Pages

Friday, April 12, 2013

සැත්කමකින් තුන්වන ඇස පාදාගත් ලාමාවරයකුගේ පුනර්භවය

ලොබ්සැංග් රම්පා පිළිබඳ කතාව ආත්ම කිහිපයක පුරාවෘත්තයකි. එහි පළමු වන ආත්මය සියවස්‌ ගණනාවක්‌ පැරණි නමුත් අවසන් ආත්මය කෙළවර වන්නේ මෙයට වසර 32 කට පෙර, එනම් 1981 ජනවාරි 25 වැනිදා ය. ලොබ්සැංග් රම්පා යන නම එයට අදාළ පොත්පත්වල සහ වෙබ් අඩවිවල සඳහන් වන්නේ Tuesday Lobsang Rampa යනුවෙනි. හේ පළමු ආත්මයේ තිබ්බතයේ උපත ලබා මහායාන භික්‍ෂුවක ලෙස භාවනානුයෝගීව ප්‍රාතිහාර්ය පාමින් ජීවත් වෙයි. ඒ මෙයට අවුරුදු 400 කට පමණ පෙරය. ඉන්පසු අපවත් වන ඒ ලාමා තවත් තුන්වරක්‌ පමණ උපත ලබා 1910 අප්‍රේල් 10 වැනිදා බ්‍රිතාන්‍ය පවුලක පිරිමි දරුවකු ලෙස යළි උපදී. ඒ ඩෙවන් ප්‍රදේශයේ ප්ලිම්ප්ටන් පළාතේදී ය. ඔහුගේ අවසන් ආත්මයේ නම සිරිල් හෙන්රි හොස්‌කින් ය. (අවසන් ආත්මය යයි කීමෙන් ඔහු නිවන් මගට පිළිපන්නේය යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ නැත.)

ලොබ්සැංග් රම්පා ගැන ලෝක වාසීන් මුල්වරට දැන ගන්නේ 1956 දී ය. ඒ වසරේදී ඔහු විසින් ලියන ලද තුන්වන ඇස (The Third Eye) නමැති කෘතිය මුද්‍රණයෙන් නිකුත් වී ඉතාම ප්‍රසිද්ධ විය. එම පොතින් හෙළි වන්නේ පෙර ආත්මයේදී තිබ්බතගේ තාපසාරාමයක ඔහු ගත කළ ජීවිතයයි. ඔහු තාපසාරාමයට යන්නේ වයස අවුරුදු හතේදී ය. එහිදී ට්‍රිපයිනය (Trephine) නමැති සැත් පිහියකින් ඔහුගේ නලල හාරා සැත්කමක්‌ කර තුන්වැනි ඇස පාදනු ලැබේ. ට්‍රිෆයිනිං නමැති ශල්‍යකර්මය ලෝකයේ මූලාරම්භක ශල්‍යකර්මවලින් එකක්‌ බවට ඓතිහාසික සාක්‍ෂි තිබේ. ප්‍රංශයේ ඇති ක්‍රිස්‌තු පූර්ව 6500 ට අයත් හෙවත් මෙයට වසර 8500 කටත් වඩා පැරණි සුසාන භූමියක තිබී මේ සැත්කම කළ හිස්‌කබල් 40 ක්‌ හමුවිය. හිස්‌කබල තුළ හටගන්නා ආබාධවලට ප්‍රතිකාර කිරීම සඳහා එහි ඇති Duna Mater කොටස හෙවත් මොළයේ වැස්‌ම පාදා ගැනීම සඳහා හිස්‌කබලේ විවරයක්‌ පාදා ගැනීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය විය. විෂබීජ නිසා මොළය ආසාදනය වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා ට්‍රිෆයින් සැත්කම අතීකයේදී අවදානම් විය. මොළයේ වැස්‌ම හෙවත් මේ පටලය තුළ විටින් විට රුධිරය එකතු වෙයි. පුරාණ වෛද්‍යවරු මේ බව අනුමාන කර ට්‍රිෆයිනයෙන් හිස්‌ කබල හාරා එම රුධිරය ඉවත් කළහ. මේ සැත්කම වැරදි සහගත ලෙස සිදු වූ විට ඒ මගින් මොළය තුළ හටගන්නා ස්‌නායු තෙරපීම් හෝ සෛල තෙරපීම් නිසා රෝගීන්ට මනෝවිකාර පෙනුන අවස්‌ථාද විය. පුරාණ ලෝකය විසින් මේ මනෝවිකාර හඳුන්වන ලද්දේ දෙවියන් පෙනීම හෝ දේවත්වයට අදාළ දර්ශන පෙනීම ලෙසය. අද මේ සැත්කම අවිද්‍යාත්මක සැත්කමක්‌ ලෙස සලකා බැහැර කරනු ලැබේ.

කෙසේ වුවද ලොබ්සැංග් රම්පාගේ පෙර භවයේදී ට්‍රිෆයිනිං සැත්කම කර ඇත්තේ හිසේ රෝගයක්‌ සුව කිරීමට නොව තුන්වැනි ඇස පාදා ගැනීම සඳහාම ය. සිදුර සාදන ලද්දේ ඔහුගේ නළල් තලය මතය. පෙර භවයේදී හත් අවුරුදු දරුවකු ලෙස තමා විඳි අත්දැකීම සිරිල් හෙන්රි හොස්‌කින් හෙවත් ලොබ්සැංග් රම්පා සිය පොතේ විස්‌තර කරන්නේ මෙසේය.

“ගින්නෙන් රත් කර ශාක සාරවල ඔබන ලද සියුම් ලී උලක්‌ මගේ නළල මත තබා තද කරන ලදී. නාසය නලලට එකතු වන තැන දැරිය නොහැකි තරම් වේදනාවක්‌ හටගත් අතර එය ක්‍ෂණයකින් පහව ගොස්‌ මීට කලින් අත් නොවිඳි සුගන්ධයන් රාශියක්‌ මා අවට ඇති බව මට දැනිණ. ඉන්පසු ඉතා තියුණු ආලෝකයක්‌ මගේ දැස්‌ නිලංකාර කරමින් දැල්වී නිවී ගියේය. ඒ සමගම දඟරාකාර වර්ණාවලියක්‌ හටගෙන නැති විය. එවිට, මිංග්යාර් ඩොන්ඩප් ලාමාවරයා මගේ කනට කොඳුරා මෙසේ කීයá ලොබ්සැංග්, මින් පසු ඔබ අපේ කෙනෙක්‌. මිනිසුන් කරන්නේ රඟපෑමක්‌ බවත් ඔවුන්ගේ සැබෑ ස්‌වරූපය වෙනස්‌ බවත් මෙතැන් පටන් ඔබට පෙනෙන්නට පටන් ගන්නවා ඇති.

තුන්වැනි ඇස කෘතිය ගලාගෙන යන අතර ලොබ්සැංග් රම්පා යෙටී නමැති හිම මිනිසුන් වර්ගය හමුවන ආකාරයත් ඔහුගේම තවත් භවයක මමිකරණය කළ සිරුර ඔහුට දැගන්නට ලැබෙන ආකාරයක්‌ සඳහන් ය.

තුන්වැනි ඇස ග්‍රන්ථයේ අත් පිටපත බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ප්‍රකාශකයන් කිහිප දෙනකු වෙත ගෙනයනු ලදුව ප්‍රතික්‍ෂේප විය. පසුව Sacker and Warburg නමැති ප්‍රකාශන සමාගම පවුම් 800 ක අත්තිකාරමක්‌ ගෙවා එය මිලට ගත්තේය. ඒ වන විට මේ ග්‍රන්ථයේ ලේඛකයාගේ නම ලෙස එහි ලේඛක සිරිල් හෙන්රි හොස්‌කින් යොදා තිබුණේ ආචාර්ය කාර්ල් තුවෝන් සුවෝ යන අන්වර්ථ නාමයයි. එහෙත් එහි ප්‍රධාන චරිතය ලොබ්සැංග් රම්පා නමින්ම ග්‍රන්ථය තුළ තිබිණි. ග්‍රන්ථයේ ලේඛකයාගේ නම විය යුත්තේ ද ලොබ්සැංග් රම්පා යන්නට බව ප්‍රකාශක Warburg විසින් සිරිල් හෙන්රි හොස්‌කින්ට යෝජනා කරන ලදී. 1956 දී මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ මේ පොත ඉතා සුළු කලක්‌ තුළ ලෝකයේ විශාලතම අලෙවියක්‌ ඇති පොතක්‌ බවට පත් විය. මේ අතර පොතට විරුද්ධව ද ව්‍යාපාරයක්‌ හට ගත්තේය. ලේඛක සිරිල් හොස්‌කින්ට දාර්ශනික පසුබිමක්‌ නැති බවත් ඔහු වෘත්තීය පතල්කරුවකු බවත් රහස්‌ පරීක්‍ෂකයෙක්‌ විසින් හෙළි කරගනු ලැබීය. ලොබ්සැංග් රම්පා ඒ සියල්ල පිළිගත් අතර මේ භවයේදී තමා තුළ සිටින ආත්මයේ නියම නම ලොබ්සැංග් රම්පා බව කීවේය. ඉන්පසු ඔහු උසාවියට දිවුරුම් ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර එම නම නීත්‍යනුකූල කර ගත්තේය.

සිරිල් හෙන්රි හොස්‌කින් යනු කිසි කලෙකත් තිබ්බතයට ගිය කෙනෙක්‌ නොවීය. එහෙත් තුන්වැනි ඇස, තිබ්බතය පිළිබඳව සියයට සියයක්‌ම නිවැරැදි තොරතුරු ඇතුළත් පොතක්‌ බව තිබ්බතය සහ මහායාන බුදුදහම විශ්වවිද්‍යාලවල විෂයක්‌ ලෙස උගන්වන Donald S Lopez (ඔහු ඇමරිකාවේ මිචිගන් සරසවියේ මහාචාර්යවරයෙකි.) කියයි. ලොබ්සැංග් රම්පා යන නම ඉවත් කර තෙවන ඇස පොත බුදුදහම හදාරන නව ශිෂ්‍ය පිරිසට දුන් විට ඔවුන් එයට වශීකෘත වූ බවත් එතැන් සිට එළැඹි සති හය තුළ ඔවුන් වෙනත් කිසිදු දේශනයකට සහභාගි නොවී එම පොත පිළිබඳ සාකච්ඡා කරමින් තිබ්බත බුදුදහම පිළිබඳව තවදුරටත් සෙවූ බවත් ඔහු කියයි.

සිරිල් හෙන්රි හොස්‌කින් යන බ්‍රිතාන්‍ය ජාතිකයා ලොබ්සැංග් රම්පා නමැති තිබ්බතියා බවට පත් වන්නේ කෙසේද? තරුණ වියේ සිටියදී බකමූණකුගේ පින්තූරයක්‌ ගැනීමට ගසකට නැගුණු විට එයින් වැටී සිහිසුන් වීමෙන් පසුය. එසේ සිහිසුන්ව සිටියදී තමා වෙත පැමිණි බෞද්ධ භික්‍ෂුවක්‌ උන්වහන්සේගේ අන්තරාභවය පදිංචි කරවීම සඳහා තම සිරුර ඉල්ලූ බවත් තමාද ජීවිතය කෙරෙහි කලකිරී සිටි නිසා සිරුර දීමට කැමැති වූ බවත් සඳහන් කරයි. එතැන් සිට තමා හොස්‌කින් නොව ලොබ්සැංග් රම්පා බවට පත් වූයේ යෑයි ඔහු කියයි. ශතවර්ෂ කිහිපයක්‌ තිස්‌සේ රම්පා භික්‌ෂුව පුනර් භවයන් කිහිපයක්‌ ලැබ හොස්‌කින්ගේ සිරුරට ඇතුළු වන්නට ඉඩ ඇති බව ගුප්ත විද්‍යාඥයෝ කල්පනා කරති. මෙය හඳුන්වන්නේ Transmigration of the Soul ලෙසය. “මෙය ආත්මවාදයකට වඩා ළංවන්නේ මනෝකාය හෙවත් මනුස්‌මෘතිය නමැති සිතුවිලි පරම්පරාවටය. කෙනකු මළ විට ඔහුගේ සිතුවිලි පරම්පරාව සුදුසු දරු කලලයකට (මාතෘ ගර්භාෂයක ඇති) අවතීර්ණ වෙයි. මේ සිතුවිලි පරම්පරාව භවයෙන් භවයට යන්නේ ‘ආසාව’ මත පදනම්ව ය.

හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමාගේ පරම විඥානාර්ථ සර්ව ආගමික සංගමයේ මතවාදයට අනුව ‘තුන්වන ඇස්‌ යන සංකල්පය ජීව විද්‍යාත්මකය. ඔවුන්ගේ අර්ථකථනයට අනුව පුරාණ කාලයේදී මිනිසුන්ගේ හිස පිටුපස ඇසක්‌ තිබිණි. ජීව විද්‍යාත්මක මෙන්ම ගුප්ත විද්‍යාත්මක ක්‍රියාකාරිත්වයක්‌ද එයට තිබිණි. කාලයාගේ ඇවෑමෙන් මිනිසා පරිනාමය වන විට එම ඇස මොළය මධ්‍යයට කි¹ බැස්‌සේය. අද මේ ඇස Pineal Gland යනුවෙන් අපගේ මස්‌තිෂ්කය තුළ තිබේ. මෙය මිලිමීටර් 5 සිට 8 දක්‌වා ප්‍රමාණයෙන් යුක්‌ත ය. රතු සහ අලු පැහැයෙන් සමන්විත ය. කේතුවක හැඩය ගන්නේය. කොඳු ඇට සහිත සත්ත්වයන්ට පිහිටන මෙය ශරීරයේ ආම්ලික තත්ත්වය පාලනය කරන රසායනික ද්‍රව්‍යයක්‌ නිකුත් කරන අතර නිදාව පාලනය කරන බවද සොයාගෙන තිබේ. මිනිසකු මිය යන විටද, මරණාසන්න වන නමුත් නොමැරෙන මොහොතකදී ද පිනියල් ග්‍රන්ථිය මගින් DMT නමැති රසායනික ද්‍රව්‍යයක්‌ විශාල ලෙස නිෂ්පාදනය කර ශරීරයට මුදාහරී.

මේ ග්‍රන්ථිය නිදාව පාලනය කරන්නේ නම් එහි තේරුම එය ස්‌ථිර වශයෙන්ම ස්‌නායු පද්ධතියට බලපෑමක්‌ කරන බව ය. මෝහනය යනු අර්ධ නිදා තත්ත්වයකි. මෝහනය මගින් පෙර භවය දක්‌වා මනුෂ්‍ය සිතුවිලි රැගෙන ගිය හැකි බවට විශ්වාසයක්‌ පවතී. තුන්වැනි ඇස මගින් අතීතය දැකිය හැකිය යනුවෙන් මතයක්‌ තිබෙන අතර එතැනදී පිනියල් ග්‍රන්ථිය සහ තුන්වැනි ඇස අතර සම්බන්ධයක්‌ ගොඩනැගිය හැකිය.

ලොබ්සැංග් රම්පා මෙයට ශත වර්ෂ කිහිපයකට පෙර තිබ්බතයේ ඉපිද සිටි සමයේදී තෙවන ඇස පාදා ගැනීමෙන් පසු එවකට සිටි දලයි ලාමා තුමාගේ වාස භවනයේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කර ඇත. දලයි ලාමාතුමා හමුවීමට එන පුද්ගලයන්ගේ අභ්‍යන්තර ස්‌වරූපය හඳුනාගෙන එතුමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීම ඔහුට භාරවී තිබූ බව කියනු ලැබේ. රම්පාගේ අවසාන පුනර්භවයට පෙර භවයේදී එවකට සිටි දලයි ලාමා (1878) හමුවීමට ද හැකි වූ බව ඔහු කියයි.

මතභේදයට තුඩු දෙන චරිතයක්‌ වන නමුදු ලොබ්සැංග් රම්පා යනු අත්හැර දැමිය හැකි චරිතයක්‌ නොවේ. ඔහුගේ පොත්වල එන බොහෝ දේ ඔහු කිසි කලෙකත් පය නොතැබූ තිබ්බතීය ඉතිහාසය සමග එකඟය. රම්පාගේ තුන් වැනි ඇස පිළිබඳ අදටත් පර්යේෂණ පැවැත්වේ. භෞතික විද්‍යාඥයන් මෙයට විඤ්ඤාණවාදී අවසානයක්‌ දීමට කැමැතිය. ගුප්ත විද්‍යාඥයන්, පුනර්භවවාදීන්, අධ්‍යාත්මිකවාදීන් මෙය දකින්නේ තාත්වික සිද්ධියක්‌ ලෙසය.

- අනුර සොලමන්ස්‌ / Divaina

April 12, 2013 at 12:10 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93052/

1 comments:

HEMNET said...

interest about this article