුටුවම උන්වහන්සේට මෙවැනි උපහාරයක්‌ නොව ජාතියේම උපහාරයක්‌ පිරිනැමිය යුතුයි. 

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජික නීතිඥ රවී ජයවර්ධන මහතා ද මෙහිදී අදහස්‌ දැක්‌වීය. 

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, බෙල්ලන්විල විමලරතන, අනුනාහිමියන් ඇතුළු ස්‌වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නයද හින්දු 'ඉස්‌ලාම්' ක්‍රිස්‌තියානි පූජකවරුන්ද මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයන්ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරණතුංග මහත්මියද ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

කුෂාන් සුබසිංහ

0 comments: