Pages

Wednesday, April 17, 2013

අර්බුද හමුවේ නොසැලුණු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායිකාව - 'මැතිනිය'

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ බටුගෙදර පුස්‌සැල්ල ලියද්ද වලව්වේදී 1916 අප්‍රේල් 17 වැනි දින සිරිමාවෝ රත්වත්තේ කුල කුමරිය උපත ලැබුවාය. ඇයගේ මවුපියන් වූයේ මහයියාවේ බාන්ස්‌ රත්වත්තේ දිසාව සහ බලංගොඩ රොස්‌මන්ඩ් හිල්ඩා කොන්ස්‌ටන්ට්‌ මහවලතැන්න කුමාරිහාමිය. රාජයෝග තුරුලු කරගෙන මෙලොව එළිය දුටු සිරිමාවන්ට එක්‌ සහෝදරියක්‌ සහ සහෝදරයන් සිව්දෙනෙක්‌ විය. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ෆර්ගසන් උසස්‌ බාලිකා විදුහලිනි. ඉන් අනතුරුව ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමයට ඇතුළු වූ සිරිමාවෝ මෙනෙවිය එහිදී උසස්‌ අධ්‍යාපනය හැදෑරුවාය. කේම්බ්‍රිජ් සීනියර් විභාගය සමත්වීමෙන් අනතුරුව පාසල් ජීවිතයට ආයුබෝවන් කියා බලංගොඩ සිය පාරම්පරික වලව්වට ගොස්‌ සමාජ මෙහෙවරෙහි යෙදෙමින් සිය මෑණියන්ගේ වෙදහෙදකම්වලට අත් උදව් දෙමින් බලංගොඩ ජනතාව සුවපත් කිරීමේ සාර්ථක සමාජ ජීවිතයකට යොමු වූවාය.

මෙහිදී ඇයට සිය මවගේ ආශිර්වාදය ලැබුණු අතර පවුලේ වැඩිමලා වශයෙන් අනෙකුත් සහෝදර සහෝදරියන් බලා කියා ගෙන ඉතාමත් සාර්ථක ජීවිතයක්‌ ඇය ගත කළාය.

1940 ඔක්‌තෝබර් මස 08 වැනි දින එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටි සොලමන් වෙස්‌ට්‌ රිඡ්වේ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතා සමඟ අතිනත ගත් සිරිමාවෝ මෙනෙවිය එදා සිට සිරිමාවෝ රත්වත්තේ ඩයස්‌ බණ්‌ඩාරනායක නම් වූවාය. මෙම විවාහ ජීවිතයෙන් ඇයට දියණියන් දෙදෙනකු සහ පුතණුවකු ලැබීමේ මහිමය ලැබීය. සුනේත්‍රා වැඩිමහල් දියණිය වූ අතර චන්ද්‍රිකා කනිටු දියණිය වූවාය. එකම පුත් අනුරය. පසුකාලීනව මේ රටේ හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මව වීමේ වාසනාව ඇය ලැබුවාය.

1956 වසරේ මෙරට පොදුජන යුගයක්‌ උදා කළ අගමැති බණ්‌ඩාරනායක මහතා 1959.09.26 වැනි දින සාහසිකයකුගේ වෙඩි පහරින් අභාවප්‍රාප්ත වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියමුවකු නොමැති යාත්‍රාවක්‌ බවට පත්විය. මෙම හේතුව නිසාම 1960 මාර්තු මැතිවරණය ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අසීරු විය. මැතිනියට පක්‍ෂ නායකත්වය භාර ගන්නා ලෙස දසතින්ම ඉල්ලීම් ලැබුණු අතර පසුව අකැමැත්තෙන් වුවද ඇය පක්‍ෂයේ නායකත්වයට පත්වූවාය. 1960 ජූලි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජය මාවත කරා යොමුකරවීමට ඇය සමත් වූවාය. 1960 ජුලි මැතිවරණය ජයගත් මැතිනිය ශ්‍රී ලංකාවේ 05 වැනි අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ඒ අනුව 1965 වසර දක්‌වා ඇය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වශයෙන් වාර්තාවක්‌ පිහිටුවමින් රටට නොමැකෙන සේවාවක්‌ ඉටුකරන ලදී.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ලංකාවේ රාජ්‍ය නායකත්වයට පත්වූයේ මුළු ලොවම අවදි කරවමිනි. ඇයට ලංකා දේශපාලනයේ සන්ධිස්‌ථානයකට පැමිණීමට හැකිවීම ඉතාමත් භාග්‍යයකි. දේශීය සහ ජාත්‍යන්තර මට්‌ටමේ අභියෝගවලට ඇය මුහුණ දුන්නාය. ඒ වාගේම විවිධ අර්බුද මතභේද නිසා එක්‌තැන් කළ නොහැකිව තිබූ වාමාංශික කඳවුර ඒකරාශි කිරීමේ වගකීම ද ඇය ඉටු කළාය. ඉන්දියානු සාගරයේ ඉතා කුඩා දූපතක්‌ව තිබූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දේශපාලනයේ දිදුලන රාජ්‍යය බවට පත්කිරීමේ කටයුත්ත කළේ මැතිනියයි. ඇමරිකානු කඳවුරේ ආධිපත්‍යයට නතු වූ ලංකාවේ තෙල් සමාගම් ජනසතු කිරීමේ කාර්යය ඇය නිර්භයව ඉටු කළාය. ඉන්දියාව සමඟ සුහදත්වය බෙදාගනිමින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අත්පත් කරගෙන සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම මගින් රටක්‌ අහිමි ඉන්දියානු පුරවැසියන්ගේ ප්‍රශ්නය එක පෑන් පහරින් විස¹ලීමට ඇය සමත් වූවාය. 1971 කැරැල්ල වැනි සිවිල් යුද තත්ත්වයට ඇය එඩිතරව මුහුණ දුන්නාය. 1956 න් පසු ඇරඹි සමාජ ආර්ථික රටාවන්හි ප්‍රගතිය ඉදිරියට ගෙනයැමට ඇය සමත් වූවාය. ශ්‍රී ලංකාව මුළුමනින්ම ජනරජයක්‌ බවට පත්කරමින් අපේ රටේ ස්‌වාධීනත්වය ඉහළින් ඔසවා තබන්නට ඇය පෙරමුණ ගත්තේ ජනරජ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට නායකත්වය දෙමිනි. 1970 මැතිවරණයෙන් පසු බොහෝ දේ ඉටුකිරීමට ඇය සමත් වූවාය.

ජාත්‍යන්තර දේශපාලනයේදී සිරිමාවෝ බණ්‌ඩාරනායක ලකුණ ඉතා වැදගත් විය. සීතල යුද්ධයේ බල කඳවුරු දෙකකට නොබෙදී තුන්වැනි ලෝකයේ රටවල් ස්‌වාධීන අනන්‍යතාවකින් යුතුව නැඟී සිටීමේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයැම සඳහා නොබැඳි ව්‍යාපාරයට ජීවය දුන් තුන්වැනි ලෝකයේ නායිකාව වූයේ සිරිමා මැතිනියයි. නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානය කෙරෙහි ගෙනයැමට ඇය සමත් වූවාය. අප රට අධිරාජ්‍ය බැම්මෙන් මිදීම පරිපූර්ණත්වයට පත්කර අප රට ජනරජයක්‌ බවට පත්කළේ ද එතුමියගේ රාජ්‍ය සමයේදීය.

සිරිමාවෝ මැතිනිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවසතොත් ශ්‍රේෂ්ඨ නායිකාවකි. මේ රටේ සිටි රාජ්‍ය නායිකාවන්ට තමන්ගේ නම සඳහන් කර මැතිනිය යනුවෙන් ආමන්ත්‍රණය කළත් සිරිමාවෝ යන නම සඳහන් නොකර මැතිනිය වෙනුවෙන් ඇමතුවොත් ඒ අනිවාර්යයෙන්ම සිරිමාවෝ රත්වත්තේ ඩයස්‌ බණ්‌ඩාරනායක මැතිනිය බව මුළු ලෝකයම දනී.

මෙසේ විශිෂ්ට ගුණාංගයෙන් සපිරි සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් එදා එක්‌සත් ජාතික පක්‍ෂයේ සිටි ප්‍රතිගාමී පාලනය ක්‍රියා කරන ලදී. එය ලංකා දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමක්‌ වූ අතර නැවත ඇයට 1986 ඔක්‌තෝබර් 16 වැනි දින ප්‍රජා අයිතිය ලැබිණි.

දේශයක්‌ ගොඩනඟන්නට කාන්තාවන් අතින් ද ඉටුවන යුග මෙහෙවර පිළිබඳව ලෝක ඉතිහාසගත නාමාවලියට ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් ද තෙවරක්‌ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය දැරූ සිරිමාවෝ හිටපු අගමැතිනියගේ නාමය එක්‌වේ. මෙසේ දශක 04 ක්‌ පමණ ශ්‍රී ලාංකික ජනතාවට ඇය අනුපමේය සේවාවක්‌ ඉටුකරන ලදී. 2000.10.10 දින පැවැති මහ මැතිවරණයේදී අත්තනගල්ල නිට්‌ටඹුව ඡන්ද මධ්‍යස්‌ථානයට ගොස්‌ ඡන්දය ප්‍රකාශ කර ආපසු කොළඹ බලා එමින් සිටියදී මෙම උදාර මාතාව දැයෙන් සමුගන්නා ලදී.

ඉන්දියන් සාගරයේ මුතුඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා ද්වීපයේ රාජ්‍ය නායිකාව වශයෙන් විදෙස්‌ මහ බලවතුන් හමුවේ නොසැලී සිටි මෙම උදාර කාන්තාවට අජරාමර නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

(මේ රටේ සිටි කෘතහස්‌ත දේශපාලන නායිකාවකවූ හිටපු අගමැතිනි සිරිමාවෝ ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිනියගේ 97 වැනි ජන්ම දිනය 2013.04.17 දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි)
ලංකා සෝල්ට්‌ ලිමිටඩ්හි මහලේවායේ සුගතපාල වේරදූව
http://www.divaina.com/2013/04/17/feature01.html

1 comments:

HEMNET said...

මෙවැනි වටිනා ලිපි කියවන්නන් අඩු වීම අපේ රටේ අභාග්‍ය නොවේද ?