Pages

Saturday, April 20, 2013

බොදු බල සේනා, ශිව් සේනා සහ ශ්‍රී ලංකාවේ අනාගතය

තිස්‌ වසරක්‌ පුරා ජාතියේ සම්පත් විනාශය කරා ඇද දැමූ ජනවාර්ගික යුද්ධය අවසන් කර ඊට හේතු වූ මූල හේතුන්ට පිළියම් යෙදීමට තරම් ශක්‌තිමත් වැඩ පිළිවෙළක්‌ නොමැතිව ලතවෙමින් සිටින අප සියලු දෙනාට තවත් සමාජ අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදු වෙතැයි යන 'උභතෝකොටික තත්ත්වයකට" පත්ව සිටිමු. පශ්චාත් යුද මෙහෙයවීම් යටිතල පහසුකම් සංවර්ධනයට සීමා කර යුද වින්දිතයින්ගේ සැබෑ සමාජයීය ගැටලු උදෙසා විසඳුම් සෙවීම මන්දගාමීව සිදු වෙමින් පවතින තත්ත්වයක්‌ යටතේ අප මුහුණ දෙන උභතෝකෝටික තත්ත්වයන් අතර කේන්ද්‍රීය ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත්තේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා සහ ඔවුන්ට සෘජුවම සහාය දක්‌වන බෞද්ධයන්ගෙන් සැදුම් ලත් 'බොදු බල සේනා' නම් වූ සංවිධානයෙන් දියත් කරනු ලැබූ සමාජ ව්‍යාපාරයයි.

මෙම සමාජ ව්‍යාපාරයට දිගු ඉතිහාසයක්‌ නැතත් එහි අතීතය 'ජාතික හෙළ උරුමය' නම් වූ දේශපාලන පක්‍ෂය දක්‌වා දිව යයි. ජාතික හෙළ උරුමයෙන් වෙන් වූ කිරම විමලජෝති සහ ගලගොඩඅත්තේ ඥනසාර යන බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා දෙනම මෙම සංවිධානය වසර 2012 ජූලි මස ආරම්භ කිරීමට අවශ්‍ය පදනම යෙදීය. එතැන් පටන් බොදු බල සේනා සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක්‌ වශයෙන් ස්‌වකීය දැක්‌ම සහ මෙහෙවර ක්‍රමිකව දියුණු කර ගනිමින් ඒ වටා විශාල සමාජ බලවේගයක්‌ ගොඩ නගමින් සිටිති. ඒ සඳහා සෘජු හෝ වක්‍ර ලෙස රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇතැයි ඇතැමුන් තර්ක කරයි. කෙසේ නමුත් බොදු බල සේනා ප්‍රධාන අංශ අටක්‌ මත සංවිධානය වෙමින් පවතී. එනම්, බොදු බල සේනා ස්‌වෙච්ඡා බළකාය, බෞද්ධ දුක්‌ගන්නාරාල, බෞද්ධ නායකත්ව පුහුණු ආයතනය, බොදු බල සේනා නීති ආධාර අංශය, බෞද්ධ බැංකුව, බොදු බල සේනා බෞද්ධ සංවර්ධන භාර අරමුදල, බෞද්ධ ව්‍යාපාර සම්මේලනය සහ බොදු බල සේනා සමාජ ඒකාබද්ධ වැඩසටහන යන අංශයන් මීට අයත්ය. පොදුවේ ගත් කල බෞද්ධ සම්ප්‍රදායන්ට සහ ප්‍රතිපත්තිවලට අනුකූලව බෞද්ධ සමාජයක්‌ නූතන සමාජ අවශ්‍යතාවන්ට අනුව ගලපා ගනිමින් නිර්මාණය කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජ උරුමයන්ට එරෙහිව ඇති බලවේගයන්ට මුහුණ දෙමින් බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීම මෙම බොදු බල සේනා සංවිධානයේ මූලික අරමුණයි.

සමාජ විද්‍යාත්මකව විශ්ලේෂණය කර බලන විට මෙවැනි සංවිධානයක්‌ බිහිවීමට පහත සඳහන් කරුණු රැසක්‌ වැදගත් වන්නට ඇතැයි පෙන්වා දිය හැකිය. එනම්á

1. බෞද්ධ සමාජයේ කාලාන්තරයක්‌ තිස්‌සේ ගොඩනැගුණු භේදයන්, දුර්වල වීම්, පරත්වාරෝපණ තත්ත්වයන් සහ හැලහැප්පීම්.

2. බුදු දහම සහ බෞද්ධ සමාජය සුරක්‍ෂිත කිරීම උදෙසා රජයෙන් තම යුතුකම සහ වගකීම ප්‍රමාණවත් ලෙස ඉටු නොවීම සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් ලෙස රජයේ වගකීම ඉටු නොවීම.

3. අන්‍ය ආගමික බලවේග සහ සමාජ ව්‍යාපාර වඩා බලවත්වීම, එසේ වීමට උත්සහ කිරීම සහ එවැනි තත්ත්වයන් යටතේ බෞද්ධ සමාජයට සහ උරුමයන්ට හානි පැමිණීම.

4. බෞද්ධ භික්‍ෂුන් වහන්සේලාගේ දේශපාලන නියෝජනයන් සහ දේශපාලනීකරණයේ බලපෑම මත බෞද්ධයන් අතර ඇතිවන කලකිරීම්.

5. බෞද්ධ භික්‍ෂුන්වහන්සේලා අතර ඇති සමාජ සහ ආර්ථික ධූරාවලියේ ඇති විෂමතා සහ එයින් සිදුවන පීඩනයන්.

6. තරුණ භික්‍ෂුන් වහන්සේලාගේ අවශ්‍යතා තේරුම් නොගැනීම, ඊට සවන් නොදීම සහ ඔවුන්ගේ සටන් භූමිකාව ඇගයීමට ලක්‌ නොවීම.

7. බෞද්ධ භික්‍ෂුන්වහන්සේලා ස්‌වකීය ආත්ම විමුක්‌තියෙන් ක්‍රමිකව බැහැර වීම සහ ඊට සමගාමීව සමාජීය වගකීම් රැසක්‌ පවරා ගැනීම.

8. බෞද්ධයන් අතර ඇති නවීනතාවයට ඇති කැමැත්ත සහ ඒ අනුව සංවිධානය වීම.

මෙවැනි හේතුන් රාශියක්‌ මත බිහිවූ බොදු බල සේනා ප්‍රධාන අභිමතාර්ථ දොළහක්‌ මත ශක්‌තිමත් සංවිධානයක්‌ ලෙස ගොඩනැගෙමින් පවතින්නේ යෑයි තහවුරු වේ. බෞද්ධ දර්ශනයේ මූලිකාංග අමතක කර නවතාවන් සමඟ ගනුදෙනු කරන බෞද්ධයන්ට බොදු බල සේනා පරාදීසයක්‌ යෑයි හැඟෙන තත්ත්වයක්‌ නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ.

බොදු බල සේනා සංවිධානය ගැන විමසා බැලීමේදී මතුවන තවත් සංවිධානයක්‌ වන්නේ 'ශිව් සේනා' සංවිධානයයි. මෙය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නගරය ආශ්‍රිතව පවතින ජාතික දේශපාලන සංවිධානයකි. දිගු ඉතිහාසයක්‌ ඇති මෙම සංවිධානය ආරම්භ වී ඇත්තේ 1966 ජුනි මාසයේදීය. බාල් තකේරේ විසින් නායකත්වය දුන් ශිව් සේනා ක්‍රමිකව ඉන්දීය දේශපාලනයේ වැදගත් ස්‌ථානයක්‌ හිමිකර ගත්තේ 1971 සිටය. කාටුන් ශිල්පියකු ලෙස තකේරේ මුම්බායි නගරයේ නියම පදිංචිකරුවන්ට වෙනත් ප්‍රාන්තවලින් පැමිණෙන සංක්‍රමණික ඉන්දීය ජාතිකයන්ගෙන් සිදුවන අසාධාරණයන් ගැන දැඩි විරෝධයක්‌ දැක්‌වූ අතරම මරාති භාෂාව කතා කරන්නේ නම් වැඩි වටිනාකමක්‌ ලැබිය යුතු යෑයි තර්ක කළේය. විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් මුම්බායි නගරයට සංක්‍රමණය වන පුද්ගලයන් විවිධ වෙළෙඳ ව්‍යාපාරවල පරිපාලන තනතුරු දැරීම පිළිබඳවද හෙතෙම දැඩි විරෝධයක්‌ දැක්‌විය. කතේරේ ඉතා දැඩි මතධාරියකු ලෙස තම සංවිධානය මෙහෙයවූ අතර ඇතැම් අවස්‌ථාවල දැඩි ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරත වෙමින් තම අභිමතාර්ථවලට එරෙහිව කටයුතු කරන්නන් හට විරෝධය පා තිබේ.

විශේෂයෙන් මුම්බායි නගරයේ කම්කරුවන් අතර ප්‍රසිද්ධව ක්‍රියාකළ සමාජවාදී වෘත්තීය සමිති නායකයන්ට විරුද්ධවද තම විරෝධතා එල්ල කළ අතර සමාජවාදීන්ගේ නියෝජනය සැලකිය යුතු ලෙස අවම කිරීමට ඔහුගේ ක්‍රියාකාරකම් බලපෑවේය. හින්දු තම සංකල්පය, එනම් ඉන්දියානුවෙකු ලෙස ඉන්දීය සංස්‌කෘතියට අනුව ජීවත් විය යුතු ආකාරය පෙන්වා දෙන හින්දු ආගමික විග්‍රහයට අනුව තම ජීවිකාව සකස්‌ කරගත යුතුය යන තේමාව යටතේ ශිව් සේනා මූලධර්මයන් පදනම් කරගෙන තිබේ. ඒ අනුව මෙම සංවිධානය තම පදනම ගොඩ නගා ගැනීමට හින්දු ආගම පාදක කරගෙන තිබේ. පසුව ඉන්දීය ජාතික කොන්ග්‍රසය තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ශිව් සේනා සංවිධානය සමඟ කටයුතු කර ඇති අතර මෑත කාලයේ භාරතීය ජනතා පක්‍ෂයද ඔවුන් සමඟ සමීපව කටයුතු කළේය.

මෙම සංවිධානයටද උප සංවිධාන කීපයක්‌ ඇති අතර තරුණ සහ කාන්තා ව්‍යාපාර ප්‍රධාන වේ. එසේම ශිෂ්‍ය සංවිධානයක්‌ද ශිව් සේනා සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබයි. පාකිස්‌තානයට එරෙහිව ශිව් සේනා විරෝධතාවන්හි යෙදී ඇති අතරම ඉන්දියාව සහ පාකිස්‌තානය අතර මුම්බායි නගරයේ පැවැත්වීමට කටයුතු යෙදූ ක්‍රිකට්‌ මැච් නතර කිරීමට මෙම සංවිධානය සමත් වී තිබේ. එසේම ජනමාධ්‍යට එරෙහිවද කටයුතු කළ අවස්‌ථා ඇත්තේය.

ශිව් සේනා තනි පුද්ගලයකුගේ මෙහෙයවීම මත සංවිධානය වුවද බොදු බල සේනා භික්‍ෂුන් කණ්‌ඩායමක්‌ විසින් මෙහෙයවයි. එසේම මෙම සංවිධාන දෙකටම ආගමික මූලධර්මයන් වැදගත් වී තිබේ. වෙනසකට ඇත්තේ ශිව් සේනා සමාජ ව්‍යාපාරයක්‌ ලෙස ආරම්භව දේශපාලනයට සම්බන්ධ වීමත්, බොදු බල සේනා දේශපාලනයෙන් සමාජ ව්‍යාපාරයක්‌ වෙත පැමිණීමත්ය. එහෙත් බොදු බල සේනා තවදුරටත් තම ආධිපත්‍යය ව්‍යාප්ත කරලීමෙන් පසුව නැවත ජාතික දේශපාලනයට පිවිසෙන්නේ දැයි සැකහැර දැනගැනීමට වඩා නිවැරදි ක්‍රමවේදයක්‌ නොමැත. එය මැනිය හැකි එකම ක්‍රමවේදය වන්නේ සංවිධානයේ විකාශනයත් සමඟ කුමන දිශානතියකට ගමන් කරන්නේදැයි විමසිල්ලෙන් සිටීමෙනි. ශ්‍රී ලාංකික බෞද්ධයන් ඉතා සාමකාමී ලෙස කටයුතු කිරීමට කැමැති නමුත් ඇතැම් දේශපාලනික මැදිහත්වීම් මත සිදු වූ ප්‍රචණ්‌ඩත්වයන් එකී දිරිගැන්වීමට එරෙහිව සාක්‍ෂි සපයයි. එබැවින් ශිව් සේනා මෙන් බොදු බල සේනා ප්‍රචණ්‌ඩත්වය මෙවලමක්‌ කර ගත යුතු නොවේ. අහිංසාව තම ප්‍රධාන මෙවලම ලෙස භාවිත කරමින් සංවිධානයේ අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කිරීම එහිම පැවැත්ම උදෙසා ද වැදගත් වනු නියතය.

බොදු බල සේනා සංවිධානයක්‌ ලෙස ස්‌වකීය නම 'සේනා' යන නම යොදා ගනු ලැබුවද 'ශිවගේ සේනාව' (ශිව් සේනා) මෙන් හමුදාවක්‌ ලෙස කටයුතු කිරීමක්‌ මෙතෙක්‌ සිදුව නැතුවාක්‌ මෙන් අනාගතයේදී ද එම තත්ත්වය ආරක්‍ෂා කරගත යුතු වන්නේ බොදු බල සේනා සංවිධානයට විරුද්ධව මතවාදයන් විසින් ගෙනයනු ලබන මතවාදයන්ගෙන් ද ආරක්‍ෂාවීම සඳහාය. බොදු බල සේනාවේ අභිමතාර්ථයේ සහ ඒවා ඉටුකර ගැනීම පිළිබඳ ගැටලු ඇති නමුත් ඒ සියල්ල තවදුරටත් සාකච්ඡා හා සම්මුතීන් ඔස්‌සේ පිරිසිදු කර ගත යුතුය. ඒ සඳහා බෞද්ධ සමාජ දර්ශනය පාදක කර ගත යුතු අතරම එමගින් මෙකී අභිමතාර්ථයන් සමාජ ප්‍රගමනයට බෙහෙවින් ඉවහල් කරගත හැකි මට්‌ටමට දියුණු කර ගත හැකි වේ. ඊට හොඳම නිදසුන වන්නේ සප්ත අපරිහාණිය ධර්මයන්ය. බොදු බල සේනා බෞද්ධ සමාජ ව්‍යාපාරයක්‌ ලෙස අපරිහානිය ධර්මයන්ගෙන් බැහැර විය නොහැකිය. එහි පැවැත්ම පවතින්නේ ඊට අනුගතවීමෙන් මිස ව්‍යqක්‌ත වීමෙන් නොවේ. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අන් කවර විග්‍රහයකටත් වඩා වටින්නේය. බෞද්ධ සමාජ දර්ශනයේ ඇති සියලු දේ දෙස විමසිල්ලෙන් බලන විට වර්තමාන ලෝකයේ සමාජ ප්‍රගමනය උදෙසා ඇති ඕනෑම න්‍යායක්‌ හෝ සංකල්පයක්‌ වඩා තියුණු ලෙස විග්‍රහ කර ගැනීම සඳහා මාර්ගයක්‌ සලසා ගත හැකිය. අද අපට බොදු බල සේනා ඔස්‌සේ අවශ්‍යව ඇත්තේ එකී සමාජ විචාරණයයි. එය ප්‍රඥව මත පදනම්වූවක්‌ විය යුතුය. ප්‍රඥව දියුණු කර ගැනීමෙන් ශීල සහ සමාධි යන ගුණයන්ද වර්ධනය කර ගත හැකි සේම ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල මූලයන්ද පාලනය කර ගත හැකිවේ. එබැවින් එවන් පිරිසක්‌ එක්‌ව බොදු බල සේනා ශක්‌තිමත් කළ යුතුවේ. ඊට සහාය දැක්‌විය හැකි ප්‍රඥවන්තයන් අප අතර අනන්තවත් ඇත්තේය. ඔවුන් පෙරට පැමිණ බොදු බල සේනා සමාජ ව්‍යාපාරයක්‌ ලෙස ශක්‌තිමත් කළ යුත්තේය. එසේම ආරක්‍ෂා කළ යුත්තේය. ඊට අත්‍යවශ්‍ය න්‍යායාත්මක පදනම ගොඩනැගිය යුතුය. එයට ගිහි පැවිදි දෙපක්‍ෂයටම දායක විය හැකිය. එපමණක්‌ නොව වත්මන් භික්‍ෂු සාසනයේ ඇති විෂමතා සහ බිඳ වැටීම් අවම කර ගැනීමටද බොදු බල සේනා වේදිකාවක්‌ කරගත යුතුවේ.

මෙම ප්‍රයත්නයන් හිදී අප ඉතා කල්පනාකාරි විය යුතු වන්නේ යමක මතුපිටින් දක්‌නට ඇති දේට වඩා එහි සැබෑ අරුත වටහා ගැනීම සඳහාය. කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ප්‍රයෝජනය ගැනද සිතා බැලිය යුතුය. ප්‍රකට මෙන්ම හිලීන කෘත්‍යයන් ගැනද විමසිය යුතුය. මීට කදිම නිදසුනක්‌ වන්නේ 1990-91 කාලයේ ශ්‍රී ලාංකික සමාජ විද්‍යාඥයකු වන එස්‌. ෙ-. තම්බයියා විසින් රචිත "බුදු දහම පාවා දී තිබේද? ශ්‍රී ලංකාවේ ආගම, දේශපාලනය සහ ප්‍රචණ්‌ඩත්වය" කෘතියට ඇතැම් ඉතිහාසඥයන්, දේශපාලනඥයන්, බෞද්ධ භික්‍ෂුන් සහ මාධ්‍යවේදීන් දැක්‌වූ ප්‍රතිචාරයයි. මෙකී සමාජ විරෝධයන්ට ප්‍රධාන තේමාව වුණේ එම කෘතියේ අන්තර්ගතයට වඩා එහි පිටකවරයට යොදා තිබූ පින්තූරයයි. එනම් මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ආවේගාත්මක කතාවක්‌ සම්බන්ධ පින්තූරයකි. කිසිවෙකු මෙම කෘතියේ අන්තර්ගතය විවේචනය කළේ නැත. පිටකවරය පිළිබඳ උවමනාවට වඩා විවේචන එල්ල කළේය. කතුවරයා ද්‍රවිඩ ජාතිකයකු වූ පමණින්ම ඔහුවද විවේචනය කළේය. ඊට ද්‍රවිඩ ඊළාම් යුද්ධයද සම්බන්ධ කරගනු ලැබීය. අපට අපගේ මතවාදයන් දැරීමට අයිතියක්‌ ඇතිවාක්‌ මෙන්ම අන් අයටද ඔවුන්ගේ මතවාදයන් දැරීමට අයිතියක්‌ ඇත්තේය. ඒවා ඉවසීමට මෙන්ම සමාජ සම්මතයන්ට අනුව ප්‍රතිචාරයන් දැක්‌වීමටද ක්‍රියා කළ යුතුය. එබැවින් මතුපිටින් ඇති දේට වඩා යමක හරය දෙසද ප්‍රමාණවත් තරමට අවධානය යොමු කළ යුතුය. බොදු බල සේනා සංවිධානය පිළිබඳව විවේචන නැතුවා නොවේ. ඊට අප ඉතා හොඳින් පිළිතුරු දිය යුතුය. එය කළ යුත්තේ ඊටම ආවේණික ප්‍රතිපත්තියකට අනුවය. විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය රටාව හිතකර එකක්‌ නොවේ. එය ඕනෑම අයෙකුට තවකෙකුගේ ආත්මය විනාශ කිරීමට ලැ-ජාවකින් තොරව භාවිත කළ හැකිය. ආචාර ධර්මවලින් බැහැර වෙමින් පවතී. එබැවින් එම තත්ත්වය බොදු බල සේනාවට මෙන්ම මෙම ලිපියේ කතුවරයාටද, ඉතා අහිංසක නොදරුවෙකුටද අහිතකර ලෙස බලපෑ හැකිය. එය එක්‌තරා මාෆියාවකි. එබැවින් බොදු බල සේනා තමන්ට එරෙහිව ඇති බලවේගයන් න්‍යායිකව මෙන්ම මතවාදීවද පරාජයට පත් කළ යුත්තේය.

මෙවැනි පසුබිමක සිවිල් සමාජය අවධිකර ගැනීමට මෙන්ම ඔවුන්ගේ වගකීම සහ වගවීම පෙන්වා දීමට බොදු බලසේනා ක්‍රියා කළ යුතුය.

මියගිය ශ්‍රී ලාංකික සමාජය අර්ථයෙන්, ධර්මයෙන් සහ ක්‍රියාවෙන් පරිවර්තනීය යුගයකට ගෙනයැම උදෙසා මහජනතාවට මග පෙන්වීමට බොදු බල සේනා කටයුතු කළ යුතුය. සියලු දෙනා අතර සැකය, අවිනිශ්චිතභාවය සහ ව්‍යාකූලතාවක්‌ ඇති නොවන සේ ක්‍රියා කිරීමෙන් ශ්‍රී ලංකාව ලබා ඇති භෞතික දියුණුවට ආධ්‍යාත්මික වටිනාකමක්‌ ලබාදීමකි. එම වගකීම බොදු බල සේනා ඉතා ඕනෑකමින් ඉටු කරනු ඇතැයි අපේක්‍ෂා කරමු.

මහාචාර්ය කේ. කරුණාතිලක
කැලණිය විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2013/04/21/politics01.html

0 comments: