Pages

Sunday, June 7, 2015

බුදු දහමට මඩ ගසමින් BBC ය ලංකාවෙන් පළිගනියි

ටයිම් සඟරාවේ හැනා බීච් මාධ්‍යවේදිනිය බුරුමයේ අශ්වින් විරාතු හිමිපාණෝ ත්‍රස්‌තවාදියකු ලෙස හංවඩු ගැසූ අයුරු අපි දැක්‌කෙමු. එහෙත් බෞද්ධයන් අතින් ටයිම් සඟරාවේ මාධ්‍යවේදීන් ඝාතනය වූයේ නැත. නමුත් මුස්‌ලිම් අන්තවාදී අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌තයන් අතින් නම් ඇමරිකානු මාධ්‍යවේදීන්ගේ බෙල්ල කැපෙන අයුරු ලොව පුරාම ප්‍රචාරය විය. අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය දැන් තම පාලනය පවතින ප්‍රදේශවල පරවියන් ඇති කිරීම පවා තහනම් කර ඇත්තේ ඒ මගින් මුස්‌ලිම් ආගමට නිග්‍රහයක්‌ වන බව පවසමිනි. මේ අතර පකිස්‌තානයේ මුස්‌ලිම් අන්තවාදී පක්‍ෂයක නායකයෙක්‌ පවසා තිබුණේ ලොව දරුණු භූමිකම්පා ඇතිවන්නේ ගැහැනුන් ඩෙනිම් කලිසම් අඳින නිසා බැවිනි. මෙවැනි අමනකථාවලට බටහිර මාධ්‍ය පිළිතුරු සපයන්නේ ද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. නමුත් මේ ඊනියා බටහිර මාධ්‍ය යළිත් බෞද්ධයන්ට පහරදීමට පටන් ගෙන ඇත.

The dark side of Buddhism නම් වැඩසටහන බී. බී. සී ගුවන්විදුලියේ විකාශය වූයේ ඉකුත් 31 වැනි ඉරිදා සවස 1.30 ටය. මොවුන් බුදුදහමේ අඳුරු පැත්ත ලෙස හුවා දක්‌වා තිබුණේ බොදු බලසේනා සංවිධානයයි. බොදු බල සේනාව ත්‍රස්‌ත සංවිධානයක්‌දැයි මෙහිදි ප්‍රශ්න කර තිබිණි.

එමෙන්ම බුරුමයේ අශ්වින් විරාතු හිමියන් ලංකාවට පැමිණීමත්, උන්වහන්සේගේ 969 සංවිධානයත් බොදුබල සේනාව අතර ඇති සමානකම් හුවා දක්‌වා තිබුණේ බුදුදහමේ අඳුරු පැතිකඩ ලෙසය. මෙම වැඩසටහන නිෂ්පාදනය කළ කොළඹ බී. බී. සී. වාර්තාකරු වන චාල්ස්‌ හාවිලෑන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ බොදු බල සේනාවේ ප්‍රධානි ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නීතිවිරෝධී පෙළපාලියක ගමන් කරන ලදැයි කියන චෝදනාවට අත්අඩංගුවට ගත්තත් ඇප මත නිදහස්‌ කිරීම මගින් රාජපක්‍ෂ ආණ්‌ඩුව මෙන්ම සිරිසේන පාලනය ද බොදු බල සේනාවට එරෙහිව කටයුතු නොකරන්නේ යෑයි හැඟී යන බවයි.

බුරුමයේ මෙන්ම ශ්‍රී ලංකාවේද මතු වී ඇති බෞද්ධ ජාතිකවාදය බටහිර මාධ්‍යයන්ට බරපතල ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනේ. එසේ නොවන්නේ නම් හදිසියේම මෙවැනි වැඩසටහන් නිර්මාණය වන්නේ නැත. බොදු බල සේනාව ගැන වැඩසටහන් සකස්‌ කරමින් බුදුදහමේ අඳුරු පැතිකඩ උලුප්පන්නට කොළඹ බී. බී. සී. වාර්තාකරුවා කටයුතු කළ ද බී. බී. සී. යේ ඉස්‌ලාමාබාද් වාර්තාකරුවා ඩෙනිම් අඳින ගැහැනුන් ගැන ප්‍රකාශ නිකුත් කරන මුස්‌ලිම් පූජකයන්ගෙන් ප්‍රශ්න කිරීමට යයිද යන්න අපට සැක සහිතය. රොහින්ගා මුස්‌ලිම්වරු රැගත් සරණාගත බෝට්‌ටු කිහිපයක්‌ ඉන්දුනීසියාවට ළඟා වී ඇති නිසා බටහිර මාධ්‍ය යළිත් බුරුමයේ බෞද්ධයන් මුස්‌ලිම්වරුන්ට පහර දෙන බව හඬගා කියයි. නමුත් එවැනි ආගමික ගැටුම් යළි නිර්මාණය වී නොමැත. නමුත් ලොස්‌ඇන්ජලීස්‌ ටයිම් පුවත්පත යළිත් බෞද්ධ බින්ලාඩන් ගැන පුවත් ලිපි පළ කර තිබිණි. එම ලිපිය පළ කර තිබුණෙත් බී. බී. සී. ගුවන් විදුලිය ලංකාවේ බොදු බල සේනාව ගැන වැඩසටහනක්‌ ප්‍රචාරය කළ ඉකුත් ඉරිදා දිනයේය.

මේ අතර ඒෂියා වන් වෙබ් අඩවියේ පළ වූ ලිපියක සඳහන් වූයේ බුරුමයේ බෞද්ධ ජාතිකවාදය වේගයෙන් ඉහළ නගිමින් පවතින බවයි. බෞද්ධයකුට අන් ආගමිකයකු හා විවාහ වීම තහනම් කරමින් පැනවූ නීතිරීති සම්බන්ධව ජාත්‍යන්තර සංවිධාන කලබල වී ඇත. ඔවුන් පවසන්නේ මේ හරහා බුරුම කාන්තාවන්ගේ මානව අයිතිවාසිකම් කඩවන බවයි. කවරක්‌ නමුත් බුරුම ආණ්‌ඩු ගන්නා මෙවැනි පියවර අගය කළ යුතුය. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් බහුතරය බෞද්ධයන් වුවද අන්‍යාගම්කරණය වැළැක්‌වීමේ පනතට ස්‌වාභාවික මරණයක්‌ ඇති විය. නමුත් බුරුම රජය බෞද්ධයන් සුරැකීම වෙනුවෙන් ගන්නා පියවර ථෙරවාදී බෞද්ධයන් ලෙස අපගේ අනිවාර්ය පැසසීමට ලක්‌ විය යුතුය. බුරුමයේ පැවති හමුදා පාලනය තුළ ද බෞද්ධකම සුරක්‍ෂිත විය. එහෙත් බටහිර ලෝකය බුරුමයට ආර්ථික සම්බාධක පනවා මේ ථෙරවාදී බෞද්ධ රාජ්‍යය තනිකර දමා තිබිණි. 2011 දී සිදු වූ බල හුවමාරුවෙන් පසු නැවත ප්‍රජාතන්ත්‍රවාදී රජයක්‌ බලයට පත්විණි.

එවිට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය සතුටුව බුරුමයේ සම්බාධක ඉවත් කළ අතර ඇමරිකානු ජනපති බැරැක්‌ ඔබාමා එරට විපක්‍ෂ නායිකා අවුන්සායි සුකීගේ ගෙදරටම පැමිණ සිය සුහදතාවය පළ කර සිටියේය. බටහිර ලෝකයට අවශ්‍ය අවුන්සායි සුකී බුරුමයේ ජනපති වනු දැකීමටය. නමුත් බුරුමයේ බෞද්ධ ජාතික බලවේග සුකීට කැමැති නැත. ටිබෙට්‌ ආධ්‍යාත්මික නායක දලයි ලාමා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ රොහින්ගා මුස්‌ලිම් වරුන් වෙනුවෙන් අවුන්සාන් සුකී හඬ නොනැඟීම පුදුම සහගත බවයි. නමුත් සුකී ඒ ගැන කතා කරන්නට නොයන්නේ බහුතර බෞද්ධයන් අතර ඇය අප්‍රසාදයට පත්වන බව හොඳින් දන්නා නිසාය. කිසිම දිනයක බෞද්ධයන් ගැන කතා නොකරන දලයි ලාමා බොහෝ අවස්‌ථාවල රොහින්ගා මුස්‌ලිම්වරුන්ගේ දුක ගැන නම් කතා කරයි. බුද්ධගයාවට මුස්‌ලිම් අන්තවාදී ප්‍රහාරයක්‌ එල්ල වූ අවස්‌ථාවේ මේ ආධ්‍යාත්මික නායකයා කට පියාගෙන සිටි බව නම් අපට හොඳින් මතකය.

ඊනියා බටහිර මාධ්‍යකරුවෝ බුරුමය හා ලංකාව ඇසුරෙන් බොදු අඳුර දැක්‌කද බෞද්ධයන්ට සිදුවන අසාධාරණ කෙණෙහිලිකම් කිසිම විටක දකින්නේ නැත. මේ අවස්‌ථාවේදී බී. බී. සී. ය හදිසියේම බොදු බල සේනාව ගැන වැඩසටහනක්‌ සම්පාදනය කළේ මන්ද? සැබවින්ම වර්තමානයේ බොදු බල සේනාවේ ජනප්‍රියතාවද පහළ මට්‌ටමක පවතී.

එහෙත් බී. බී. සී. යට අවශ්‍ය ලංකාවේ බෞද්ධයන්ට පහර ගැසීමටය. අනෙකුත් බටහිර මාධ්‍ය, විරාතු හිමියන් පෙන්වමින් නැවත නැවතත් බෞද්ධ බින්ලාඩන් කෙනකු ගැන සඳහන් කරති. අයි. එස්‌. අයි. එස්‌. නායක අබුබකර් බැග්ඩෑඩි හා සමානව මහා අපරාධකරුවකු ලෙස මේ ඊනියා මාධ්‍ය, විරාතු හිමියන් දෙස බලයි. ලොස්‌ඇන්ජලීස්‌ ටයිම් පුවත්පතේ වාර්තාකරුවා විරාතු හිමියන් හමු වී ඔබ වහන්සේ වෛරය පතුරවන්නේ දැයි විමසන විට උන්වහන්සේ පෙරළා මෙසේ පිළිතුරු දී ඇත. "බලන්න මගේ මුහුණ දෙස මම කිසිවකුට වෛර කරන්නේ නැහැ." කවරක්‌ වෙතත් ඉන්දුනීසියාවේ මුස්‌ලිම් ආරක්‍ෂක සංවිධානය නමැති අන්තවාදී කණ්‌ඩායමේ පිරිස ඉකුත් 27 වැනිදා අශ්වින් විරාතු හිමියන්ගේ පඹයකු පුළුස්‌සා සිය වෛරීභාවය ප්‍රදර්ශනය කළ අයුරු අපි දුටුවෙමු. බටහිර මාධ්‍ය බෞද්ධයන්ගේ ආගමික සංහිඳියාව ගැන කිසිවිටක කථා නොකරයි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/06/07/feature16.html

0 comments: