Pages

Sunday, May 24, 2015

බොදු මඟ යුරෝපයට විවර කරන ස්විට්සර්ලන්තයේ ජිනීවා පන්සල

ලෝකය පිළිගත් එක්‌සත් ජාතීන්ගේ සංගමයට සම්බන්ධ, නිර්ණායක ආයතනයකින් රටවල් 150 ක්‌ තුළ කරන ලද සමීක්‍ෂණයකින් තුන්වැනි වරටත් ලොව ප්‍රීතිමත් රට ලෙස නම් වූ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරය ලොව ප්‍රකටව ඇත්තේ කීර්තිමත් ජගත් සාම නගරය ලෙසයි. එය යුරෝපයේ අගනුවර ලෙස ද සැලකේ. බොහෝ විට ලොවම ජීවන වියදම් අධික නගරයක්‌ ලෙසද ජිනීවා නගරය ගණන් ගනු ලැබේ. ලොව රටවල් 180 කට වඩා වැඩි ගණනක නියෝජිතයන් වාසය කරන ලොව ප්‍රධාන ජාත්‍යන්තර ජනගහනයකින් හෙබි නගරය ලෙස ද මෙය සැලකේ.

මෙම නගරයෙහි 1992 දී ශ්‍රී ලාංකික හා වෙනත් ආසියාතික බෞද්ධයන්ගේත්, සුවිස්‌ හා අනෙක්‌ යුරෝපීය බුදුදහම ලැදී පිරිසකගේත්, සහයෝගිත්වයෙන් ජිනීවා හි සිරි අහංගම මහතා සොයා දුන් පුංචි කාමරයක ආරම්භ කරන ලද, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරය දැන් එයටම අයිති වූ පින් බිමක, පසුගිය ජනවාරි මාසයේ සිට ස්‌ථාවරව පිහිටුවා ඇති බව ප්‍රීතියෙන් හා කෘතවේදීව දන්වා සිටිමු.

ස්‌විට්‌සර්ලන්තයේ ආරම්භ වූ ප්‍රථම ශ්‍රී ලාංකික විහාරස්‌ථානය වන ජිනීවා බෞද්ධ ජාත්‍යන්තර විහාරය මේ ආකාරයෙන් සියලු බෞද්ධයන්ට අයිති වන පරිදි ස්‌විස්‌ පොළොවෙහි ස්‌ථාවර බිමක පිහිටුවීමට ලැබීම ස්‌විට්‌සර්ලන්තයේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ප්‍රීතියට හේතුවන, ශාසන මාමක සියලු බෞද්ධයන්ගේ අපමණ ශ්‍රද්ධාව වඩවන මහත් පින්කමක්‌ ලෙස ඔබ සැමට හැඟෙනු නොඅනුමානයි.

ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක්‌ ලෙස ආරම්භ වන මෙම ආයතනය අද යුරෝපයේ ප්‍රමුඛ විහාරස්‌ථානයක්‌ ලෙස බුදුදහමෙහි ව්‍යාප්තිය පිණිස කරනු ලබන සේවාව බෙහෙවින් අගය කළ යුතුය. වසර ගණනාවක්‌ තිස්‌සේ වසර මුලදී ලබාදෙන වාර්ෂික වැඩසටහනකට අනුව ජාත්‍යන්තර මට්‌ටමෙන් ක්‍රියාත්මක වන, දහම සොයා ගෙන බොහෝ පිපාසිතයනට සහන සලසා දෙන ආයතනයක්‌ මෙන්ම ආසියාතික සියලු බෞද්ධයන්ගේ ශාසනික අපේක්‍ෂා ඉහළින්ම මුදුන් පත් කර දෙන පින් බිමක්‌ ලෙසටද සැමගේ ගෞරවයට පත්ව තිබේ.

මෙම ආයතනය මිලට ගැනීම සඳහා ස්‌විස්‌ ෆ්‍රෑන්ක්‌ ලක්‍ෂ 12 ක මුදලක්‌ (රුපියල් කෝටි පහළොස්‌ හමාරක පමණ මුදලක්‌) බැංකු ණයක්‌ ද සමග ලබා දෙන්නට සිදු වූ අතර මෙහි ජීවත් වන ශ්‍රී ලාංකික ස්‌විස්‌ ප්‍රංශ තායි වියට්‌නාම් කාම්බෝජ ලාඕස්‌ හා බංග්ලාදේශ ජාතික සැදැහැවතුන්ගේ පරිත්‍යාගශීලීත්වය ඒ සත්කාර්ය සඳහා බලවත්ම පිටිවහල වූ බව කිව මනාය.

මේ ශක්‌තිය ලැබුණේ ධර්මයට කැමැති ධර්මයේ පිහිට ලබමින් දශක දෙකකට අධික කාලයක්‌ මෙම ආයතනයෙන් බණ භාවනා උගත් විවිධ ජාතික බෞද්ධයන් ශ්‍රද්ධාවෙන්ම කළ ධන පරිත්‍යාග නිසාමය. මෙහි ධර්මය හා භාවනා උගන්වනු විනා මේ දශක දෙක තුළ කිසිවිටක, (පරිත්‍යාග කරනු මිස) පොත් පත්, ප්‍රතිමා විකිණීම්, සල්පිල් ආදිය නොකිරීමද විශේෂත්වයකි.

සතියකට භාවනා පන්ති 5 ක්‌ මෙම ආයතනයේ පැවැත්වෙන අතර, සෑම මාසයකම අන්තිම ඉරිදා, දවසක භාවනා පන්තියක්‌ද, සෑම බදාදාම සවස 7.30 ට ධර්ම පන්තියක්‌ ද සිදු කරන අතර මාසයේ අවසාන බදාදා විවිධ ආගම් නියෝජනය කරන ආරාධිත දේශකයෙක්‌ද මෙම ධර්ම පන්තියෙහි කලින් ලබා දෙන මාතෘකාවක්‌ අනුව ධර්ම සාකච්ඡාව ශෝභාමත් කරයි.

සෙනසුරාදා සිංහල ළමුන් සඳහා දහම් පාසල පැවැත්වෙන අතර මාසයේ අන්තිම සෙනසුරාදා ප්‍රංශ භාෂාවෙන් එය සිදු කරනු ලබයි. ඉරිදා උපන් දින - විවාහ සංවත්සර ආශිර්වාද, සංස්‌කෘතික උත්සව, පින් පැමිණවීම් ආදියට වෙන් කර තිබේ. මේවාට අමතරව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආරාධනා ලබන අවශ්‍ය බෞද්ධාගමික අවශ්‍යතා මෙම ආයතනයෙන් ඉටු කරනු ලබන අතර, තායි, බුරුම, වියට්‌නාම් හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ආගමික උත්සවවලට වාර්ෂිකව සහභාගිවනවා පමණක්‌ නොව ඔවුන්ගේ පවුල්වල ආගමික අවශ්‍යතා ද මෙම ආයතනයෙන් ඉටු කරනු ලබයි.

මෙම කාලය තුළ මෙම විහාරය නිසා බෞද්ධකම නිල වශයෙන්, සිය කැමැත්තෙන් ලබාගත්, ස්‌විස්‌ හා වෙනත් යුරෝපීය ජාතික පිරිස බොහෝ වෙති. ඔවුන් අතර ආනන්ද, ලක්‌ඛණ, ශාන්ත, හසිත, මල්ලිකා, විශාකා, උත්පලා, මංගලා, නන්දනී, අනෝමා, තිසරණී වැනි බොදුහුරු නමක්‌ ලබා ගත්තෝ ද බොහෝය. මෙම ආයතනයෙන් වඩාත් සේවා ලබන ජන සමූහය ස්‌විස්‌ හා යුරෝපීයයන් වීම ද විශේෂයකි.

ජිනීවා ශික්‍ෂණ රෝහලේ බෞද්ධ උපදේශක, ධූරයද, ජිනීවා අන්තර් ආගමික සම්මේලනයේ ආරම්භක සභාපති ධූරයක්‌ද මෙම ආයතනය දරනු ලබයි.

ස්‌විස්‌ මහා ආණ්‌ඩුවේ හා ජිනීවා ජනරජයේ ද ප්‍රධාන උත්සවවලදී එක්‌ ආසනයක්‌ මෙම ආයතනයට හිමිවෙයි. එපමණක්‌ නොව කතෝලික, යුදෙව් ඉස්‌ලාම්, හින්දු සියලු ආගමික ආයතනවල වාර්ෂික උත්සවවල දී හැම විටම ජිනීවා විහාරයට ආරාධනාවක්‌ ලැබෙයි.

ජිනීවාහි ප්‍රධාන දිනපතා පුවත්පත වන ඨැබැඩ් එරසඉමබැ හි සෑම සෙනසුරාදාම පළවන ආගමික ස්‌ථාන ලේඛනයේ මෙම ආයතනයේ නම වසර විසි ගණනක්‌ පුරා ප්‍රදර්ශනය වේ.

මවුබිමේ ප්‍රගතිය පිණිස ද මෙම ආයතනයෙන් විවිධ වූ සුවිශේෂී සමාජ හා අධ්‍යාපන සේවා රාශියක්‌ ක්‍රියාත්මක කෙරිණ. අපහසුතා ඇති දිවයිනේ බොහෝ ප්‍රදේශවල ළමුන්ට ජාති ආගම් ආදී භේදවලින් තොරව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, රෝහල් උපකරණ හා බෙහෙත් සැපයීම, රෝදපුටු, කණ්‌ණාඩි බෙදාදීම, සුනාමි ඇතුළු සියලු ව්‍යසනවල දී පිහිටවීම, නිවාස තනා දීම ආදී බොහෝ කටයුතු ප්‍රමුඛව සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේත් ආසියාවේත්, යුරෝපයේත් අමෙරිකාවේත් වැඩවසන ථෙරවාද, මහායාන වජ්‍රයාන සම්ප්‍රදායයන්ට අයත් සම්භාවනීය මහා සංඝරත්නය සමූහයක්‌ම පසු ගිය කාලය තුළ මෙම ආයතනයට වැඩම කර ඇත.

ගල්කිස්‌ස බෞද්ධායතනාධිපති පූජ්‍ය දිවියාගහ යසස්‌සි නාහිමි, ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද පුරාණ රාජමහා පිරිවෙන් විහාරාධිපති අප ගුරුදේව පූජ්‍ය හබරකඩ ඉන්ද්‍රරතන නාහිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධායතනාධිපති පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය මෙම ආයතනයේ අද දියුණුවට කරුණාවෙන් අවශ්‍ය අනුශාසනා ලබාදුන්හ.

දිවංගත තානාපති හා මහ බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් මැතිතුමා පන්සල ආරම්භ කිරීමේදී දුන් මහඟු සහාය කෘතවේදීවම නිතර සිහිපත් කරමු. උතුරේ වත්මන් ආණ්‌ඩුකාර එස්‌. පලිහක්‌කාර මහතා එක්‌ දුෂ්කර කාලයකදී අප වෙනුවෙන් කළ මගපෙන්වීම ද එසේම කෘතවේදීව සිහිපත් කරමු. ඒ අතර බර්නාඩ් ගුණතිලක, ප්‍රසාද් කාරියවසම්, සරළා ප්‍රනාන්දු, දයාන් ජයතිලක, කේ. සෙනෙවිරත්න, තමරා කුලනායගම් තානාපතිවරුන් හා වරියන් ද වත්මන් තානාපති රවිනාථ ආරියසිංහ මහතා ද දන් පහන් දීමෙන් ඒ ඒ අවස්‌ථාවල අනුග්‍රහ දැක්‌වූහ.

එදා මෙදා තුර විවිධ අයුරින් උදව් උපකාර කරමින්, දන් පහන් දෙමින් සහය දුන් සියලු දෙනාටත්, විශේෂයෙන් පන්සල මිලදී ගැනීම සඳහා මහත් උනන්දුවෙන් පරිත්‍යාගශිලී වූ ජිනීවා හි සියලු ශ්‍රී ලාංකික ආසියාතික, ස්‌විස්‌ හා යුරෝපීය ජාතික සැම දෙනටත්, පන්සල ඇසුරු කරන බෞද්ධ - අබෞද්ධ සැමට ද ලුසාන්, බර්න්, බියෙල්, සූරිච්, ඉවෙර්දොන්, නිව්ෂතෙල්, µ්‍රSඑබුග් නගර වාසී සියලු ශ්‍රී ලාංකිකයන්ටත් කෘතවේදීව පින් අනුමෝදන් කිරීමේ උත්සවයක්‌, දානමය පින්කමක්‌ අප ගුරුදේව දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හබරකඩ ඉන්ද්‍රරතන නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මැයි 31 ඉරිදා පැවැත්වීමට, ජිනීවා බෞද්ධ විහාරාධිකාරී පූජ්‍ය හල්විටිගල සුජාත හිමියන්ගේ හා විවිධ ජාතික දායක දායිකාවන්ගේ සංවිධානයෙන් කටයුතු පිළියෙල කෙරේ.

මීට සමගාමීව යුරෝපීය බෞද්ධ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩොමිනික්‌ තොර්ටිනොන් මහතා විසින් පවත්වන "කර්මය හා එය ජීවිතයට කෙරෙන බලපෑම නමින් විශේෂ දේශනයක්‌ ද, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයන් හි බෞද්ධ සම්මන්ත්‍රණ උපදේශිකා ආචාර්ය වෙරොනික්‌ විදස්‌සනා ක්‍රොම්බ් මහත්මියගේ " ලොව ප්‍රකට බෞද්ධ රටවල නටබුන් හා ප්‍රතිමා" කලාවන් පිළිබඳ පින්තූර සහිතව කරන විශේෂ දේශනයක්‌ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත ගෞරව ශාස්‌ත්‍රවේදී ලේල්වල අරියධම්ම හිමියෝ
http://www.divaina.com/2015/05/23/feature01.html

0 comments: