Pages

Monday, May 11, 2015

මසාඡ් සෙන්ටර් ඒඩ්ස්‌ වපුරයි

ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය පැතිරීම අවම මට්‌ටමක පවතින බවත් රෝගය පිළිබඳව අවදානම් කණ්‌ඩායම් නිසි පරිදි දැනුවත් වී ඇති බවත් මෙතෙක්‌ මෙරට සෞඛ්‍ය බලධාරින් විසින් නිරතුරුව සිදු කරන ලද ප්‍රකාශකයක්‌ විය. ඔවුනට අනුව ශ්‍රී ලංකාව ලොව එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය අඩුම පැතිරීමක්‌ පෙන්නුම් කරන රටකි.

කරුණු කෙසේ වුවද එච්.අයි.වී./ ඒඩ්ස්‌ වැනි රෝගයක්‌ සමාජය තුළ පැතිරවීමට හේතු කාරක විය හැකි අවදානම් කණ්‌ඩායම් හා ඔවුන් අතර පවතින අවදානම් චර්යාවන්හි වැඩි වීමක්‌ මිස අඩු වීමක්‌ දක්‌නට නොලැබීමෙන් ඉහත කී ප්‍රකාශය කෙතරම් සත්‍යදැයි නැවත සිතා බැලීමට අවශ්‍යව තිබේ. මේ මොහොත වන විටද එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය මෙරට සමාජය තුළ පතුරවමින් අවදානම් චර්යාවන්හි නිරත වන පිරිස්‌වල වැඩිවීමක්‌ මිස අඩු වීමක්‌ නම් දක්‌නට නොලැබේ.

මෙරට එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය පැතිරවීමට සෘජුවම දායකත්වයක්‌ දරනු ලබන අනියම් ලිංගික සබඳතා පවත්වනු ලබන පිරිස්‌, ලිංගික ග්‍රමිකයින් (ගණිකාවන්), මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන්, බීච් බෝයිස්‌ යන කණ්‌ඩායම් අතරට සම්බාහන මධ්‍යස්‌ථානවල (මසාඡ් සෙන්ට(ර්)ස්‌) සේවය කරනු ලබන තරුණියන්ද මේ වන විට එක්‌ව අවසානය. මෙකී සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන් එච්.අයි.වී. පතුරුවන අවදානම් කණ්‌ඩායමක්‌ ලෙස මෙතෙක්‌ හඳුනාගෙන නොතිබිණි.

එහෙත් සම්බාහන කටයුතු (බොඩි මසාඡ්) සිදු කරන අතරතුර තම ගැනුම්කරුවන්ට ලිංගික සේවාවන්ද සැපයීම හේතුවෙන් මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන්ද එච්.අයි.වී./ඒඩ්ස්‌ රෝගය මෙරට සමාජය තුළ පැතිරවීමට වැඩි දායකත්වයක්‌ සපයන බවට මේ වන විට අනාවරණය වී තිබේ. මෙකී සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන්ද ලිංගික ශ්‍රමිකයන් සපයන සේවාවම සපයන බව අනාවරණය වී ඇති අතර එම තරුණියන්ගෙන් වැඩිදෙනා වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් බව මේ වන විට හෙළි වී තිබේ.

සැබැවින්ම සෙසු එච්.අයි.වී./ ඒඩ්ස්‌ අවදානම් කණ්‌ඩායම් මෙන්ම මෙකී සම්බාහන කටයුතුවල නිරත තරුණියන්ද එච්.අයි.වී. ඒඩ්ස්‌ රෝගය පිළිබඳව හෝ එම රෝගය පැතිරෙන ආකාරය පිළිබඳව නිසි අවබෝධයකින් පසු නොවන බව හෙළි වීම කනගාටුවට කරුණකි. පසුගිය වසර ගණනාවක්‌ පුරාම මෙරට එච්.අයි.වී./ ඒඩ්ස්‌ මර්දන කටයුතුවල ප්‍රධාන ඉලක්‌කගත කටයුත්ත වූයේ මෙකී අවදානම් කණ්‌ඩායම් අතර එච්.අයි.වී පැතිරීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම බව නොරහසකි. එහෙත් එම ඉලක්‌කය කෙසේ හෝ සාර්ථක වී නොමැති බව පෙනී යනුයේ එම අවදානම් කණ්‌ඩායම් හරහා එච්.අයි.වී./ඒඩ්ස්‌ රෝගය සමාජය තුළ පැතිර යැමේ හැකියාව ඉහළ මට්‌ටමක පවතින බව හෙළි වීමයි.

එච්.අයි.වී./ඒඩ්ස්‌ අවදානම් කණ්‌ඩායමක්‌ වන සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන් එම රෝගය තබා එය වැළඳෙන ආකාරය හෝ දන්නවාදැයි සැක සහිතය. කොටින්ම මෙම තරුණියන්ගෙන් බහුතරය වන වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාල සිසුවියන් බොහෝ විට ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇත්තේද අහම්බෙන් බව අනාවරණය වී තිබේ. සම්බාහන කටයුතු සඳහා යෑයි පවසමින් රැකියාවට බඳවා ගෙන ඇති මොවුන්ට මේ වන විට සම්බාහන කටයුතුවලට අමතරව ඔවුන්ගේ සේවය පතා පැමිණෙන ඇතැම් දෙස්‌ විදෙස්‌ පිරිමින් හා කාන්තාවන්ට ලිංගික සේවය සැපැයීමටද සිදුව ඇති අතර එම සේවය ලබන ඇතැමුන් ඔවුන් විසින් තෝරාගන්නා තරුණියන්ගේම සේවය නැවත නැවත ලබා ගැනීමට පෙළඹී ඇති බව අනාවරණය වී තිබේ.

මෙහි අවසන් ප්‍රතිඵලය ඉහත කී තරුණියන් එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය ඇතුළු දරුණු සමාජ රෝගවලට ගොදුරු වී ඔවුන් හරහා සමාජය තුළ එම රෝගයන් පැතිරීම සිදුවීමය. අවාසනාවකට මෙම පිරිස්‌ මෙසේ සම්බාහන මධ්‍යස්‌ථානවල ලිංගික ශ්‍රමිකයින් බවට පත් වී ඇති බව ඔවුනගේ දෙමව්පියන් හෝ හිතවතුන් පවා නොදන්නා බව හෙළි වී තිබේ.

වත්මන් එච්.අයි.වී./ ඒඩ්ස්‌ නිවාරණ වැඩසටහන් වල රෝගය පිළිබඳ දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කණ්‌ඩායමක්‌ වන මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන්ට එම දැනුවත් භාවය ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක්‌ තවමත් ක්‍රියාත්මක නොමැති බව පෙනී යන කරුණකි.

සමාජය තුළ එච්.අයි.වී./ඒඩ්ස්‌ නිහඬව පතුරුවන කණ්‌ඩායමක්‌ වන මොවුන් ප්‍රසිද්ධියේ කොළඹ ගෙන්වා හෝ සායනයන් හරහා ඔවුනට එච්.අයි.වී. / ඒඩ්ස්‌ සම්බන්ධව අධ්‍යාපනය ලබාදීම එතරම් සාර්ථක වූ පියවරක්‌ ලෙස නොපෙනෙනුයේ ලිංගික ශ්‍රමිකයින් මෙන්ම ඔවුන්ද තමන් ලිංගික සේවාවන් සපයනු ලබන කණ්‌ඩායමක්‌ බවට අන් අය දැනගනී යෑයි බියෙන් එම වැඩසටහන්වලට සහභාගි වීම මඟහරින බව අනාවරණය වී තිබීම නිසාය.

එසේ නම් මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන් මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා එච්.අයි.වී./ ඒඩ්ස්‌ පිළිබඳ දැනුවත් භාවය ලබා දීමට නම් ඔවුන් සිටින ස්‌ථානවලට ගොස්‌ හමුවී එම දැනුවත්භාවය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්‌ව තිබේ. ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය අදාළ වන අතර බොහෝ ලිංගික ශ්‍රමිකයින් පැල්පත් හා මුඩුක්‌කු ආශ්‍රිතව ජීවත් වීම නිසා එම ස්‌ථාන වෙත ගොස්‌ ඔවුන් වෙත එච්.අයි.වී./ ඒඩ්ස්‌ පැතිරීම හා එය වළක්‌වා ගැනීම පිළිබඳ දැනුවත් භාවය ලබා දීම කාලීන අවශ්‍යතාවයක්‌ බවට පත්ව ඇත.

මෙකී කාර්යය සඳහා පුනරුත්ථාපනය වූ ලිංගික ශ්‍රමිකයින් මෙන්ම එච්.අයි.වී./ ඒඩ්ස්‌ පිළිබඳ දැනුම ලැබූ ලිංගික ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගත හැකිය. බන්ධනාගාරවල රඳවා සිටින ලිංගික ශ්‍රමිකයින්ද පුනරුත්ථාපනය වූ පසු මෙකී කටයුතු සඳහා සහභාගි කර ගැනීමට බලධාරීන් සැලසුම් සකස්‌ කළ යුතුව ඇත. එවැනි ප්‍රායෝගික වූ වැඩපිළිවෙළක්‌ හරහා ලිංගික ශ්‍රමිකයින් අතරට එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය පැතිරීම පිළිබඳ පණිවිඩය ඵලදායී අයුරින් ගෙන යා හැකි නම් එය මෙරට එච්.අයි.වී. මර්දන වැඩපිළිවෙළ සාර්ථක මට්‌ටමකට ගෙන ඒමට මහෝපකාරි වනු නොඅනුමානය.

වර්තමානයේ දී වැඩි වශයෙන්ම අත්අඩංගුවට ගැනෙනුයේ ලිංගික ශ්‍රමිකයින් මිස ගණිකා මධ්‍යස්‌ථානවල හිමිකරුවන් නොවීම නිසා එසේ අත්අඩංගුවට පත්වන ලිංගික ශ්‍රමිකයන් පුනරුත්ථාපනය කෙරුණද ඔවුන් සේවය කළ ගණිකා මධ්‍යස්‌ථානවල හිමිකරුවන් විසින් වෙනත් තරුණියන් පිරිසක්‌ ලිංගික ශ්‍රමිකයින් බවට පත්කර එම මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැම සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ.

මේ අනුව ලිංගික ශ්‍රමිකයින් බිහිවීම වළක්‌වා ගැනීම අසීරු කර්තව්‍යයක්‌ වී ඇත්තේ මෙම සමාජ ක්‍රමයෙහිම පවතින වරදක්‌ නිසාය. එසේ නම් අඩුම වශයෙන් එම ලිංගික ශ්‍රමිකයින් හරහා සමාජයේ ස්‌වාමිපුරුෂයින්ද එම පුරුෂයින් හරහා ඔවුන්ගේ අහිංසක බිරින්දැවරුන්ද එච්.අයි.වී./ඒඩ්ස්‌ රෝගයේ ගොදුරු බවට පත්වීම වැළැක්‌වීමට නම් රෝගයෙන් ආරක්‍ෂා වන අයුරු පිළිබඳව හෝ නිසි දැනුවත්භාවය ඔවුනට ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්‌ වී තිබේ.

කරුණු එසේ නම් ශ්‍රී ලංකාවද ඉන්දියාව මෙන් ඒඩ්ස්‌ සුරපුරක්‌ වීම වැළැක්‌වීම සඳහා සෞඛ්‍ය බලධාරින් දැන්වත් ඉහත කී අයුරින් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුව තිබේ. මේ සඳහා පුනරුත්ථාපනය වූ ලිංගික ශ්‍රමිකයින්ගේ මෙන්ම බන්ධනාගාර රැඳවියන්ගේ සහාය ලබා ගැනීම එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහෝපකාරි වනු ඇත.

ඒමන්ති මාරඹේ, තොරතුරු සැපයුම - නාරාහේන්පිට ජනගහන අංශය හා ලිය අභිමානි කාන්තා එකමුතුව
http://www.divaina.com/2015/05/10/feature04.html

0 comments: