Pages

Sunday, May 10, 2015

මහ මැතිවරණය පැරණි ක්‍රමයටම! මෛත්‍රී - රනිල් එකඟතාවක්

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ඉදිරි මහ මැතිවරණය දැනට තිබෙන ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ද සහභාගිවූ ඉහළ පෙළේ සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ ඇතැයි ආණ්‌ඩුවේ ප්‍රධාන ඇමැතිවරයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසීය. 

නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද කොට්‌ඨාසය යළි බෙදීමට හා ඒ පිළිබඳව මහජන අදහස්‌ විමසීමට අවම වශයෙන් මාස 6 කට අධික කාලයක්‌ ගතවීමට ඉඩ තිබෙන නිසාත්. ජනතාවට දී තිබෙන පොරොන්දුව අනුව පාර්ලිමේන්තුව ඉක්‌මනින්ම විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු නිසාත් මෙම එකඟත්වය ඇති කර ගත් බවද ඔහු කීය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ ගණනාවක්‌ම ඉල්ලා තිබුණේ මීළඟ මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද කොට්‌ඨාස හා සමානුපාතික මිශ්‍ර්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බවයි. 19 වැනි සංශෝධනයට සහාය දීමේදී ඔවුන් එය ප්‍රධාන කොන්දේසියක්‌ බවටද පත් කරගෙන තිබිණි.

එසේ වුවද නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද කොට්‌ඨාසයේදී එම පළාත්වල ජනගහනය, භූවිෂමතා, ජනවර්ග, ආගම්, කුල පදනම ආදිය පිළිබඳවද සොයා බැලිය යුතුයි. ඒකට සෑහෙන කාලයක්‌ ගත වේවි. 1974 සීමා නිර්ණය කොමිසමට ඡන්ද කොට්‌ඨාස යළි බෙදීම සඳහා වසර 2 කටත් වැඩි කාලයක්‌ ගත වුණා යෑයිද පැවැසූ එම ඇමැතිවරයා ඉහත කී සාකච්ඡාවේදී මෙම කරුණු ගැන ද සාකච්ඡා වූ බව ද සඳහන් කළේය. 

විසිවැනි සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ජුලි මස අගදී පමණ පැවැත්වීමට ඉඩ තිබෙන බවද ඔහු පැවැසීය.

දයා ලංකාපුර
http://www.divaina.com/2015/05/10/news01.html

Pic Source

0 comments: