Pages

Tuesday, May 12, 2015

රටක්‌ ජාතියක්‌ ගොඩනඟන්න ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා - ජනපති

රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතය පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය අවශ්‍ය වෙනවා. කෞතුකාගාරයක්‌ තුළ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය, කියවීම හා අධ්‍යයනය කිරීමට හැකිවනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හම්බන්තොට "මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය" විවෘත කිරීම සඳහා හම්බන්තොටදී පැවැති උත්සවය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පළ කළේය.

එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රටේ ඉතිහාසය මෙන්ම ශිෂ්ඨාචාරය පිළිබඳව වත්මන් පරපුර වගේම අනාගතයේ උපදින දරුවන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා රුහුණු මාගම්පුර කෞතුකාගාරය විවෘත කිරීම ඉතා වැදගත් අවස්‌ථාවක්‌. මෙහි වැදගත්කම මෙන්ම කෞතුකාගාරයකින් ඉටුවන සේවය ඔබ අප කවුරුත් දන්නවා. කෞතුක වස්‌තු ආරක්‍ෂා කිරීම මෙන්ම සුරක්‍ෂිත කිරීම සඳහා ලෝකයේ සංවර්ධනයවූ රටවල් කිසිදු භේදයකින් තොරව කටයුතු කරනවා. යම් රටක, ප්‍රදේශයක මානව ශිෂ්ඨාචාරය හා මානවයාගේ ප්‍රගමනය පිළිබඳ කෞතුකාගාරයකින් ජනතාව දැනුවත් වනවා. ඇතැම් විට ඉතිහාසය පිළිබඳ පොතපත නොකියවෙන අවස්‌ථා තිබෙනවා. අපේ අලුත් පරපුර රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි. පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කළ කාලයක්‌ තිබුණා මට මතකයි. රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේ ලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැඟෙන්නේ අතීතයේ පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය ඉතා අවශ්‍ය වනවා. රටක අතීතය මෙන්ම අනාගතය මිනිසෙකුගේ ජීවිතය වගෙයි. මිනිසෙකුට සම්පූර්ණ වීමට නම් ඔහුගේ ජීවිතයේ අත්දැකීම්, මුහුණ දීමට සිදුවූ ගැටලු, අභියෝග සමග අතීතයද වැදගත් වනවා. ඒවා දුක්‌ ගැහැට මෙන්ම සැප සම්පත් විය හැකියි. බුද්ධිය, අධ්‍යාපනය, සමාජගත විවිධ ව්‍යාපෘති හරහා ලබන අත්දැකීම්වලින් ලබන පාඩම් ඔස්‌සේ මිනිසෙකු සම්පූර්ණ වන්නේ අතීතයෙන් ලබන පාඩම්වලිනුයි. එමෙන්ම රටක්‌, ජාතියක්‌ ගොඩනඟන්නට ඉතිහාසය පිළිබඳ දැනුම, අවබෝධය ඉතා අත්‍යවශ්‍ය වනවා.

කෞතුකාගාරයක්‌ විවෘත කරන්නේ එහි තිබෙන කෞතුක භාණ්‌ඩ නැරඹීමට පමණක්‌ නොව, ඒ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය කියවීම හා අධ්‍යයනය කිරීම සඳහායි. එමගින් රටකට වැදගත් වන විශේෂ සිද්ධීන් තෝරාගෙන රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක්‌ ලෙස මේ කෞතුකාගාරයේ වැඩ කටයුතු ආරම්භ කර අද එය විවෘත කිරීමට ලැබීම ගැන අප ඉතා සතුටට පත් වනවා.

මා අද මේ වේදිකාව පිළිබඳ ඉතා සතුටට පත්වනවා. එය අද පවතින ජාතික අවශ්‍යතාව පිළිබඳව පණිවුඩයක්‌ ලබා දෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයෙක්‌ හා පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරයා විදියටත්, මහින්ද අමරවීර ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයෙකු ලෙසත් එකම ආණ්‌ඩුවක ඇමැතිවරුන් ලෙස එකට වාඩිවී සිටින විට එය වේදිකාවේ දර්ශනයක්‌ පමණක්‌ නොවී මා බලාපොරොත්තු වන්නේ රටට අවශ්‍ය දෙයක්‌ හැටියටයි. ජාතික ආණ්‌ඩු, සර්ව පාක්‍ෂික ආණ්‌ඩු ආදී වශයෙන් මොන විදියට හැඳින් වුවත් රට ගොඩනැඟීමට නම් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ මෙන්ම අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහයෝගය අවශ්‍ය වනවා. රටක්‌ බෙදුනාම ඒ රටට සිදුවන හානිය මහා ඛේදවාදකයක්‌ විය හැකියි. රටක්‌ බෙදීම මෙන්ම රටක ජනතාව බෙදීම රටේ යහපතට හේතු වන්නේ නැහැ. ජනතාවගේ සංස්‌කෘතිය, දේශපාලන විකාශනය යන සියල්ලක්‌ සමග රට ගොඩනඟන්නට නම් ජනතාවත් එකමතයකට එන්නට ඕනෑ. ලෝකයේ සංවර්ධනය වූ රටවල දියුණුව, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සමග ඒ රටවල් ගොඩනැඟීමට සියලු දෙනා එකට සිටින බව පෙනෙනවා. දෙසතියකට ඉහතදී නේපාලයේ සිදුවුණු ඛේදවාචකයේදී මෙන්ම 2004 දී ඇතිවූ සුනාමිය වැනි සිද්ධීන්වලදී ජෝර්ඡ් බුෂ් හා බිල් ක්‌ලින්ටන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ දේශපාලන පක්‍ෂ කුමක්‌ වුවත් ඉදිරිපත් වෙමින් පෙනී සිටියේ රටක්‌ හැටියටයි. ඔවුන් මැතිවරණවලට තරග කරනවා. එනමුත් රට ගොඩනඟන්නට සියලු දෙනා එකතු වනවා.

කෞතුකාගාරයක්‌ විවෘත කිරීමේදී ඒ තුළ ගැබ්වන ඉතිහාසයේ සංසිද්ධීන් හා පසුබිම අනුසාරයෙන් රට ගොඩනැඟීමට අප අලුතින් සිතා සැලසුම් සකස්‌ කළ යුතු වනවා. සම්ප්‍රදායන් තුළ ගත යුතු දේ මෙන්ම බැහැර කළ යුතු දේවල් තිබෙනවා. ලෝකයේ නව තාක්‍ෂණය සහ නවීන සමාජය අනුව බැහැර කළ යුතු හා තවදුරටත් පවත්වාගෙන යා යුතු සිතුම් පැතුම් අප විසින් තෝරා බේරාගත යුතු වනවා.

මාගම්පුර අතීත ප්‍රභූත්වය ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මාගම්පුර තිස්‌සමහාරාම, කතරගම ප්‍රදේශයෙන් අනුරාධපුරයට ගොස්‌ යුද්ධ කර ආක්‍රමණිකයන් පළවා හැර පසුව පොළොන්නරුව රාජධානිය පිහිටුවා රට එක්‌සේසත් කළ මහ විජයබාහු රජතුමා වසර 57 ක්‌ මේ රටේ රජකම් කළා. ඊට පෙර විජයබාහු කුමාරයා රාජාභිෂේකය ලැබුවේ කතරගමදීයි. කතරගමදී රාජාභිෂේකය ලැබුවත් විජයබාහු රජතුමා ඊට අදාළ රාජකීය උත්සවය පැවැත්වූවේ ඊට අවුරුදු 32 කට පසුවයි. රාජ්‍යත්වයට පත්වූ සැණින් ඒ පිළිබඳ ලොකු උත්සවයක්‌ පවත්වන්නට විජයබාහු මහ රජතුමාට වුවමනාවක්‌ තිබුණේ නැහැ. එතුමාට අවශ්‍ය වුණේ පළමුව රට එක්‌සත් කර රටේ සාමය තහවුරු කරමින් ආර්ථිකය ශක්‌තිමත් කිරීමටයි.

සජිත් ප්‍රේමදාස මහතා දක්‍ෂ, කාර්යශූර හා සුබවාදී දේශපාලන අනාගතයක්‌ දකින අවංක ඇමැතිවරයෙක්‌ විදියට මා දකිනවා. එතුමා මේ දිස්‌ත්‍රික්‌කයට දෙන නායකත්වය වගේම රට ජාතිය වෙනුවෙන් ඉටුකරන වගකීම් මා ඉතා අගය කරනවා. මහින්ද අමරවීර ඇමැතිවරයා එදා මෙදා කාලය තුළ දිස්‌ත්‍රික්‌කයට නායකත්වය දෙන අතරම විවිධ අමාත්‍යධුර දරමින් ජාතික දේශපාලනයට පුළුල් කාර්ය භාරයක්‌ ඉටුකර තිබෙනවා. මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝජනයකරන ජ්‍යෙෂ්ඨ දේශපලානඥයකු වන නන්දිමිත්‍ර ඒකනායක සංස්‌කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිතුමා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කාර්ය මණ්‌ඩලය සමග ඉතා උනන්දුවෙන් හා කැපවීමකින් වැඩ කටයුතු කරනවා. එතුමා අප මෙහි ගෙන්වා ගෙන ඉටු කළ කාර්ය භාරය මා ඉතා අගය කරනවා. එමෙන්ම මා පසුගිය ජනාධිපතිවරණ සමයේ පටන් ඇසුරු කරන දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා ජනතාව සමග ඉතා සමීපව ඇසුරු කරන දේශපාලනඥයෙක්‌. දොස්‌තර පී. එම්. බී. සිරිල් මැතිතුමාගේ මුහුණ දැකීමෙන් මට විශාල සතුටක්‌ ඇතිවුණා. මා 1989 දී මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි සමයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි දොස්‌තර පී. එම්. බී. සිරිල් මැතිතුමා ගැන මා මීට පෙරත් බොහෝ දේ කතා කර තිබෙනවා. එතුමා "ඩොක්‌ටර් සිරිල්" නමින් මා කුඩා කාලයේ සිටම දැන සිටි කෙනෙක්‌. පොළොන්නරුව රෝහලේ වෛද්‍යවරයෙක්‌ ලෙස කටයුතු කළ කාලයේ මගේ තාත්තා මාව බයිසිකලයේ තබාගෙන එතුමා ළඟට ගෙන ගොස්‌ බෙහෙත් අරන් දී තිබෙනවා. 1989 දී මා මුල්වරට පාර්ලිමේන්තුවට ගිය අවස්‌ථාවේ "මාව හඳුනන්න පුළුවන්ද" කියා මා එතුමා ළඟට ගොස්‌ ඇසුවා. අද එතුමා දකිද්දී ඇතිවූ සතුට සමග මගේ පියා සමග පොළොන්නරුවේ ගත කළ අතීතය මතක්‌ වුණා.

අද අප සියලු දෙනාම රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළේදී සියලු දෙනා අතර පැවතිය යුතු සමගිය, සහෝදරත්වය අධිෂ්ඨානශීලී භාවය වැඩිදියුණු වේවායි මා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුවුණු සංවර්ධන කටයුතු අඛණ්‌ඩව අපේ ආණ්‌ඩුව විසින්ද ඉදිරියට ගෙන යන බවද මා විශේෂයෙන්ම සඳහන් කරනවා.

නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා

අද ජනාධිපතිතුමන් අතින් විවෘත වුණු මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය පසුගිය රජය ආරම්භ කළ වැදගත් ව්‍යාපෘතියක්‌ හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. රටක ක්‍රියාත්මක වන හොඳ සංවර්ධන වැඩසටහන් පිළිබඳව ප්‍රශංසා කරන්නට අප හැමවිටම පැකිලීමකින් තොරව ඉදිරිපත් වනවා. මෙවැනි සුවිශේෂී ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉකුත් රජයට අප තුති පුදනවා. එමෙන්ම මේ ශක්‌තිමත් සංස්‌කෘතික වැඩසටහන විවෘත කිරීමට සිය වටිනා කාලය මිඩංගු කරමින් අපේ දිස්‌ත්‍රික්‌කයට වටිනාකමක්‌ එකතු කිරීමට පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමන්ට අපගේ ස්‌තූතිය හා ප්‍රණාමය පුද කරනවා. මෙරට සිවිල් සේවාවේ ප්‍රසිද්ධියක්‌ හිමි කරගත් "බැද්දේගම" කෘතිය රචනා කළ ලෙනාඩ් වුල්ෆ් මැතිතුමා උප දිසාපතිවරයෙකු ලෙස කටයුතු කළ මධ්‍යස්‌ථානය අද කෞතුකාගාරයක්‌ බවට පරිවර්තනය වී තිබෙනවා. එවකට තිබුණු උසාවි ගොඩනැඟිල්ල, එල්ලුම් ගස, එමෙන්ම ලෙනාඩ් වුල්ෆ් මැතිතුමාගේ නිල නිවස, මාටෙල් කුලුන ආදී සියලු අංගෝපාංග එක්‌කොට ගෙන මේ කෞතුකාගාරය නිර්මාණයවී තිබෙනවා. මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන ශාලාවට රුහුණු මාගම්පුර ඉතිහාසය, රුහුණේ කලාව හා වාස්‌තු විද්‍යාව, යුරෝපා පාලන අවධියේ විස්‌තර, නිදහසින් පසු මාගම්පුරය හා රෝහණයේ ස්‌වාභාවික උරුමය පිළිබඳව සියලු කරුණු කාරණා ඇතුළත්වී තිබෙනවා.

අපේ වත්මන් ජනාධිපතිවරයා රටේ යහපාලනයක්‌ ඇතිකර දූෂණය, වංචාව, හොරකම, මංකොල්ලකෑම පිටුදැක මාතෘ භූමිය වෙනුවෙන් ඓතිහාසික කැප කිරීමක්‌ කළ යුග පුරුෂයෙකු ලෙස මා දකිනවා. තමන්ගේ මෙන්ම සිය පවුලේ සාමාජිකයන් ජීවිතවල අවදානම නොතකා, මමත්වය පසෙකලා ඉතා අනතුරුදායක බලවේගවලට මුහුණ දෙමින් රටේ පුරවැසි පරපුරේ සුබසිද්ධිය උදෙසා එතුමා ගත් තීන්දුවට අති විශිෂ්ට ජන වරමක්‌ ලැබුණා. දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනය, නිහතමානී රාජ්‍ය නායකත්වය, රාජ්‍ය සම්පත් අවමව භාවිතා කිරීම, නාස්‌තිය පිටුදැකීම, පෞද්ගලිකත්වය හා පවුල්වාදය බැහැර කිරීම වැනි විප්ලවීය ගුණාංග අද රටේ ක්‍රියාත්මක වනවා. රාජ්‍ය නායකයෙකු හැටියට ස්‌ව කැමැත්තෙන් තමන් සතුව තිබුණු විධායක බලතල රට හා රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්නට එතුමා ඓතිහාසික තීන්දුවක්‌ ගත්තා. මුළු රටම වෙලාගත් පුළුල් සංවර්ධන යුගයක්‌ බිහි කිරීමට අද එතුමා නායකත්වය, දායකත්වය, මාර්ගෝපදේශකත්වය ලබා දෙනවා. අද විවෘත වන්නේ "ටවර් හිල්" සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර පමණයි. එහි ඉදිරි පියවර ගැන අංගසම්පූර්ණ වාර්තාවක්‌ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනවා. පසුගිය රජය ආරම්භ කළ මේ යහපත් ව්‍යාපෘතියේ දෙවන, තුන්වන, හතරවන හා පස්‌වන පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ පූර්ණ ශක්‌තිය හා සහයෝගය අප වෙත ලැබේ යයි මා විශ්වාස කරනවා.

http://www.divaina.com/2015/05/12/news25.html

Pic Source

0 comments: