Pages

Tuesday, May 26, 2015

දැයම පොබ කළ අබිරු සිහරදු - දිඹුලාගල මහ යතිවරයානෝ

අධික හිරු රැසින් වියෑළුණ ඇළ දොළ ගහ කොළ සතා සිවුපාවා පමණක්‌ නොව මිනිස්‌ ජීවිත ද අතිශයින් පරිපීඩිතව පවතින ප්‍රදේශයකි පුලතිසිපුරවර ය. එහි උපරිමය දිඹුලාගල සතු ය. අතීත නරවිරුවන්ගේ උතුම් ක්‍රියාදාමයන් නිසා බත බුලතින් සරුසාර ව ස්‌වයංපෝෂිත ව පෙරදිග ධාන්‍යාගාරය යන විරුද නාමයෙන් හැඳින් වූ පුලතිසි රාජධානිය සතුරු ආක්‍රමණ හා දේශපාලන කලිකලහයන් නිසා පරිහානියේ අන්තයට ම ගමන් කළේ ය. ඉන් සියවස්‌ ගණනකට පසු දිඹුලාගල ඇතුළු තමන්කඩුව ප්‍රදේශය යළි ජාතියට දායාද කරදෙනු ලැබූයේ අසරණ සරණ සිරි කස්‌සප මාතර කිතලගම සිරි සීලාලංකාර මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. උන්වහන්සේ ජාතියට අහිමි කොට 2015.06.26 දිනට දශක දෙකක්‌ ගත වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දුර්ලභ පුරුෂයන් සැම තැන නූපදින බවත් යම් තැනක උපන්නොත් ඒ ගම නගරය පළාතට අතිශයින් සුව ගෙන දෙන බව බුද්ධ භාෂිතය යි. ඒ බව පසක්‌ කරමින් කවදත් සිරිලකට වීරයන් පහළ කිරීමේ තිඹිරිගෙය වූ දකුණු පළාතේ මාතර කිතලගම දී අප නාහිමිපාණෝ ජන්ම ලාභය ලදහ. උන්වහන්සේ රුහුණු රට උපන්න ද සිය සේවාවන් දියත් වූයේ දිඹුලාගල කේන්ද්‍ර කර ගනිමිනි. එනිසාම උන්වහන්සේ කිතලගම සීලාලංකාර නාහිමි නාමයට වඩා දිඹුලාගල හාමුදුරුවෝ යන නාමයෙන් ජනතාව අතර ප්‍රචලිත වූහ. අද මෙන් නොව එදා දිඹුලාගල අලි කොටි වග වළසුන්ගේ රජ දහනක්‌ මෙන් ම වැදි ජනයාගේ වාස භූමියක්‌ ව පැවතියේ ය. එවන් යුගයක නාහිමියන් දිඹුලාගලට වැඩම වූයේ බවුන් වඩා නිවන් සෙවීමට ය. පැමිණි අදහස පසෙක දැමීමට සිත් වූයේ ළයෙහි උපන් කරුණාව නිසාවෙනි. කැලයේ ඉපදී එහි ම ජීවත් වී මියෑදෙන වැදි ජනයා දුටු උන්වහන්සේ "ඉස්‌සරවෙලා මිනිස්‌සු හදනවා. ඊළඟට හැදිච්ච මිනිසුන්ගේ උදව් ඇතිව රට හදනවා. එතකොට වයස්‌ ගතවේවි. වයස්‌ ගත වුණාම බණ භාවනා කරනවා"යි සිතා ජනතා සේවයට කැපවූහ.

කර කොළ, ඕලු දඬු වළඳමින් ද, ලී දඬු බැඳි මැස්‌සේ සැතපෙමින් ද, හිසට කොට්‌ටය ලෙස ගල් ගෙඩියක්‌ තබා ගනිමින් ද, සොයාගෙන ආ කර කොළ ආදිය සිය පාත්‍රයේ දමා පිසගෙන වළඳමින් ද පුරා අවුරුදු දොළහක්‌ පමණ මෙලොව මිනිසකු විසින් නො විඳිය යුතු අපමණ දුකක්‌ වින්දහ. පොදුජන සුව පිණිස සැතපුම් ගණන් පාවහන් නොමැතිව පා ගමනින් වැඩම කළ උන්වහන්සේගේ දෙපයෙහි කරගැට මතුවී දෙපතුලෙන් ලේ ගැලුව ද කිසිදු විටක එකී ජීවිතය කටුක දෙයක්‌ සේ නො සිතූහ. පරෝපකාරයෙන් මිස අන් යමකින් ආත්ම තෘප්තියක්‌ නො ලැබූ උන්වහන්සේ අපූරු යතිවරයෙකි. එකී අපූර්වත්වයේ තවත් පැතිකඩක්‌ නම් උන්වහන්සේගේ හදවත සිවුරෙන් වැසුණු එඩිතර සිංහල හදවතක්‌ වීමයි. එබැවින් අයුක්‌තියට අසාධාරණයට හිස නො නැමුවේ ය. එනිසා ම උන්වහන්සේට බොහෝ පුද්ගලික ලාභයන් ගිලිහී ගියේ ය.

පරාර්ථය වෙනුවෙන් කටයුතු කළ අප නාහිමියන්ගේ සිත කීරි ගැසී ගිය අවස්‌ථාවක්‌ වූයේ සිංහල රට තුළ මහ ජාතිය වන සිංහලයන්ට මේ ප්‍රදේශයේ දී අත්විඳින්නට සිදු ව ඇති අසාධාරණකම් පිළිබඳව ය. මඩකලපුව, තමන්කඩුව ඇතුළු ප්‍රදේශ ඊළාම් වාදයේ දුෂ්ට ග්‍රහණයට නතු වෙමින් පැවතිණි. ග්‍රාමසේවා නිලධාරියාගේ සිට ඉහළට ඇති සෑම රාජ්‍ය ආයතනයක්‌ ම ක්‍රියාත්මක වූයේ දෙමළ භාෂාව මූලික කර ගනිමින් මෙන් ම ඔවුන්ට අවැසි පරිදි ය. එයින් සිංහල ජාතියට නුදුරු අනාගතයේ දී ම මුහුණ දීමට සිදුවන භයානක අත්දැකීම් කල්තියා ම දුටු අප නාහිමියෝ තත් සාපරාධී ක්‍රියාවට එරෙහිව සිය යුග මෙහෙවර දියත් කළහ.

ඇතැම් දෙමළ සංවිධාන හා ඊළාම්වාදයට උඩගෙඩි දෙන සංවිධාන නාහිමියන් ඝාතනය කිරීමට උත්සාහ ගත් අවස්‌ථා දහහතරකි. එපමණක්‌ නොව උන්වහන්සේ තොප්පිගල දක්‌වා ඉඩම් දී ජනතාව පදිංචි කරවීමේ සුවිසල් ජනපද ව්‍යාපාරයක්‌ දියත් කළහ. එනමුත් එකල සිටි වගකිවයුත්තෝ නාහිමියන් තොප්පිගල දක්‌වා පිහිටු වූ ජනපද සියල්ල අහෝසි කළහ. එහි විපාක දශක තුනක කාලයක්‌ සමස්‌ත රට වැසියාම අත්වින්දේය. එදා ඒ සිදු කරන ලද ක්‍රියා පිළිවෙත නිසා තොප්පිගල ජාතිය සතුකර ගැනීමට සිදු වූයේ තරුණ ජීවිත දහස්‌ ගණනක්‌ පූජා කිරීමෙනි. දේශපාලන නායකයන් කෙතරම් කෙනෙහිලි කම් කළ ද නාහිමියෝ අධෛර්යයට පත් නොවී ගම්මාන අසූවක්‌ පමණ ඇති කළහ. මිනිසුන් දහස්‌ ගණනින් පදිංචි කළහ. මෙම ගම්මාන ටිකවත් ඇති නො කරන්නට දිඹුලාගල ද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රධාන කඳවුරක්‌ වන්නට ඉඩ තිබිණි.

නාහිමියන්ගේ මගපෙන්වීම යටතේ ඉදිවූ මාදුරුඔය ව්‍යාපාරය නිසා එම ජනපදිකයන් ගොඩ මඩ දෙකම සරුසාර ලෙස අස්‌වද්දා ගන්නටත් එමගින් ලෝකයට ණය නොවී ජීවත් වන්නටත් අවස්‌ථාව උදා කරගෙන ඇත. ඒ සෑම ගම්මානයකට ම පාසලක්‌ සේම පන්සලක්‌ ද ඉදිකර දුන් අතර, එයින් අධ්‍යාපනය ලද්දවුන් රටේ නා නා දිශාවන්හි ඉහළ තනතුරු දරමින් ප්‍රදේශයටත් රටටත් මහ මෙහෙවරක්‌ සිදු කරනු ලබන්නේ නාහිමියන්ට පින් සිදුවන්නටය. අප නාහිමියෝ කිසිදු විටක කුලවාදය, පළාත්වාදය, ජාතිවාදය අගය නො කළහ. ඒ බව උන්වහන්සේ පැවිදි කළ අටසිය ගණනක්‌ තරම් වූ ශිෂ්‍ය පිරිස අතුරින් දැකිය හැකි ය. නොයෙක්‌ පළාත්වලින් පැමිණි අය ද, සිංහල, දෙමළ, වැදි ජාතීන් ද, හින්දු, කතෝලික ආදී ආගමිකයෝ ද උන්වහන්සේ පැවිදි කළහ. නමුත් උන්වහන්සේ ජාතිකවාදය ඉහළින් පිළිගත්හ. එනම් මේ රටේ මහ ජාතිය සිංහලයන් බවත්, ඔවුන්ට සෑම තැනකදීම නිසි තැන හිමිවිය යුතු බවත් වෙනත් ජාතීන් මේ සත්‍ය තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත් යන්න අප නාහිමියන්ගේ මතය විය.

හදවතට එකඟව කතා කිරීම නිසා ම නාහිමියෝ ජාතිවාදී නාමයෙන් හංවඩු ගැසුවා පමණක්‌ නොව දේශපාලන භික්‌ෂුවක්‌ වශයෙන් ද හැඳින් වූහ. ඒ සියල්ලට සිනහ වී තමාගෙන් රට ජාතිය හා ආගම වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කිරීමට උන්වහන්සේ පුරුදුවී සිටියහ.

දිඹුලාගල නාහිමියන් උතුර හා නැගෙනහිර දෙපළාත තුළ සිංහල ගම්මාන පිහිටුවන විට අනාගත දෙමළ ඊළාම් රාජ්‍යයක සිහින බොඳ වී යන බව දැනගත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන ඝාතන ඉලක්‌කයක්‌ බවට නාහිමියෝ පත් වූහ. එනිසා ම උන්වහන්සේගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට එදා සිටි නායකයෝ කටයුතු කළ ද ජාතියේ අවාසනාවට මෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට සිය කෲරතර අරමුණ 1995.05.26 දින සපුරා ගන්නට හැකි විය. එනිසා අප විසින් සිදු කළ යුත්තේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ පරිදි ජාතියක්‌ වශයෙන් එකමුතු වී අනාගත අභියෝගයන්ට සාර්ථක විසඳුම් සෙවීමය. ඒ විසඳුම් කුමන ආකාරයේ ඒවාදැයි අවස්‌ථාව අනුව තීරණය කර ගත යුතු ය.

අපේ නාහිමි නිවනින් නිවේවා!

දිඹුලාගල ආරණ්‍ය සේනාසනවාසී, රාජකීය පණ්‌ඩිත, ශාස්‌ත්‍රපති, කන්දේගම දීපවංසාලංකාර හිමි
http://www.divaina.com/2015/05/26/feature03.html

0 comments: