Pages

Sunday, June 7, 2015

හිස්‌ කඩදාසිය පුරවන සෞන්දර්යවාදියා - ලූෂන් බුලත්සිංහලයන්ට දැන් 73යි!

අනේ පුංචි කාලිදාස ගොත ගොතා මැවූ රස ගී අහන් ඉන්න ආසයි!

ලූෂන් බුලත්සිංහලයෝ දැන් තෙසැත්තෑවියට එළඹ සිටිති. සිංහල සුභාවිත ගීතය උදෙසා ඔවුන් විසින් කරනලද විශිෂ්ට සම්ප්‍රදානයන් නිසාම ඔව්හු ගී ලොව උසස්‌ම තැනක සිටිති. ලූෂන්ගේ ගීතය තුළ දිදුළන සෞන්දර්යත් චමත්කාරයත් ඔහුගේ අසාමාන්‍ය ප්‍රතිභාවේ අග්‍රඵලයක්‌ සේ මම දකිමි. සංක්‍ෂිප්ත ගීතය නමැති මාධ්‍යයට පෙර නොවූ විරූ විචිත්‍රත්වයක්‌ මුසු කිරීමටත් එමගින් භාව පූර්ණ වින්දනයක්‌ ලබාදීමටත් ඔහු ගත් වෑයම සහෘද විචාරක දෙපක්‍ෂයටම ඉඳුරා දැනිණි.

ලූෂන්ගේ ගීතයෙන් නොපහන් වූ මනදොළක්‌ වී දැයි මම නොදනිමි. ඒ ගී මිහිරෙන් ප්‍රමුදිත නොවූ රසිකයෝ සිටිත්ද යන වගක්‌ මම නොදනිමි. හේ සම්ප්‍රදායීය ගීතය සමතික්‍රමණය කරමින් එයට නව්‍ය ආකෘතියක්‌, ප්‍රබල නාද රූපි ගුණයක්‌ ප්‍රවිශ්ට කළ සුදුර්ලභ ගණයේ ගීත නිබන්ධකයෙකි. ඔහුගේ හද බස ගීතය යෑයි සුසම්මතයක්‌ තිබුණද ඔහුගේ සෞන්දර්ය බැඳීම් අප්‍රමාණව යොමුවූ ක්‍ෂේත්‍ර කීපයක්‌ම විය. වේදිකාව, සිනමාව, ඉනික්‌බිතිව ටෙලි නාට්‍යයද විය. එසේම විද්යුත් මාධ්‍ය සමග එනම් ගුවන් විදුලිය හා රූපවාහිනිය සමග වෘත්තීය පරිචයක්‌ද ඔහුට විය.

මේ සියල්ල සමගම චරිතාංග නළුවකු ලෙස නාට්‍යයට හා චිත්‍රපටයට දායක වූ ලූෂන් "රතුහැට්‌ටකාරී" හා "තාරාවෝ ඉගිලෙති" වැනි නාට්‍ය අධ්‍යක්‍ෂණය කරමින් නාට්‍යකරුවකු ලෙසද කීර්තියක්‌ අත්පත් කර ගත්තේය. හැත්තෑව දසකය සමාරම්භයේ සිටම නාට්‍ය හා සිනමාව තුළ ඔහුගේ නොයෙක්‌ මැදිහත්වීම සිදුවිය.

මගේ කාලයේ පුංචි කාලිදාස කෙනකු මෙන්ම මගේ චිරකාල මිත්‍රයකුද වන ලූෂන් පිළිබඳ අප්‍රමාණ ධාරණවන් මේ සටහන ආරම්භ කළ මොහොතේ පටන් මගේ චිත්ත වීථිය සරසවමින් නැඟෙයි. පුරා දසක හතරකට නොඅඩු කලක්‌ විහිද ගිය ආත්මීය බැඳීම් මෙන්ම සහෘද සමාගම්වල සැමරුම්ද බොහෝය. කලා ක්‍ෂේත්‍රයේ ප්‍රකට හා ප්‍රමුඛයන්ගේ සභා මැද මොන තරම් සන්ධ්‍යාවන් ගෙවන්ට අපි භාග්‍යවත් වී ඇත්තෙමුද? එනිසාම ඔහු පිළිබඳව කෙරෙන මේ සංක්‍ෂිප්ත සටහන මට මහත් දුෂ්කර ව්‍යායාමයකි.

ලූෂන්ගේ ගී මිණි ආර පිළිබඳව නොයෙක්‌ රස විභාග සිදුවී තිබේ. හෙට දවසේදීත් එබඳු විමර්ශන සිදුවනු නිසැකය. එහෙත් මම ලූෂන්ගේ ජනප්‍රිය ගීත පිළිබඳ දීර්ඝ රස විභාගයකට මෙහිදී වෑයම් නොකරමි. ලූෂන්ගේ සෞන්දර්ය විජිතය බාහිරව නරඹන අයෙකුට වඩා එහි ඇතුළත විනිවිද දැකීමට මම වඩාත් ප්‍රියවෙමි. ඔහු තුළ ජීවත් වන අධිෂ්ඨානශීලී මානව හිතවාදියා මතුකර ගැනීම මට වුවමනාය.

කලාකරුවන්ගේ ජීවිත පහන් කඳු සේ දකින ලොව ඒ පහන් කඳු පාමුල රැඳි අඳුර බොහෝවිට නොදකියි. ලූෂන් රජ මැදුරක උපන්නකු නොවේ. මා දන්නා තරමින් ඔහුගේ පියාට ඔහු වෙනුවෙන් උසස්‌ අධ්‍යාපනයක බර පැන ඉසිලීමට තරම් ශක්‌තියක්‌ නොවීය. පේරාදෙණි සරසවියට ඇතුළුවීමට ඔහුට වරම් ලැබුණද ඔහු ඉන් බාහිරව සිට ශාස්‌ත්‍රඥානය ලබා ගත්තෙකි. ලිපිකරුවකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු මා මුල්වරට හඳුනා ගත්තේ හැටේ දසකය අග භාගයේදී පමණ පේරාදෙණි සරසවි පරිශ්‍රය තුළදීමය.

මගේ මතකය නිවැරදි නම් ඔහු රජවත්තේ දෙමහල් නිවසක නතරවී සිටියේ නවනන්දන විඡේසිංහ හා තවත් සගයකු සමගය. ඇතැම් නිවාඩු දිනවල ඔවුන්ගේ කාමරය දෙසින් නැගෙන ගී හඬ අපට හුරුය. මේ කාලයේදී ඔහු මහාචාර්ය සරච්චන්ද්‍ර, බන්දුල ජයවර්ධන වැනි ප්‍රබල චරිත සමග සබඳතා ගොඩ නඟාගත් බවද මම දනිමි. ඔහුගේ ප්‍රථම වේදිකා සම්ප්‍රාප්තිය බිහිවන බෝසතාණෝ බව මගේ මතකයයි. ඉනික්‌බිතිව ඔහුට එදා වේදිකාවේ දිදුළන චරිත රැසක්‌ම හඳුනා ගැනීමේ භාග්‍යයද හිමිවෙයි.

ගුවන් විදුලි සංස්‌ථාවේ නිෂ්පාදකයකු ලෙස විවිධ විචිත්‍රාංග සම්පාදනය කළ ලූෂන් රූපවාහිනි ශිල්පියකු ලෙස ජාතික රූපවාහිනියටද එක්‌වෙයි. රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප්‍රධානියා ලෙස පත්ව යන ධම්ම ජාගොඩ ඇතුළු සිය කලා සගයන් සමග ඔහු අරඹන ජීවිතය තුළද බොහෝ දේවල් ද නොයෙක්‌ ගැටුම්ද සිදුවූ බව පමණක්‌ මම ලියා තබමි.

ලූෂන්ගේ ගී මග මෙන්ම සෞන්දර්ය කලා දෘෂ්ටියද සුපෝෂණය කළ ප්‍රමුඛයකු ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මට සිහිවෙයි. අපි බොහෝ සැඳෑවල රාජගිරියේ කේමදාස නිවසෙහි නොයෙක්‌ නිර්මාණ අභ්‍යාසවලද, සාමීචි කතාවලද අත්දැකීම් විඳ ගතිමු. ඇතැම් දිනක මදු විතද සපයන කේමදාසයන් ඒ සඳහා අනිවාර්යයෙන් කැඳවන කීප දෙනෙක්‌ම වූහ. ලූෂන් එහි නිත්‍ය සාමාජිකයෙක්‌ විය.

ආචාර්ය කේමදාස යනු නිර්මාණ කාර්යයේදී ලේසියෙන් තෘප්තිමත් නොවන සංගීතඥයෙකි. ලූෂන් විසින් ලියනු ලබන පදමාලාව අතට ගෙන කේමදාසයෝ පියානෝව වයති. නොයෙක්‌ ගීත නිර්මාණ උඩු යටිකුරු කරවමින් එයට උචිතම ආරම්භයක්‌ ලබාදීමට කේමදාසයන් විසින් ගන්නා ලද වෙහෙස මට සිහිවෙයි. එහෙත් ලූෂන් යනු කේමදාසයන්ට වඩාත් ගැලපුණු හා සමීප වුණු ගීත රචකයාය. කේමදාසයන්ගේ නිර්මාණ සමග ලූෂන් බැඳී සිටි අයුරු මම දනිමි. කේමදාසයන්ගේ "දොරමඩලාව" ලූෂන්ගේ රචනයකි. ලූෂන් විසින් ලියන ලද කේමදාස අරගලය නමැති කුදු ගතක්‌ද වේ. එය වඩාත් විස්‌තීර්ණ කර පළකරන ලෙස එකල මම ලූෂන්ට යෝජනා කළෙමි. එහෙත් එයට අවසර හා කාලය නොවූ බව මගේ මතකයයි.

මම දැන් ලූෂන්ගේ ගී මුතුවැලෙහි මුතු ඇටයක්‌ දෙකක්‌ දෙස නෙත් යොමු කරන්නෙමි. ඒ බොහෝ ගී තුළ සැඟවුණු ආත්මීය වේදනාවන් කෙතරම්දැයි ඒ ගී වඳින රසිකයෝ ඉඳුරා නොදනිත්. නිර්මාණ රස වින්දනය සඳහා ඒවා වැදගත් හෝ අත්‍යාවශ්‍යද නැත. කවියා නැතහොත් කලාකරුවා තමන්ගේ අනුභූතිය පොදු අත්දැකීමක්‌ බවට පත් කරන්නෙකි. ලූෂන් කළේත් එයයි. එහෙත් ඒ ගී තුළ සැඟවුණු සෝකී රිද්මය මට ඇසෙයි.

රජ මැදුරක නූපන් ලූෂන් දෛවය විසින් නියම කරන ලද දරිද්‍රතාවයෙන් දුර්මුඛ නොවී සෞන්දර්ය චාරිකාවක නිරතවූ අධිෂ්ඨානශීලී යාත්‍රිකයෙකි. සුවඳ බොජුන් සැප සයනා නොලද ඔහුගේ කුඩා නිවහන තුළ ඔහු අත් නොහැර සිටියේ සරස්‌වතී දේවියි භෞතික යස ඉසුරුවලින් හිස්‌ වූ ඔහුගේ ආධ්‍යාත්මය සුපෝෂණය වූයේ සෞන්දර්යෙන් හා කවියෙන් යයි මම සිතමි. ලක්‌ෂ්මිය පිටු පෑ මේ සෞන්දර්ය මානවකයාගේ සිත ප්‍රකම්පිත කළ සරස්‌වතිය ඔහුට දුන් දිරිය, වීර්ය මෙන්ම රසාවේෂයද ප්‍රබල විය.

කාලිදාසයෝ රඝ්‍රවංශය හා මේඝදූතයද, ශකුන්තලයද ලියා සංස්‌කෘත සාහිත්‍ය ආඪ්‍ය කළහ. ඒ දුලබ ප්‍රතිභාවේ ආලෝක ධාරාවන් මේ දිවයිනටද වැටුණි. කවිය සාඩම්බර කලාවක්‌ බවට පත් කළ කාලිදාසයන්ට ලැබෙන ගෞරවය ගීතය විචිත්‍රත්වයට පත් කළ මේ පුංචි කාලිදාසටද හිමි වනු කව්රු වළක්‌වත්ද? ඒ දුලබ ප්‍රතිභාවේ මියුරු පල නොවිඳිත්ද?

දම්පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි

මේ වචන ලියද්දීත් මාලිනීගේ හා කපුගේ හඬ සවන් දොර නැඟෙයි. ඔස්‌ටින් මුණසිංහගේ නාද රූ හද නිවයි.

කවියකුගේ නිර්මාණ තුළ ගැබ්වන්නේ බොහෝවිට ආත්මීය සුඛ දුක්‌ඛ වේදනාවන්ය. තමන්ට ඇසෙන හා දැනෙන දේවලට ඔබ්බෙහි තිබෙන අඳුර හා සත්‍යයද සියුම් කලා ඇසට ගෝචර වේ. කාලිදාසගේ නිර්මාණ සමග අපට හමුවන ශෘංගාරයද විප්‍රලම්භයද රාජකීය සුකුමාරත්වය ස්‌පර්ශ කළ ආඪ්‍ය ජීවිතයක ආශ්වාදය ලද කවියකුගේ හදවත රැව් දුන් දෝංකාරයයි. එහෙත් ලූෂන් අපේක්‍ෂා භංගත්වයේ වේදනාවද පන්ති සමාජයේ පීඩනයද හදවතින් ස්‌පර්ශ කළ, ඒ සඳහා අපගේ වුවද ඇස යොමු කළ සොඳුරු ජනතාවාදී කවියෙකි. ප්‍රේමයේ සරදම්, කාලයේ සරදම් ඔහු තුළ දැනවූ කම්පනය අපට සනාතන සෝ ගීතයක්‌ සේ ඇසෙයි.

ලූෂන් කවිසමය දනී. එහෙත් එයට ගැති නොවේ. සියල්ල අහිමිවූ ලොවක උපේක්‍ෂාවෙන් ජීවිතය දකින්ටත් ඒ සඳහා සියුම්ව සහෘදයා, ඥනනය කරවීමටත් ඔහු ප්‍රිය විය. ස්‌ත්‍රී පුරුෂ ප්‍රේමයේ පවුර බිඳී හිස මත කඩා වැටෙන සමාජයක නොහඬා එදෙස බලන්නට ලූෂන් අපට දිරි දෙයි. ප්‍රේමය උමතුවක්‌ නොව සංවේදී හා ගැඹුරු ආධ්‍යාත්මික භාවනාවක්‌ ලෙස විඳීමට ලූෂන්ට වුවමනාය.

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ
දැස ගියා ඉගිලි

මේ පදවැල කල්පනා ලොවක සිහිනයක්‌ නොවන බව මම දනිමි. පෙම්වතිය සුවදායක උණුසුම් මැද සිටින්නී. ඒ අතීත නටබුන් ප්‍රේමය ඔහු අබියස රඟ දෙයි. ඔවුනොවුන් හැර ලොවටම රහසක්‌ වූ ඒ ප්‍රේමයේ වේදනාව දිය කළ හැකිද කල්පාන්ත මේඝයකටවත්?

මේ බලන්න ඔහු ගොත ගොතා පෙන්වන ඒ අතීත පෙම් කතාවේ සරදම්·

රිය ඇතුලේ උණුසුම ඔබට තිබේ
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ සිත රිදුණේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රිය සක දන්නේ

සැබැවින්ම මේ සබඳකම ලොවටම රහසකි. ලූෂන්ගේ ප්‍රථම ප්‍රේමය ඔහුගේ ඇතැම් පෙම් ගී තුළ මට දැකගත හැකිය. වරක්‌ ඔහු දම්පාටින් ලා සඳ බැස යයි, ගීතය ලියෑවුණු සැබෑ පසුබිම වෙත මා රැගෙන ගියේය. ඒ මොන තරම් කර්කශ, ඝෝෂාකාරී පරිසරයක්‌ද? එහෙත් ඒ ගීතය සමග ගලා යන සෞන්දර්යයේ සිසිල කෙතරම්ද?

ලූෂන් යනු අධිෂ්ඨානශීලී වූද නොපසුබස්‌නා වූද චරිතයකට මට දිය හැකි එක්‌ නිදසුනකි. සිය භෞතික ජීවිතය කඩා වැටෙද්දීත් ඔහු අකම්පිතව එදෙස බලා සිටියේය. "පිපුණු මලේ රුව" ඔහු හද උපන්නේ දියණියකගේ අහිංසක මුව නෙත ගැටුණු ප්‍රථම දිනයේදීමය. දරිද්‍රතාවයේ පත්ලටත් යටින් රැඳුණු ජීවිතයක්‌ පිළිබඳ මෙවන් සෞන්දර්ය වියමනක්‌ මගේ මතකයට නොඑයි.

ඔසරි පොටෙන් අදින්නෙපා
වළාකුලයි ඉරෙන්නේ
මුහුණට මගෙ එබෙන්නෙපා
සඳ එළියයි තිබෙන්නේ

මේ ලූෂන්ගේ ප්‍රතිභාවේ අග්‍රඵල නොවේද? මේ වදන් වලින් හිස්‌ කඩදාසිය පුරවන සෞන්දර්යවාදියකුගේ සුරත සිඹින්නට ඇත්නම් යයි ඔබට නොසිතේද?

ලූෂන්ගේ හදවත උතුරා ගලා ගිය සෞන්දර්ය උල්පතක මධුර ආශ්වාදය නොමඳව විඳින රසිකයන්ට සිය ආත්මීය වේදනා නිවා සුවපත් විය නොහැකිද? වියෝ දනන් හද සනහාලන දිව්‍යමය බල මහිමයක්‌ ලූෂන්ගේ පන්හිඳට ලබාදී ඇතැයි මම සිතමි.

මා බෙහෙවින් ප්‍රිය කරන කොළොම්තොට ගීතය මගේ සිතට නැඟෙයි. ජීවිත සැඳෑව හා යෞවනය පිළිබඳ මොන තරම් විචිත්‍ර සිත්තමක්‌ද ඒ. යෞවනය ගෙවී ගිය පති පතිනි දෙදෙනා තුළ නැගෙන සියුම් ශෝකයේ රිද්මය මෙසේය.

පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා

වත සැරසූ පාට වත්සුණු පිස දමා කැඩපතින් බලද්දී නෙත ගැටෙන්නේ කුමක්‌ද?

සිය ප්‍රේමයේ නොයෙක්‌ සොඳුරු ආවර්ජනයන්ගෙන් මනස පිරෙද්දී අහස දෙස බලන ඔවුන් නෙත ගැටෙන්නේ සයුර මැද නැංගුරම් ලා තිබෙන නැවක කුඹගසට උඩින් සඳ පායා ඇති බවකි. නැතහොත් සඳ කුඹ ගසක්‌ උඩ නැවතුණු සෙයකි.

කුඹ ගසක්‌ උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමෙද නරකෙසක්‌ නැගිලා

සිත් සතන් සොවින් සැලෙයි. සඳ සරදම් කරයි. හිස නර කෙසකි. ඒ තමා ජීවිතය, සියලු දේ අනියත බව බුදුහු වදාළහ. ඔහු ඒ සත්‍යය විනිවිද දකී.

ලූෂන් මේ ගී රචනයේදී සංකල්ප රූප නිර්මාණය කරන අයුරු ඔහුගේ භාෂා භාවිතයේ සුවිශේෂ ලක්‍ෂණයයි. පිපුණු මලේ රුව, මිනිසා බලා සිටී වැනි ගීත මොන තරම් විචිත්‍ර කවි සිතුවම්ද? මිනිසා බලා සිටී ගීතය සැබැවින්ම සංවනියක්‌ වැන්න. එහි ගායනය හා සංගීතය සමග පදමාලාව සංයෝග වී මවන නාද රූපය විස්‌මිතය.

තෙසැත්තෑවියට පත් සත් මිත්‍ර ලූෂන්ට මගේ ආසිරි කුසුම්ද පිරිනමා මේ සටහන අවසන් කරමි. ඔහු වෙනුවෙන් මුළු දුන් අපේ පුංචි කාලිදාස සමග එක්‌වන්ට අපටත් ලැබුණෙ නම් කොතරම් සුන්දරද? එහෙත් "අපේ සබඳකම් ඒ සංවිධායකයෝ කෙලෙස දනිත්ද?

ගාසු
http://www.divaina.com/2015/06/07/cineart.html

0 comments: