Pages

Thursday, April 4, 2013

වාසු හදන්නේ බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් මර්දනයට පනතක් ගෙන්නයි - ජාතික සංඝ සම්මේලනය

අන්‍යාගම්කරණයට එරෙහි පනත පාර්ලිමේන්තුවට ගෙන එද්දී නිහඬව සිටි ජාතික ඒකාබද්ධතා ඇමැතිවරයා බෞද්ධ භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් මර්දනය සඳහා පනතක් ගෙන එන්නට සූදානම් වීම පිළිබඳ ව දැඩි විරෝධය පළ කරන බව ජාතික සංඝ සම්මේලනය පවසයි.

මෙවැනි පනතක් ගෙන එන්නට උත්සාහ කරන්නේ ජාතියක් හරියට නැති, ආගමක් අදහන්නේ නැති පුද්ගලයන් විසින් යැයි කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ ජාතික සංඝ සම්මේලනයේ සභාපති රජවත්තේ වප්ප හිමියෝ ප‍්‍රකාශ කළහ.

වප්ප හිමියෝ මෙසේ ද ප‍්‍රකාශ කළහ.

‘රටට, ජාතියට හානි සිදුවන හැම විටක ම දේශහිතෛෂී භික්ෂූන් පෙරට ආවා. අනෙක් ආගමික අන්තවාදී කණ්ඩායම් කරන කියන දේවල් වාසුදේව ඇමැතිතුමාට නො පෙනෙනවා විය හැකියි.

කූරගල බෞද්ධ සිද්ධස්ථානය ඔවුන්ට හිමි තැනක් යැයි අන්තවාදීන් කියනවා. එය සර්වාගමික මධ්‍යස්ථානයක් කරන්න කියලත් ඉල්ලීමක් තියෙනවා. මේ රටේ හුඟක් වියවුල් තියෙන්නේ මේ සර්වාගාමික සංවිධාන නිසයි. ඒවා ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධානයි.

මේ පවතින තත්ත්වය ගැන කතා කරන්න හැම දෙනා ම එක තැනකට එක් කළ යුතුයි. ඇත්තට ම නම් මහනාහිමිවරුන් ඇතුළු දැන උගත් උදවිය මේ සම්බන්ධ ව එක්ව කතා කර තිබෙනවා. නමුත් අවශ්‍ය තීරණ නෑ.

ප‍්‍රශ්න ඇති කරගෙන අවුල් වියවුල් හදාගන්න අපි ලැහැස්ති නැහැ. අපේ ප‍්‍රශ්න අපි එකතුවෙලා විසඳා ගනිමු. නිතර ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එක විය යුතුයි. ආගමික නීතිත් ඒ තුළ තිබිය යුතුයි. ආගමික නීතීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වඩා ඉහළට පැමිණීම අවශ්‍ය නෑ’

April 4, 2013 at 8:34 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92681/

0 comments: