Pages

Sunday, June 21, 2015

ඩයස්‌පෝරාවට හෝරාවක්‌ - දැනගන්න ඕනෙ කරුණු ටිකක්!

දේශපාලන ලෝකයේ අද වැඩියෙන් කතා බහ කරන්නේ ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරිත්වය ගැනය. විශේෂයෙන් පසුගිය සතිය ශ්‍රී ලංකා දේශපාලනය උණුසුම් කළ මේ ඩයස්‌පෝරාව මෙරටේ දේශපාලනයට උනන්දුවක්‌ දක්‌වන සාමාන්‍ය ජනතාවගේ චින්තනය උඩු යටිකුරු කරන්නේය. මේ පසුබිම තුළ ඩයස්‌පෝරාව, එහි ආරම්භය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ විශ්ලේෂණයක්‌ කිරීම කාලෝචිතය.

අද අපි ඩයස්‌පෝරාව පිළිබඳව අප රටේ ඇත්තන්ගෙන් විමසා බැලුවහොත් එක එක විදිහේ උත්තර ලැබිය හැක. සැබැවින්ම මේ ඩයස්‌පෝරාව කියන්නේ කුමක්‌ද? ඇතැම් අය මේ සඳහා දෙන අර්ථකථනය තමයි කිසියම් රටක ජනතාවක්‌ වෙනත් රටකට සංක්‍රමණය වී පදිංචිවී ඇති නම් එය ඩයස්‌පෝරාව යන්න. එහෙත් එය මිථ්‍යාවකි. ඩයස්‌පෝරාව පිළිබඳ ඉතිහාසය මීට වසර 2000 ක්‌ පමණ ඈතට දිව යන්නකි. මීට වසර 2000 කට පමණ කලින් යුදෙව්වන් ලොව පුරා විසිරී සිටියේය. මේ යුදෙව්වන් ඊශ්‍රායලය දෙවියන්ගේ දේශය ලෙස ස්‌වෛරී රාජ්‍යයක්‌ වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු යෑයි ඉල්ලා සිටියේය. මේ ඉල්ලීම සඳහා ඔවුන් දියත් කළ ජාත්‍යන්තර ව්‍යාපාරයට යොදා ගත් නම ඩයස්‌පෝරාව යන්නය. කෙසේ නමුත් මුල් අවධියේදී යුදෙව්වන්ගේ මේ ඉල්ලීමට ජාත්‍යන්තරයෙන් එතරම් අවධානයක්‌ යොමු නොවීය. එයට හේතුව වූයේ පලස්‌තීන ප්‍රදේශය දෙවන ලෝක යුද්ධ කාලය දක්‌වා ඉංගී්‍රසි හා ප්‍රංශ අධිරාජ්‍යයන්ගේ යටත් විජිතයක්‌ ලෙස පැවතීමයි.

වසර 1933 දී හිට්‌ලර් සුළුතර බලයක්‌ ඇතිව ජර්මනියේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසු ඔහුගේ ප්‍රධාන සටන් පාඨය වූයේ යුදෙව්වන් ජර්මනියෙන් පලවා හැරිය යුතු බවයි. මේ පසුබිම තුළ දෙවන ලෝක යුද්ධය ආරම්භ කිරීමටත් පෙර හිට්‌ලර් ක්‍රමක්‍රමයෙන් යුදෙව්වන් සංහාරය කිරීම ආරම්භ කළේය. යුදෙව්වන්ගේ වැඩිහිටියන් සහ දරුවන් දහස්‌ ගණන් වධකාගාරවල ගාල්කර සංහාරයට ලක්‌ කළේය. මෙම සංහාරය සිදුකරනු ලැබුවේ වධකාගාරයට විදුලි සර සම්බන්ධ කරවීමෙනි. හිට්‌ලර්ගේ මේ අමානුෂික ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වූයේ ඩයස්‌පෝරාවට ලෝකයේම අනුකම්පාව හිමි වීමයි. මේ නිසාම දෙවන ලෝක යුද්ධය අවසන් වී වැඩි කලක්‌ යන්නට පෙර ඊශ්‍රායලය ස්‌වාධීන රාජ්‍යයක්‌ බවට ප්‍රකාශයට පත් කෙරිණි. පසුගිය දශක හයක්‌ තිස්‌සේ ඊශ්‍රායලය බටහිර බලවතුන්ගේ ආරක්‍ෂාව ලබමින් අසල්වැසි අරාබි රටවල් සියල්ල අභිබවමින් ඉදිරියට ගමන් කරමින් සිටින්නේය. මෙය යුදෙව් ඩයස්‌පෝරාවේ සංක්‍ෂිප්ත කතාවයි.

අද අපේ රටට බලපෑම් ඇති කරන අපේ දේශපාලනය උඩුයටිකුරු කරමින් රත්කරවන දෙමළ ඩයස්‌පෝරාව ආරම්භ වූයේ කෙසේද? මේ පිළිබඳව අපේ රටේ දේශපාලනය කරන හා ඊට උනන්දුවක්‌ දක්‌වන අය දැන සිටීම අත්‍යවශ්‍යය. එසේ නොමැති වුවහොත් අඳුරේ අතපත ගාමින් අප අපේක්‍ෂා නොකළ කරදරයක පැටලීමට ඇති ඉඩකඩ වැඩිය. දකුණු ඉන්දියාවේ අන්ද්‍ර, තමිල්නාඩු, කේරල හා කර්නාටක යන ප්‍රදේශ හා ශ්‍රී ලංකාවෙන් අඩක්‌ද ද්‍රවිඩ දේශ නමින් රාජ්‍යයක්‌ පිහිටුවිය යුතු බව පෙරියාස්‌ රාමසාමී නමැති අන්තවාදියා යෝජනාවක්‌ ඉදිරිපත් කළේය. ඉන්දියාවට නිදහස ලැබෙන්නට පෙර ඉදිරිපත් වූ මෙම යෝජනාවට යම් තරමක හෝ සහයක්‌ ලැබුණේ තමිල්නාඩුවෙන් පමණි. මේ අතර 50 දශකයේ ආරම්භයේදී පමණ නාන් තමිල්ආල් (අපි දෙමළ) නමින් තමිල්නාඩුවේ ජනතා ව්‍යාපාරයක්‌ ඇරඹුණි. එම ව්‍යාපාරයේ අරමුණ වූයේ ලෝකයේ කොතැනක හෝ දෙමළ රාජ්‍යයක්‌ බිහි කළ යුතු බවය. එදා ඔවුන්ගේ සටන් පාඨය වූයේ "දෙමළ අපි රටක්‌ නැති ජාතියක්‌" කියාය. මේ ව්‍යාපාරයද ව්‍යංගයෙන් නොකියා කීවේ ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වෙනම රාජ්‍යයක්‌ විය යුතු බවය.

කෙසේ වුවද මේ උමතු ව්‍යාපාරයට ලෝකයේ කිසිවෙකුගේත් වැඩි අවධානයක්‌ යොමු නොවීය. අවාසනාවකට 1983 දී මුළු ලෝකයේම අවධානය යොමුවූ අපේ රටේ කළු ජූලියත් සමග ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේ තිබූ දේශපාලන චින්තනය වෙනස්‌ වන්නට පටන් ගත්තේය. වැලිකඩ බන්ධනාගාරයේ දෙමළ සිරකරුවන් ඝාතනය කොට ඔවුන්ගේ ඇස්‌ උගුල්ලා දැමූ පුවත ලොව පුරා ලැව්ගින්නක්‌ සේ පැතිර ගියේය. ලොව පළකෙරෙන පුවත්පත්වල ප්‍රධාන සිරස්‌තලය වූයේ ලංකාවේ මේ සිදුවීමය. විද්යුත් මාධ්‍යයන්ද මේ පුවත අනුවේදනීය දුක්‌මුසු පුවතක්‌ ලෙස විකාශනය කෙරිණි. එදා ලංකාවේ ගිනි තබා විනාශ කළ දමිළ ජනතාව පදිංචිව සිටි නිවාසවල පින්තූර ලොව බොහෝ රටවල රූපවාහිනි නාලිකාවන්ට ප්‍රධාන ප්‍රවෘත්තිය සකස්‌කර දුන්නේය.

මේ පසුබිම තුළ ශ්‍රී ලංකාවේ සිටි ලක්‍ෂ ගණන් දමිළ ජනතාව ඉන්දියාවට පලාගොස්‌ එතැනින් ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව හා යුරෝපයේ බොහෝ රටවල දේශපාලන රැකවරණ පැතූහ. ඔස්‌ටේ්‍රලියාව පමණක්‌ 1983-1993 දශකය තුළ දෙමළ සරණාගතයන් ලෙස එරටට ගිය දස දහසකට අධික දමිළ ජනතාවට රැකවරණය ලබා දුන්නේය. ඔස්‌ටේ්‍රලියා රජය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සරණාගතයන්ට විශේෂ වරප්‍රසාද ලබාදුන් අතර ඒ සඳහාම රෙගුලාසියක්‌ද නීති ගත කරගනු ලැබුවේය. රෙගුලාසි 435 (Reටමක්‌එසදබ 435) යනුවෙන් එය හැඳින්වේ.

දෙමළ ඩයස්‌පෝරාව උපන්නේ ශ්‍රී ලංකාවේ ඇතිවූ අවාසනාවන්ත කළු ජූලියත් සමගය. මේ වනවිට ශ්‍රී ලංකාව බෙදුම්වාදයේ කොඳුනාරටිය බවට පත්වී ඇත්තේ 1983 සිට බටහිර රටවලට සංක්‍රමණය වූ ශ්‍රී ලංකා දෙමළ ජනතාවයි. මෙම ජනතාවගෙන් ඩයස්‌ පෝරාවට සෘජුවම සහය පළ කරන්නේ 10% ක්‌ පමණය. ඉතිරි 90% ක්‌ පමණ වූ දමිළ ජනතාව වක්‍රව බෙදුම්වාදීන්ට මුදල් හා වෙනත් සහයන් ලබා දෙන්නේය.

"මම ඔස්‌ටේ්‍රලියාවේ ඉන්න කාලේ ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන ඉරිදා පුවත්පත් මිලදී ගත්තේ දමිළ ව්‍යාපාරිකයකුගෙන්. ඔහු කොටින්ට කැමැත්තෙන් සහය දැක්‌වූවෙක්‌ නොවෙයි. ඔවුන් අමිර්තලිංගම්, යෝගේස්‌වරන් වැනි පාලකයන්ට ගැති වූවෝය. එහෙත් මම පුවත්පත් මිලදී ගත් දමිළ ව්‍යාපාරික ශ්‍රී ලාංකිකයා සඳහන් කළේ බෙදුම්වාදී කණ්‌ඩායම් තමන් විකුණන සෑම පත්‍රයකින්ම ඔස්‌ටේ්‍රලියානු ශත 10 ක්‌ (ශ්‍රී ලංකා රුපියල් දහයක්‌) බලෙන් ලබා ගන්නා බවය. ඒ මුදල් එකතු කරන්නේ TRO නමැති සංවිධානයයි. ඔස්‌ටේ්‍රලියාවේදී අපි මිලදී ගන්නා සියලු කුළු බඩුවල වටිනාකමින් 5% ක්‌ බෙදුම්වාදීන්ගේ මේ කියන TRO (දෙමළ පුනරුත්ථාපන සංවිධානය) වෙත ගෙවිය යුතුය. එය ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ එක්‌ උදාහරණයක්‌ පමණි.

1982 පැවැති ජනාධිපතිවරණයේදී ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ කතා දෙමළට පරිවර්තනය කරනු ලැබුවේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ දමිළ ජාතිකයෙකි. ඔහු 1983 සිට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචියට ගිය අයෙකි. බෙදුම්වාදයට එරෙහිව සිංහල, දෙමළ හා ඉංගී්‍රසි භාෂා තුනෙන්ම වැඩසටහන් විසුරුවා හරිනු ලැබූ ඔස්‌ටේ්‍රලියානු ගුවන් විදුලි නාලිකාවක්‌ මෙම කථිකාචාර්යවරයාට ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කර තිබුණි. බෙදුම්වාදයට දැඩි විරෝධයක්‌ පළකරන මොහු එම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවට සහභාගි වූයේ නැත. ඊට හේතු ලෙස ඔහු සඳහන් කළේ "මම ඔය සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුණා කියලා මට ඔස්‌ටේ්‍රලියාවේදී කිසිම කරදරයක්‌ වෙන්නේ නැති බව ඇත්ත. ඒ වුණාට ඩයස්‌පෝරාවට ගැතිකම් කරන යාපනේ පදිංචි අය එහේ මගේ ඥතීන්ගෙන් පළිගන්නවා නිසැකයි යනුවෙනි.

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල දේශපාලන රැකවරණ ලබන දමිළ ජනතාවගෙන් අතළොස්‌සක්‌ විසින් පිහිටුවා ගනු ලැබූ ඩයස්‌පෝරාව විදේශ රටවල ක්‍රියාත්මක වන්නේ එලෙසය. මෙම ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අප රටේ දේශපාලන බලධාරීන්ට අවබෝධයක්‌ නැතැයි විශ්වාස කළ නොහැක. මන්ද විදේශීය රටවලට විවිධ අරමුණු සඳහා ගොස්‌ සිටින බෙදුම්වාදයට විරුද්ධ සිංහල දමිළ ජනතාවට ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරකම් අත් දකින්නට ලැබී ඇති බැවිනි. මේ එවැනි තවත් අත්දැකීමකි. ඔහු යාපනේ පදිංචිව සිටි දෙමළ ජාතික දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. අපේද මිත්‍රයෙකි. ලංකාවේ ගැටලු පිළිබඳව ඔහු නිතර කතාකරන ඊට උනන්දුවක්‌ දක්‌වන අයෙකි. ඔහු දිනක්‌ මා සමග කළ කතාව ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරකම් පිළිබඳ සපයන තවත් සාක්‍ෂියකි.

"මම ඩයස්‌පෝරාවට විරුද්ධයි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයටත් විරුද්ධයි. ඒ වුණාට ඩයස්‌පෝරාවට සම්බන්ධ අය මගෙන් බලෙන් මුදල් ලබා ගන්නවා. ඔහු ඩයස්‌පෝරාව මුදල් එකතු කරන ආකාරයද විස්‌තර කළා. දැනට කිහිප දිනකට පෙර මම මගේ බිරිඳ සමග භාරත නාට්‍ය සංදර්ශනයක්‌ බලන්න ගියා. එහි එක්‌ ටිකට්‌ එකක්‌ ඩොලර් 20 යි. අපි ටිකක්‌ දෙකක්‌ මිලදී ගන්නා වෙලාවේ ඒ නාට්‍ය සංදර්ශනය සංවිධානය කළ අය මට කීවේ සෑම ටිකට්‌ එකකින්ම ඩොලර් 2.50 ක්‌ ඩයස්‌පෝරාවට දිය යුතු බවය. ඔස්‌ටේ්‍රලියාවේ තිබෙන දමිළ ව්‍යාපාරික ස්‌ථානවලිනුත් ඩයස්‌පෝරාව කප්පම් ගන්නවා යෑයිද මේ වෛද්‍යවරයා සඳහන් කළේය.

යුදෙව් ඩයස්‌පෝරාවට පසු ලෝකයේ බිහිවූ එකම ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා දමිළ ඩයස්‌පෝරාව පමණි. එහි වත්මන් ක්‍රියාකාරීත්වය හා ඔවුන්ගේ අරමුණු අවතක්‌සේරු කරමින් ජාත්‍යන්තරයට අපේ හොඳ හිත පෙන්නන්නට ඔවුන් විශ්වාස කරමින් කටයුතු කිරීම රටේ අනාගතයට නම් එතරම් සතුටුදායක නොවනු ඇත.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/06/19/feature.html

0 comments: