Pages

Wednesday, April 24, 2013

දෙජාස අන්වාර්යයෙන්ම ඊලමට පාර කපනවා. කොටි කළ වාර්ගික සංහාරය නිවැරදි කරනතුරු උතුරේ පළාත් සභා එපා - ජානිපෙ

නව ඊළාම් මෙහෙයුම පැරදවීම සඳහා වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව පෙළගැස්වීමට මෙවර මැයි දිනය යොදා ගැනීමටත් ඒ වෙනුවෙන් මැයි දින පෙළපාලිය හා රැලිය වෙනම පැවැත්වීමටත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇතැයි එහි නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ලේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ජාතික නිදහස් පෙරමුණ බිහි වී ගෙවී ගිය වසර 05කට ආසන්න ඉතිහාසය පුරා අප ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම පිණිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්‍ෂයක් ලෙස එහි මැයි දින රැලියට සහභාගී වූවා. ඒ කාලය තුළ ජාතික නිදහස් පෙරමුණ, තනිව සංවිධානය කළ මැයි දින පෙළපාලියකින් පැමිණ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියට එක් වීම තමයි සිදු වූයේ. මෙවර ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබෙනවා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් වෙනම මැයි දින පෙළපාලියක් සහ රැලියක් පැවැත්වීමට.

එවැනි තීරණයක් ගැනීමට හේතු වූ කරුණු රට හමුවේ තැබීමට මෙම මාධ්‍ය හමුව යොදා ගනු ලබනවා. ඔබ දන්නවා, මේ වන විට ආණ්ඩුව විවිධ අයුරින් ප‍්‍රකාශ කොට තිබෙනවා, උතුරු පළාත් සභා මැතිවරණය 2013 සැප්තැම්බරයේ පවත්වන බව. සැප්තැම්බරයේ හෝ අන් කවර දිනයක හෝ උතුරු පළාත් සභා මැතිවරණය, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලතලවලට අනුකූලව පැවැත්වුවහොත් එය විශාල ව්‍යසනයකට පාර කැපීමක්. එසේ කළහොත් නිසැක වශයෙන්ම මෙම උතුරු පළාත් සභා මැතිවරණය, දෙමළ ඊළාම් බෙදුම්වාදී, ජාතිවාදී දේශපාලනයේ නව මෙහෙයුම, ආරම්භ කරන අවස්ථාව බවට පත් වෙනවා.

අප දන්නවා සෙසු පළාත් සභා ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්‍ෂවල සහයෝගය පවතින පළාත් සභා බව. නැගෙනහිර පළාත් සභාව පවා එහෙමයි. නමුත් උතුරු පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය අතට ගියොත්, රටට අහිතකර තත්ත්වයක් නිර්මාණය වීම නිසැකයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට හිමි වී ඇති බව කවුරුත් පිළිගන්නා, එහෙත් සෙසු පළාත් සභා භුක්ති නොවිඳින සුවිශේෂ බෙදුම්වාදී බලතල වෙනුවෙන් ඔවුන් සටන් වදින්න පටන් ගන්නවා. ඔවුන් ඒ බෙදුම්වාදී බලතල ලබා ගන්නවා පමණක් නොවෙයි, ඒ බලතල පාවිච්චි කරන්නත් පටන් ගන්නවා. මේ සුවිශේෂ පාලන ඒකකයට බටහිර අධිරාජ්‍යවාදී රටවල් දිය හැකි සියලූ අනුග‍්‍රහය ලබා දීමට පටන් ගන්නවා. මේ තත්ත්වය ඇති වන බව දැන දැනම එය වැළැක්වීමට කිසිදු පියවරක් නොගෙන කටයුතු කිරීමට ජාතික නිදහස් පෙරමුණ ලෙස අප විරුද්ධයි.

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ජන සංයුතිය අද එහි නැහැ. 1980 පැවැති සිංහල, දෙමළ, මුස්ලිම් ජන සංයුතිය අනුවයි එම මැතිවරණය සාධාරණ ලෙස පැවැත්විය යුත්තේ. කොටි ත‍්‍රස්තවාදීන් විසින් මිලිටරි බලයෙන් උතුරේ සිංහල, මුස්ලිම් ජනතාව පළවා හැරියාට පස්සේ තවමත් ඒ අවතැන් වූ පිරිස් යළි පදිංචි කිරීමට අවශ්‍ය පියවර ගෙන නැහැ. දෙමළ ජාතික සන්ධානය මේ අවතැන් වූ සිංහල, මුස්ලිම් පිරිස් යළි උතුරේ පදිංචි කරවීමට විරුද්ධව මත ප‍්‍රකාශ කරනවා. දෙමළ ජනතාව උතුරේ පදිංචි කිරීම පිළිබඳව කිඹුල් කඳුළු හෙළන අන්තර්ජාතික ප‍්‍රජාව, මේ කොටි ත‍්‍රස්තවාදීන් මිලිටරි බලය යොදා පලවා හරින ලද උතුරේ සිංහල, මුස්ලිම් ජනතාව පිළිබඳව වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ ප‍්‍රශ්නය හමුවේ ඔවුන් නිහඩයි. මෙසේ මිලිටරි බලයෙන් විකෘති කරන ලද ජන සංයුතියක් පවතින විට පවත්වන පළාත් සභා මැතිවරණයකින් දෙමළ, ජාතිවාදී බෙදුම්වාදී උවමනාව මිසක් වෙනත් කිසිදු උවමනාවක් ඉටුකර ගත නොහැකියි.

අප කල්පනා කරන විදියට නව ඊළාම් මෙහෙයුම ඉදිරියට යන්නේ මෙහෙමයි. ‘මේ පවත්වන උතුරේ පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ජය ගන්නවා. ඉන් පසුව ඔවුන් නැගෙනහිර පළාත් සභාව තුළ මුස්ලිම් කොංග‍්‍රසයේ සහයෝගය ඇතිව තමන්ට හිතවත් පාලනයක් ගොඩනගා ගන්නවා. පසුව උතුරු පළාත් සභාව හා නැගෙනහිර පළාත් සභාව තුළ වෙන වෙනම යෝජනා සම්මත කර ගනිමින් ‘‘උතුරු – නැගෙනහිර’’ තනි පළාත් සභාවක් ගොඩනගා ගන්නවා. ඒ ඒකාබද්ධ උතුරු – නැගනහිර පළාත් සභාව තුළ යෝජනාවක් සම්මත කර ගනිමින් අවසානයේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් ඉල්ලා සිටිනවා’

නව ඊළාම් මෙහෙයුම ඉතා හොඳින් හඳුනාගෙන සිටින දේශපාලන ව්‍යාපාරයක් විදියට අපට මෙම තත්ත්වය හමුවේ නිහඩව සිටීමට බැහැ. උතුරු පළාත් සභාවේ බලය බෙදුම්වාදී, ජාතිවාදී දෙමළ ජාතික සන්ධානයට ලබා දෙන, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට ලැබී ඇති ඉඩම්, පොලිස් බලතල ඔවුන්ට ලබා ගැනීමට පාර කපන, ඊට ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය ලබා දෙන, මේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට නැගෙනහිර පළාත් සභාවක් සම්බන්ධ කර ගැනීමට කුරුමානම් අල්ලන නව ඊළාම් මෙහෙයුමට ඉඩදී නිහඩව සිටීමට මේ රටට ආදරයට කරන කිසිවකුටත් බැහැ.

ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා පළාත් සභා අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගත නොහැකි නම්, රටේ ඒකීයභාවයට බරපතළ ලෙස හානි සිදු කරන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දී ඇති පොලිස් බලතල ඇතුළු සුවිශේෂ බලතල ඉවත් කිරීමෙන් පසුව පමණක් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා.

උතුරු – නැගෙනහිර පළාත් සභා දෙක ඒකාබද්ධ කිරීමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය ප‍්‍රතිපාදන ඇතුළත් කරලා පොලිස් බලතල, ඉඩම් බලතල ඉවත් කරලා ඉන් පසුව මේ පළාත් සභා මැතිවරණය අවශ්‍ය නම් පවත්වන්න.

අපට මේ පිළිබඳව ස්වාධීන මතයක් තිබෙනවා. ඒ මතය සමාජගත කිරීමේ දේශපාලන වගකීම අප සතුවෙනවා. අපේ මතය මේ රටේ වැඩ කරන ජනතාව තුළට රැගෙන යන්න, මේ නව ඊළාම් මෙහෙයුම අන්තර්ජාතික ප‍්‍රජාවත් සමග එකතු වී ඉදිරියට එන අයුරු මේ රටේ ජනතාවට කියන්න තමයි අපි මේ මැයි පෙළපාලිය හා රැලිය තනිව පැවැත්වීමට තීරණය කළේ.

ඒ අනුව අපේ මැයි දින රැලිය, ‘නව ඊළාම් මෙහෙයුම පරදවමු..! වැඩ කරන ජන බලය පුබුදුවමු…..!’ යන තේමාව. යටතේ මැයි 01 වැනිදා සවස 3:00ට මාලිගාවත්ත පී. ඞී. සිරිසේන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මැයි දින පෙළපාලිය එදින සවස 1:00ට දෙමටගොඩ ශාන්ත ජෝන් පාසල් ක‍්‍රීඩා පිටියෙන් ගමන් අරඹනවා. පෙළපාලිය එතැන් සිට දෙමටගොඩ මංසන්ධියට පැමිණ, බේස්ලයින් පාර ඔස්සේ ගොස් ශ‍්‍රී සද්ධර්ම මාවතින්(මාලිගාවත්ත පාර) ප‍්‍රදීපා මාවතට පිවිස පී. ඞී. සිරිසේන ක‍්‍රීඩාංගණයට ඇතුළු වීමට නියමිතයි.

මේ නව ඊළාම් මෙහෙයුම පැරදවීමේ සටන අරඹන අවස්ථාව බවට මෙවර මැයි දිනය යොදා ගැනීමට ජාතික නිදහස් පෙරමුණ මේ වන විට සියලූ කටයුතු යොදා අවසානයි’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ගම්පහ දිස්ත‍්‍රික් නායක පියසිරි විජේනායක, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් යන මහත්වරුද එක්ව සිටියහ.

උතුරේ මැතිවරණයට අප විරුද්ධයි.. එය ඊළමේ නව සැලැස්මයි – ජනිපෙ මැයි රැලිය තනිවම
April 24, 2013 at 12:02 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/93403/

0 comments: