Pages

Wednesday, May 27, 2015

සැබෑ මවක්‌ සැබෑ කාන්තාවක්‌ ලෙස මහා සංඝරත්නයේත් සමාජයේත් පැසසුමට ලක්‌ වූ මිලිනා සුමතිපාල රටට දෙන ආදර්ශය අගය කළ යුතුයි! - මෛත්‍රී

මිලිනා සුමතිපාල අභිනන්දන උළෙල - මහා සංඝරත්නයේත් සමාජයේත් පැසසුමට ලක්‌ වූ මිලිනා සුමතිපාල රටට ආදර්ශවත් කාන්තාවක්‌

අපේ මේ බෞද්ධ රටේ පුළුල් බෞද්ධ සංවිධානයක නායිකාවක්‌ ලෙස ගෞරවනීය මහා සංඝරත්නයේත් සමාජයේත් පැසසුමට සම්මානයට ලක්‌ වූ මිලිනා සුමතිපාල මහත්මිය රටටම ආදර්ශයක්‌ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මිලිනා සුමතිපාල මහත්මියගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (25 වැනිදා) පැවැති මිලිනා සුමතිපාල අභිනන්දන උළෙලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

සුමතිපාල පවුලේ සියලුදෙනා සමඟ මගේ තිබෙන්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවක්‌. අද මිලිනා සුමතිපාල මැතිනියගේ 80 වැනි ජන්ම දිනය. ඒ උපන් දිනය එක්‌ පැත්තකින් අම්මා කෙනකුගේ, තවත් පැත්තකින් ධෛර්යවන්තවූ, අධිෂ්ඨානශීලී වූ කාන්තාවකගේ, තවත් පැත්තකින් සිය ස්‌වාමියා සමඟ පවුලේ දරුවන් සමඟ යහපත් පවුල් ජීවිතයක්‌, චරිතවත් ජීවිතයක්‌ ගත කළ සැබෑ වූ මවක්‌ බිරිඳක්‌ පිළිබඳව පෙන්වා දිය හැකි උපන් දිනයක්‌.

තවත් පැත්තකින් පුළුල් ව්‍යාපාර ක්‍ෂේත්‍රයක නායකත්වය ගනිමින් විවිධ අභියෝග හමුවේ සිය ව්‍යාපාරික ඥනය, අත්දැකීම්, අවබෝධය වැඩිදියුණු කරගත් ව්‍යාපාරික කාන්තාවක්‌ පිළිබඳව මෙන්ම කලාව, සෞන්දර්ය, චිත්‍රපටය මේ පිළිබඳ අවධානය යොමුකරන විට සංස්‌කෘතික ක්‍ෂේත්‍රයේ චිත්‍රපට නිෂ්පාදකවරියක්‌ වශයෙන් සිය පරිත්‍යාගය සහ කැපවීම පෙන්නුම් කළ කලක්‌ සංස්‌කෘතික ක්‍ෂේත්‍රයේ නායිකාවක්‌ ලෙස තවත් විටෙක අපේ මේ බෞද්ධ රටේ පුළුල් බෞද්ධ සංවිධානයක නායිකාවක්‌ ලෙස. ඒ සමඟම ගෞරවනීය මහා සංඝරත්නයේ ගෞරවයට සහ පැසසුමට ලක්‌වූ සම්මාන ලැබූ බෞද්ධ කාන්තාවක්‌ විදිහට ඇය දැකිය හැකියි.


අපි අද ඒ පිළිබඳවයි මේ ඇගයීමක්‌ කරන්නේ. කාන්තාවන්ගේ සහ මව්වරුන්ගේ කථාවන් පිළිබඳ අපි අවධානය යොමු කරන විට අපේ සාහිත්‍යයේ මහා මායා දේවිය, යශෝධරාව, සුජාතා, විශාඛා මේ චරිත අපේ මතකයේ තිබෙනවා. තවත් පැත්තකින් ඊට මෙහාට ආවොත් තෙරේසා මව්තුමිය වැනි චරිත අපි දන්නවා. ඊට එහාට ආවොත් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වැනි චරිත අපේ මතකයට එනවා.

බොහෝ වෙලාවට මම විශ්වාස කරනවා මෙවැනි චරිතයක්‌ ගැන කතා කරනවිට මේ චරිතය වැදගත් වෙන්නේ අද අපේ නව යෞවන පරපුරට. කාමරයක්‌ ඇතුළට වෙලා දොරවල් වහගෙන ඇඳ උඩට වෙලා ලැප්ටොප් මොබයිල් ෆෝන් අතේ තියාගෙන මුළු ලෝකයම ඒක කියලා අම්මටයි තාත්තාටයි වඩා ලැප්ටොප් මොබයිල් ෆෝන් වලට වටිනාකමක්‌ දෙන අද ඇතැම් සමහර යෞවන යෞවනියන් ඉන්න යුගයක්‌ වීම නිසයි.

තිලංගත්, ජගතුත් අම්මා ගැන කතා කරනවා. අම්මාගේ 80 වැනි ජන්ම දිනය සමරනවා. මම හිතන්නේ මේ උළෙල ඇයට මෙතෙක්‌ කල් ශරීර සෞඛ්‍ය රැකගන්නට දුන් බොහෝ වෛද්‍ය ප්‍රතිකාරවලට වැඩිය මහා ජීව ශක්‌තියක්‌ බවයි. මේ දරුවෝ සමත් වෙලා ඉන්නවා තමන්ගේ මෑණියන්ට දැඩි මානසික ශක්‌තිය දෙන්න.

අපිට හමුවෙලා තිබෙනවා ඇතැම් වෙලාවට මාධ්‍ය තුළ දරුවෝ හදාගන්න බැරිව දරුවන් ගඟට විසිකරන අම්මලා. සමහරවිට දුප්පත්කම අගහිඟකම් නිසාමත් වෙන අවස්‌ථා තිබෙනවා. හැබැයි එහෙම නොවන අවස්‌ථාත් තිබෙනවා. බොහෝ වෙලාවට මගේ ජීවිතයේ අත්දැකීම් තිබෙනවා. රාජ්‍ය සේවයෙත් දේශපාලන ජීවිතයේත් මට හමුවී තිබෙන බොහෝ අය අතරෙත් අම්මට අයිති ඉඩමේ ගෙයක්‌ හදන්න දුන්නේ නෑ කියලා අම්මා එක්‌ක නඩු කියන අය. ඒ වගේම අපි දන්නවා යමක්‌ ඇති සමහර දරුවෝ දේපළ වර්ධනය කරගන්න අම්මා තාත්තා ගෙදරින් එළියට දාලා ඔප්පුව ලියා ගන්නවා.

අපි දානවලට වැඩිහිටි නිවාසවලට ගියාම බොහෝ ධනවත් පවුල් වල සමහර අම්මලා තාත්තලා රාජ්‍ය සේවයේ මහ ඉහළ තනතුරු දරපු වැඩිහිටියන්. මේ සමාජයේ මහ පරිහානිය තුළ සැබෑ අම්මා කෙනෙක්‌ සැබෑ කාන්තාවක්‌ විධියට මිලිනා සුමතිපාල මහත්මිය දෙන ආදර්ශය අපි අගය කරනවා. බොහෝ වෙලාවට සිය ස්‌වාමියාගේ වියෝවෙන් ඒ ඇතිවුණ කම්පනය අධෛර්ය පසුබෑම් ඒ වේදනාව, මිලිනා මැතිනිය ශක්‌තියක්‌ කරගෙන තිබෙනවා. ඒ තුළ ජීවිතයේ ධෛර්යය කැපවීම පරිත්‍යාගය මුසුවෙලා තිබෙනවා. එය ශක්‌තියක්‌ බවට පත්වෙලා තිබෙනවා.

දරුවෝ යහපත්ව හදන්නට විහිදී ගිය ව්‍යාපාරයකට නායකත්වය දෙන්නට, එතනින් බාහිරව චිත්‍රපට ක්‍ෂේත්‍රයට නායකත්වය දෙන්නට ඒ සියල්ලම අතරේ බෞද්ධ මහ සම්මේලනය වැනි පුළුල් ආයතනයක නායකත්වයක්‌ ගන්නට මිලිනා සුමතිපාල මහත්මියට හැකිවෙලා තිබෙනවා. සමහර අය ජීවිතයේ ඇතිවන පසුබෑම් වලදී ඒ සියල්ල අත්හැරලා අධෛර්යමත් වෙලා ආපසු හැරී බලලා පරාජිත මිනිස්‌සු විධියට ජීවත් වෙනවා. නමුත් මිලිනා සුමතිපාල මැතිනිය අපරාජිත මවක්‌ විදියට අපරාජිත කාන්තාවක්‌ විදියට සිය ශක්‌තිය ධෛර්යය අධිෂ්ඨානය සහ කැපවීම පෙන්නුම් කරලා තිබෙනවා.

ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා මෙවැනි උත්සවයකදී ජගත්, තිලංග සහ ඔවුන්ගේ අනෙක්‌ සහෝදරියන් තමන්ගේ අම්මා පිළිබඳව මේ කරන උපහාරයට, ගෞරවයට, ප්‍රණාමයට මේ දෙස බලන් ඉන්නකොට සමහරුන්ට හිතෙනවා ඇති තිලංගට, ජගත්ට යමක්‌ තියෙන නිසා මේ වගේ උත්සවයක්‌ කරනවා, අපිටත් ජීවතුන් අතර ඉන්න අම්මා තාත්තා වෙනුවෙන් යමක්‌ කරන්න බැරිද කියලා. මෙහෙම උත්සවයක්‌ නොවෙයි ගමේ පන්සලට ගිහින් මලක්‌ පූජා කරලා අම්මාට තාත්තාට දීර්ඝායුෂ පතලා පුංචි පිනක්‌ කරගන්න හිතෙනවා නේද මෙතනට ආවාම.

ඒ නිසා මෙවැනි උත්සවයක විශේෂත්වය තිබෙන්නේ මෑණියන්ට ශක්‌තියක්‌ ධෛර්යයක්‌ දෙන්න මනස ශක්‌තිමත් කරන්න මේ කරන උපහාරය ගෞරවය. මෙහි බලන් සිටින ඔබටත් හෙට දිනක මාධ්‍ය මගින් දැනුවත් වන අයටත් මෙවැනි සිතුවිල්ලක්‌ පහළ වීම මොනතරම් පුණ්‍ය කර්මයක්‌ වෙනවාද කියලා මම සිහිපත් කරන්නේ ඉතාමත්ම ගෞරවයෙන්.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා - අද ඉංග්‍රීසි භාෂාව ඇතුළු බොහෝ භාෂා වලින් චරිත කතා අච්චු ගහනවා. අන්තර්ජාතික පාසල් වල චරිත කතා උගන්වනවා. ඒ චරිත කතා අතර අපගේ අයගේ චරිත කතා නැති තරම්. චරිත කතා කියවද්දී අපට දැනෙනවා ලෝකය දිනපු අය පාසල් ගිහින් නැහැ. උපාධි ලබා නෑ. නූතන පරම්පරාව සියලු තාක්‍ෂණික දේවල් ගන්නවා. හැබැයි ජීවත්වීමේ ශිල්පය කලාව දන් නැහැ.

අපි අපේ මිනිස්‌සුන්ට උදව් කරන්න ඕනේ. මේ බව තේරුම් ගත් මිලිනා මහත්මිය දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න බෞද්ධ මහා සම්මේලනය හරහා විශාල සේවාවක්‌ කළා. අධ්‍යාපනය ලබන්න දක්‍ෂ දරුවන්ට ඇය ශිෂ්‍යත්ව ලබා දුන්නා, බෞද්ධාලෝක මාවත යනු ප්‍රභූවරුන් සිටින ප්‍රදේශයයි. මෙම මාවත තිබුණේ අඳුරේ. මෙම මාවතට ආලෝකය එක්‌ කළේ මිලිනා මහත්මියයි. ඇයට ජගත්, තිලංග ඇතුළු පවුලේ සියලු දෙනා උදව් කළා. මේ විදිහට තමයි බෞද්ධාලෝක වෙසක්‌ කලාපය ඇරඹුණේ.

සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජගත් සුමතිපාල මහතා - අපි ලබාගත් ජීවිතයේ කොටසක්‌ රටටයි, සමයටයි අයිතියි. අපේ අම්මාගේ ජීවිතයෙන් කොටසක්‌ රටටත් ආගමටත් යෙදවූවා. බෞද්ධ මහ සම්මේලනයේ සිටින එකම කාන්තා සභාපතිනිය වන්නේ අපේ අම්මායි. අපගේ මවගේ නමින් සුමති මාතා කාන්තා අරමුදල අද අපි ආරම්භ කරනවා. මේ සඳහා සුමති සමූහ ව්‍යාපාරයේ සියලු සේවකයන්ගේ එක්‌ දිනක වැටුප පරිත්‍යාග කරනවා.

මෙම අවස්‌ථාවට මහා සංඝරත්නය, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල යන මහත්වරුද හේමා ප්‍රේමදාස මහත්මිය, කලාකරුවන් සහ මාධ්‍යවේදීහු ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2015/05/27/news25.html

0 comments: