Pages

Monday, May 26, 2014

මෝදි දිවුරුම් දෙන උත්සවයට කමාන්ඩෝලා 6000ක්‌ මුර - ශ්‍රී ලංකා-ඇෆ්ගන්-පකිස්‌තානු නායකයන්ට විශේෂ ආරක්‍ෂාව

නිදහස්‌ ඉන්දියාවේ 15 වැනි අගමැතිවරයා ලෙස 63 හැවිරිදි භාරතීය ජනතා පක්‍ෂ නායක නරේන්ද්‍ර මෝදි අද (26) පස්‌වරුවේ දිවුරුම් දීමට නියමිතය. ඉන්දීය ජනපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් ඉදිරිපස උද්‍යානයේදී පැවැත්වෙන මෙම දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන රාජ්‍ය නායකයන්ගේ ප්‍රමාණය 138 ක්‌ පමණ වන අතර ආරාධිත අමුත්තන්ගේ ගණන හාරදහස ඉක්‌මවනු ඇත.

මෙම උත්සවය අද පස්‌වරු 6 සිට 07 දක්‌වා පැවැත්වෙනු ඇත. මෙය දකුණු ආසියාවේ පැවැත්වෙන ප්‍රධානතම දේශපාලන උත්සවය වේ.

ජනපති මහින්ද රාජපක්‍ෂ, පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්, ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි නේපාල අගමැති සුසිල් කොයිරාල, මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන්, මුරුසි අගමැති නවීන් රාම්ගුලාම්, භූතාන අගමැති ශෙරින් ටොබේ ඇතුළු රාජ්‍ය නායකයන් මෙහිදී කැපී පෙනෙනු ඇත.

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි මහතාට විශේෂ ආරක්‍ෂාවක්‌ ලබාදීමට ඉන්දීය ආරක්‍ෂක අංශ කටයුතු යොදා ඇත. එමෙන්ම පකිස්‌තාන අගමැතිවරයාද මෙම උත්සවයට සහභාගි වුවහොත් ඔහුට ද විශේෂ ආරක්‍ෂාව සපයනු ඇත. මෙම උත්සවයේ ආරක්‍ෂාව සඳහා ඉන්දීය කමාන්ඩෝ භටයන් ඇතුළුව හයදහසක බලඇණියක්‌ යොදවා ඇත.

නව අගමැතිවරයා දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙන් රාෂ්ට්‍රපති භවන අවට කිලෝමීටර් දෙකක කලාපයක්‌ වසා දැමේ.

ඉන්දීය ගුවන් හමුදාව මගින් ගුවන් ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක කරනු ලබන අතර රාෂ්ට්‍රපති භවන අවට සෑම ගොඩනැඟිල්ලකම ස්‌නයිµර් තුවක්‌කුකරුවන් යොදවනු ඇත.

උත්සවය සඳහා කොංග්‍රස්‌ නායිකා සොනියා ගාන්ධි මහත්මිය මෙන්ම රාහුල් ගාන්ධි ද සහභාගි වන බව නිවේදනය කර තිබේ.

නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවය සඳහා අමිතාබච්චන්, සල්මන් ඛාන්, රේඛා, 

රැජිනිකාන්ත්, ඉන්දීය ගීත රැජින ලතා මංජෙස්‌කාර්, ප්‍රකට ක්‍රිකට්‌ ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ඇතුළු තරු රැසක්‌ ද සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය සභා මෙන්ම ලෝක්‌ සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට මෙම උළෙලට ආරාධනා කර ඇත.

ඇෆ්ගනිස්‌ථානයේ හේරත් ප්‍රාන්තයේ පිහිටි ඉන්දීය කොන්සියුලර් කාර්යාලයට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු මෙම උත්සවයේ ආරක්‍ෂාව දැඩි කරන ලදී.

මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම්වලින් නව ඉන්දීය අගමැතිවරයාගේ ආරක්‍ෂාවට විශාල තර්ජනයක්‌ එල්ල වී ඇති බව එරට බුද්ධි අංශ දැනුම්දී තිබේ.

එස්‌. වෙන්කට්‌ නාරායන් - ඉන්දියාවේ 'දිවයින' විශේෂ නියෝජිත
http://www.divaina.com/2014/05/26/news01.html

1 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

ලංකාවේ ප්‍රශ්න වලට අත ගහන කොටි හිතවතෙක් නොවුනොත් හොඳයි. ඒත් ඉතින් විශ්වාස කරන්න බෑ දැන්ම.