Pages

Tuesday, May 19, 2015

ජයලලිතා නිදහස්‌ වුණේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ පරම මිතුරකු වන ඉන්දියානු දේශපාලනඥ සුබ්‍රමනියම් ස්‌වාමි විසින්, ශ්‍රී ලංකාවේ පරම සතුරියක වන ජයලලිතා ජයරාම්ට විරුද්ධව පවරන ලද නඩුව ඉවත විසි වීම නිසා ලොකුම අවුල සිදුවිය හැක්‌කේ ලංකාවේ දේශපාලනයට ය. තිස්‌ අවුරුද්දකට ආසන්න දේශපාලන ජීවිතයක්‌ ඇත්තා වූද, තුන් වතාවක්‌ පමණ තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස තේරී පත්වුණා වූද ජයලලිතා නිතරම කටයුතු කළේ කොටි සංවිධානයට පක්‍ෂපාතවය. එයට හේතුව ඇගේ දේශපාලන ගුරුවරයා සහ ප්‍රේමවන්තයා වූ එම්. ජී. රාමචන්ද්‍රන් ජීවත්ව සිටි කාලයේදී ප්‍රභාකරන් සමග ගනුදෙනු කිරීමත් තමිල්නාඩුවේ කොටි පුහුණු කඳවුරු පිහිටුවීමට ආධාර උපකාර කිරීමත් ය. එම්. ජී. ආර්. දෙමළ ජාතිකයකු වුවද ජයලලිතාට සෘජු දෙමළ සම්භවයක්‌ නැත. 1948 දී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේදී, දෙමළ නොවන එහෙත් දෙමළ කතා කරන බ්‍රාහ්මණ වංශික පවුලක දියණිය ලෙස ඇය උපදී. ඇය තමිල්නාඩු ප්‍රාන්තයට සම්බන්ධ වන්නේ එම්. ජී. රාමචන්ද්‍රන්ගේ පෙම්වතිය ලෙස දෙමළ චිත්‍රපටවල රඟපෑමට යැමෙනි. ඇය චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ අතර එවැනි දක්‍ෂතාවක්‌ රාමචන්ද්‍රන්ට තිබුණේ නැත. 1977 දී තමිල්නාඩුවේ මහ ඇමැති බවට පත් වූ රාමචන්ද්‍රන් 1982 දී AIMDK පක්‍ෂය හරහා ඇය දේශපාලනයට හඳුන්වා දුන්නේය. 1983 දී ශ්‍රී ලංකාවේ ජාතිවාදී කෝලාහල සිදුවන අවස්‌ථාවේදී ඇය එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් ය. එකල AIMDK පක්‍ෂය ලංකාවට විරුද්ධව කළ ප්‍රචාරක ව්‍යාපාරය සැළසුම් කළේ ඇයය. මේ නිසා ලංකාව සම්බන්ධයෙන් ඇයට එදිරිවාදී ඉතිහාසයක්‌ තිබේ. නඩුවෙන් නිදහස ලැබූ ජයලලිතා අද (17 දා) තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස දිවුරුම් දීමට නියමිතව තිබිණි. එහෙත් පසුව එය කල් ගියේය. ශ්‍රී ලංකාව තුළ දැනට යටහත්ව තිබෙන බෙදුම්වාදී ව්‍යාපාරය තමාට වාසිසහගත ලෙස යොදා ගන්නේ කෙසේද යන්නත්, තම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා එම ව්‍යාපාරයට උදව් කරන්නේ කෙසේද යන්නත් ඇය එතැන් සිට කල්පනා කරනවා ඇත.

ජයලලිතාගේ නඩුව -

ඉන්දියාවේ ජනතා පක්‍ෂයේ නායකයා වන සුබ්‍රමනියම් ස්‌වාමි විසින් 1996 ජුනි 14 වනදා ජයලලිතා ජයරාම්ට විරුද්ධව නඩුවක්‌ පවරන ලදී. 1991-1996 කාලය තුළදී ඇය තමිල්නාඩු මහ ඇමැති ධුරයේ කටයුතු කරමින් නීති විරෝධී ලෙස අති විශාල ධනස්‌කන්ධයක්‌ රැස්‌ කළ බව ඔහු උසාවියට කීවේය. එසේ රැස්‌කළ වත්කම් විකුණා ඉන්දියන් රුපියල් කෝටි 66.65 ක්‌ උපයාගෙන තමාගේ නමින් තිබෙන සහ තමාට සම්බන්ධ බැංකු ගිණුම්වල තැන්පත් කරගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

චෙන්නායි නගරාසන්නයේ පිහිටි ගොවිපළ කිහිපයත් සහ මන්දිර කිහිපයත් හයිද්‍රාබාදයේ පිහිටි ගොවිපළත්, තමිල්නාඩුවේ පිහිටි වගා ඉඩම් සමූහයත්, නිල්ගිරිස්‌ ප්‍රදේශයේ පිහිටි තේ වත්තත්, වටිනා රන් ආභරණ, කර්මාන්තශාලා, සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයත් එසේ විකුණන ලද දේපළ බව ඔහු කීවේය. සුබ්‍රමනියම් ස්‌වාමිගේ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ තමිල්නාඩු පොලිසිය 1997 දී ඇගේ නිවස වටලා සෝදිසි මෙහෙයුමක්‌ කළේය. එවිට රිදී රාත්තල් 1800 ක්‌ බරැති ආභරණ, රත්රන් රාත්තල් 62 ත් බරැති ආභරණ, සපත්තු කුට්‌ටම් 750 ක්‌ සාරි 1500 ක්‌, අත් ඔරලෝසු 91 ක්‌ සහ තවත් වටිනා ආයිත්තම් රැසක්‌ එහිදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ පිළිබඳ නඩුව වසර 18 කට කිට්‌ටු කාලයක්‌ විභාග කිරීමෙන් පසු 2014 සැප්තැම්බර් 27 වනදා ජයලලිතා සහ තවත් සැකකරුවන් සිවුදෙනෙක්‌ වරදකරුවන් කරනු ලැබුවාහ. ජයලලිතාගේ නිවසේ ඇය සමග ජීවත් වන ඉතා බලගතු චරිතයක්‌ වන සසිකලා තවරාජන්, ජයලලිතාගේ ආධාරකාරියක වන ඉලවරාසි, ජයලලිතා විසින් හදාගත් පුත්‍රයා වන වී. එන්. සුධාකරන් එසේ වරදකරුවන් වූ සෙසු අයය. මේ සියලු දෙනාටම වසර 4 බැගින් සාමාන්‍ය සිර දඬුවම්ද ජයලලිතාට ඉන්දියන් රුපියල් කෝටි 100 ක දඩයක්‌ද, සෙසු තිදෙනාට රුපියල් කෝටි 10 බැගින් ද දඩ නියම විය.

ඉහත සඳහන් නඩු තීන්දුවත් සමගම ජයලලිතාට තමිල්නාඩු මහ ඇමැතිකම නැති විය. ඇගේ තනතුර ඇගේ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූද තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ඇමැති කෙනකු වූද ඕ. පනීර් සෙල්වම්ට පවරන ලදී. මෙයට අවුරුදු 50 කට පමණ පෙර තමිල්නාඩුවේ පිහිටි පෙරියකුලම් ගමේ තේ කඩයක්‌ දමාගෙන ජීවිතය පටන් ගත් ඕ. පනීර් සෙල්වම් ජයලලිතාගේ විශ්වාසය ඉතා ඉහළින් දිනාගත් අයෙකි. 1996 දී ඔහු පෙරියකුලම් ගම් සභාපති විය. ඔහු ජයලලිතාට කෙතරම් විශ්වාසදායක වීද යත් 2001 දී උසාවි තීන්දුවක්‌ අනුව ජයලලිතාට මහ ඇමැති ධුරය අහිමි වූ විට මහ ඇමැති ධුරයට පත් කරන ලද්දේද ඔහු ය. එම උසාවි තීන්දුවට එරෙහිව නඩු කියූ ජයලලිතා 2002 දී ජයග්‍රහණය කළ විට වහා මහ ඇමැතිකමින් ඉල්ලා අස්‌වූ පනීර් සෙල්වම් ඇයට මහ ඇමැති ධුරය දුන්නේය. මේ අනුව තමාට තනතුර අහිමි වන විට මහ ඇමැති ලෙස කටයුතු කිරීමට ජයලලිතා විසින් ඕ. පනීර් සෙල්වම් යොදාගනු ලැබීය. පනීර් සෙල්වම් මහ ඇමැති වූ අවස්‌ථා දෙකේ දීම ප්‍රාන්ත ආණ්‌ඩු වේ නියම පාල කයා වූයේ ජයලලිතා බව කියනු ලැබේ. මෙවරද ජය ලලිතාට නැවත වරක්‌ මහ ඇමැති තනතුර භාරදීම සඳහා පනීර් සෙල්වම් ඉල්ලා අස්‌වන්නේය. ජයලලිතා ඇතුළු පස්‌දෙනාම නඩුවෙන් නිදහස්‌ වූයේ සුබ්‍රමනියම් ස්‌වාමි විසින් නඩුව ගොනුකර තිබූ දුර්වල ස්‌වභාවය නිසා යෑයි කියනු ලැබේ. ජයලලිතාට එල්ල කර තිබූ පළමු චෝදනාව වන වංචනික ලෙස මුදල් උපයා ගැනීම හරියාකාර ඔප්පු කර ගැනීමට ඔහුට බැරි විය.

ඉන්දියානු නීතියට අනුව කිසියම් වත්කමක්‌ වාර්ෂිකව හෝ නියමිත කාලයක්‌ තුළ 10% කින් හෝ එයට අඩු ප්‍රමාණයකින් වර්ධනය වී ඇත්නම්, එය වර්ධනය වූ ආකාරය ගැන ගණන් හිලව් පෙන්වීමට බැරි වුවද නීතියෙන් ප්‍රශ්නයක්‌ නැත. එහෙත් 10% සීමාව ඉක්‌මවූ විට එම උපයා ගැනීම සිදු කළ ආකාරය ගැන විගණන වාර්තා ඉදිරිපත් කළ යුතුමය. ජයලලිතාගේ දේපළ වර්ධනය 8.12% ලෙස පමණක්‌ පෙන්වී මට පැමිණිලි පාර්ශ්වයට හැකි වූ අතර එය 10% හෝ එම ගණන නොඉක්‌මවීම නිසා නීති විරෝධී ඉපයීමක්‌ ලෙස ගණන් ගැනීමට අධිකරණයට හැකියාවක්‌ තිබුණේ නැත. අනෙක, තමා සතුව තිබූ සාරි 1500 දීර්ඝකාලීන සිනමා නිළියකව සිටියදී තෑගි ලැබුණ ඒවා බව ජයලලිතා කීවාය. එම තර්කය කැඩීමට පැමිණිල්ලට බැරි විය. එසේම ජයලලිතා ඇතුළු විත්තිකරුවන් ඉන්දියන් රුපියල් කෝටි 24.2 ක්‌ විවිධ බැංකු වලින් ණයට ලබාගෙන ඒවා ද ඔවුන්ගේ වත්කම්වලට එකතු කරගෙන ඇත. මේ නිසා ඔවුන්ගේ වත්කම්වල වර්ධනය වංචනික ලෙස වූ බව සාක්‍ෂි මත ඔප්පු කිරීමට නොහැක. ඒ බව නඩු තීන්දුවේ ද සඳහන් කර ඇත.

එහෙත් මෙයට විරුද්ධව තර්ක කරන ඇතැම් කොටස්‌ කියන්නේ ජයලලිතා විසින් අයුතු ලෙස අත්පත් කරගන්නා ලද දේපළවල වටිනාකම උසාවියේදී පෙන්වන ලද 8.12% ට වඩා බෙහෙවින්ම වැඩි 76% ක්‌ බවය. ගණන් හිලවු කෙසේ වේවා ජයලලිතා නඩුවෙන් ජය ගැනීම ගැන තමිල්නාඩුවේ මහ පිරිසක්‌ උද්දාමයට පත්ව සිටිති. සිකුරාදා වන විට ඇයට සුබ පැතීම සඳහා කොටි හිතවාදීහුද පාරට බැස සිටියහ.

අනුර සොලමන්ස්‌
http://www.divaina.com/2015/05/17/feature11.html

0 comments: