Pages

Saturday, May 23, 2015

ප්‍රවීණ චිත්‍ර ශිල්පි "කලාසූරී" ආචාර්ය ජයසිරි සේමගේ සිංහල චිත්‍ර සිංගප්පූරුවේදී...

ශ්‍රී ලංකාවේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කීර්තියට පත් ප්‍රවීණ චිත්‍ර ශිල්පි "කලාසූරී" ආචාර්ය ජයසිරි සේමගේ මෙතෙක්‌ ලෝකයේ රටවල් ගණනාවක පවත්වා ඇති චිත්‍ර ප්‍රදර්ශන ගණන මෙතෙක්‌ යෑයි කිව නොහැකිය. මැලේසියාව, ස්‌වීඩනය, ස්‌විට්‌සර්ලන්තය, තායිලන්තය, ඕමානය වැනි රටවල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ශ්‍රී ලංකාවට කීර්තියක්‌ හා ගෞරවයක්‌ ගෙන දුන් අවස්‌ථා බොහෝය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික කලාගාරය, ලයනල් වෙන්ඩ්ට්‌ කලාගාරය වැනි කලාගාරයන් හිදී පවත්වා ඇති චිත්‍ර ප්‍රදර්ශන ද මෙතෙක්‌ යෑයි කිව නොහැකිය.


ලෝකයේ සෑම රටකම වාගේ චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇති මේ ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියා මෙවර තමාගේ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වනුයේ සිංගප්පූරුවේයි. මෙම ප්‍රදර්ශනය අද සිට ජුනි මස 02 දක්‌වා සිංගප්පූරුවේ ගෙලාන් ප්‍රදේශයේ අංක 2 දරණ බෞද්ධ පුස්‌තකාල කලාගාරයේ පැවැත්වෙනු ඇත. ප්‍රදර්ශනය උත්සවශ්‍රීයෙන් විවෘත වනුයේ, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක හා බෞද්ධ පුස්‌තකාලයේ අධ්‍යක්‍ෂ හා ආගමික කටයුතු පිළිබඳ උපදේශක පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමිපාණන් විසිනි. මෙම උත්සවයට සිංගප්පූරුවේ බෞද්ධ පුස්‌තකාලයේ ගරු සභාපතිතුමන්, නිලධාරි මණ්‌ඩලය මෙන්ම එහි බෞද්ධ ධර්මය පිළිබඳ කතිකාචාර්ය, මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර මෙන්ම මෙම ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවන "කලාසූරී" ජයසිරි සේමගේ මහතා ද සහභාගි වෙති.

ජයසිරි සේමගේ ප්‍රදර්ශනය සඳහා විශේෂයෙන් චීන සම්ප්‍රදාය අනුව නිර්මාණය කරනු ලැබූ "සෞභාග්‍යයේ දෙවඟන" හා "චීන මකරා" නමැති චිත්‍ර දෙක විශේෂ තැනක්‌ ගනු ඇත. එමෙන්ම සිංගප්පූරු වැසියන් බොහෝ දෙනකු මහායාන බුද්ධ ධර්මය අගයන නිසා මෙම ප්‍රදර්ශනය නොයෙකුත් මාදිලියේ "බුද්ධ රූප" වලින් හා බෞද්ධ මුහුණුවරක්‌ ගත් චිත්‍රවලින් ද අලංකාර වනු ඇත. ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතය, ගැමි දිවියේ විවිධ අවස්‌ථා, ආලය, ආදරය, කරුණාව විදහා දක්‌වන චිත්‍ර ද ඇතුළත් වනු ඇත. තෙල් සායම් හා ඇක්‍රලික්‌ වර්ණයෙන් නිර්මාණය වූ චිත්‍ර 30 ක්‌ පමණ හා දිය සායමින් නිර්මාණය වූ කුඩා ප්‍රමාණයේ චිත්‍ර 50 ක්‌ පමණ ද ප්‍රදර්ශනයට තබා ඇත.


"කලාසූරී" ජයසිරි සේමගේ සිංගප්පූරුවට අමුත්තෙකු නොවේ. 1993 දී පමණ මෙම ප්‍රදර්ශනය පවත්වන බෞද්ධ පුස්‌තකාල ගොඩනැඟිල්ල වෙසක්‌ සමයකදී අලංකාර කිරීම සඳහා "බොරෝබුදූර්" ග් අඩි 30 ක්‌ පමණ තෙල් සායමින් ඇඳි චිත්‍රයකින් අලංකාර කර ඇති අතර එම රටේ "මෑන්-ෆැව්-ලාම්" නමැති චීන විහාරය සඳහා "පස්‌වග මහණුන්ට" දහම් දෙසීම විදහාපාන අති විශාල තෙල් සායම් චිත්‍රයක්‌ ද එම විහාරයේ ස්‌ථිරවම තැන්පත් කර ඇත. තවද එම විහාරයේම එක්‌ චීන දායක මහතෙකු, සේමගේ චිත්‍ර ශිල්පියා ලවා අන්දවා ගත් "බුදුසිරිත" විදහා දක්‌වන චිත්‍රයෙන් ග්‍රන්ථයක්‌ මුද්‍රණය කර බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා බෙදා හරින ලදී. සේමගේ විසින් සිංගප්පූරු ජනතාව සඳහා කරන ලද විශාලතම පරිත්‍යාගය නම් "මංගල" නමැති ථෙරවාදී විහාරයේ බෞද්ධ බිතුසිතුවම් නිර්මාණය කිරීමේ කාර්යයයි. විශාලතම විහාරයක්‌ වන මෙම විහාරයේ තෙමහල් ගොඩනැඟිල්ලේම, උඩු වියන් මෙන්ම සියලුම බිත්ති "බෞද්ධ" චිත්‍රයෙන් ද ජාතක කතා සිද්ධීන්වලින් ද ඉතා දර්ශනීය හා කලාත්මකව, සේමගේටම ආවේණික ඒ චිත්‍ර ශෛලියෙන් පුරා අවුරුද්දක්‌ පමණ කාලයක්‌ ගත කර චිත්‍ර නිර්මාණය කරන ලදී.

මේ නිසා ජයසිරි සේමගේ චිත්‍ර සිංගප්පූරුවට අමුත්තක්‌ නැත. ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකු විසින් සිංගප්පූරුවේ ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්‌ පවත්වන ප්‍රථම අවස්‌ථාව ද මෙය වනු ඇත. එම රටේ වෙසෙන විශේෂයෙන් චීන ජනතාව මෙන්ම අනිකුත් ජාතීන් ද මෙම ශ්‍රී ලාංකික චිත්‍ර ශෛලියෙන් නිර්මාණය වූ චිත්‍ර යන්හී රස විඳීමක්‌ මෙන්ම ඉතා ඉහළින් දැක බලා ගැනීමට මෙය මහඟු අවස්‌ථාවක්‌ ද වනු ඇත.


http://www.divaina.com/2015/05/22/cineart02.html

0 comments: