Pages

Thursday, May 28, 2015

කැබිනට්‌ රැස්‌වීමේ දී ඊයේත් 20 ගැන අවසන් එකඟතාවක්‌ නැහැ

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ (27 වැනිදා) පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදීද අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවී නැත.

එම සංශෝධනය සම්බන්ධයෙන් පත් කරනු ලැබූ විශේෂ කැබිනට්‌ අනුකාරක සභාව විසින් සකසනු ලැබූ විශේෂ වාර්තාවද ඊයේ කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හදිසියේ නොකරන ලෙස ඇමැති රාවුෆ් හකීම් මහතා ඉල්ලා ඇති අතර එය සංශෝධනය කළහොත් මතුවන ගැටලු පිළිබඳව ඇමැතිවරයා දීර්ඝ වශයෙන් කැබිනට්‌ මණ්‌ඩලයට අදහස්‌ දක්‌වා තිබේ.

මෙහිදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා අදහස්‌ දක්‌වමින් කියා ඇත්තේ 20 වැනි සංශෝධනය කඩිනමින් ගෙන එන ලෙසය. මෙහිදී තරමක්‌ උණුසුම් තත්ත්වයක්‌ද ඇතිවී තිබෙන අතර අවසන් එකඟතාවකට නොඑළඹෙමින් කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම අවසන් වූ බව ඇමැතිවරයකු "දිවයින"ට කීය.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක්‌ ඉදිරියේදී පවත්වනු ඇතැයිද එම ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී අවසන් තීරණයකට එළඹීමට නියමිතව තිබුණද ඒ අනුව ඊයේ දිනයේදී ද එය අසාර්ථක වී තිබේ.

අකිත පෙරේරා
http://www.divaina.com/2015/05/28/news33.html

Pic Source

0 comments: