Pages

Sunday, May 3, 2015

යහපත් ජීවන මාර්ගයක්‌ පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ

අනවරාග්‍ර වූ සංසාර ගමනේ අනේක දුක්‌ කම්කටොළු විඳිනා සත්වයා හිරුගේ පිබීදීමත් සමග හිරු බැස ගොස්‌ රාත්‍රිය උදාවනතෙක්‌ම වෙහෙස වන්නේ ජීවිකාව පවත්වාගෙන යාමටය. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් ජීවන ක්‍රමෝපාය මාර්ගවල නිරතවන ස්‌වභාවයක්‌ දැකගත හැකිය. එම වෙහෙස තුළ ද ඇත්තේ මහත් වේදනාවකි. එය අවබෝධ කරගත් සිද්ධාර්ථ කුමාරයා මේ දුකෙන් මිදීමේ මාර්ගය සොයා ඇවිද ගියහ. කුමාරෝත්පත්ති කාලයේ විඳින ලද අපමණ සැපය වූ කාම සුඛල්ලිකානුයෝගය අත්හරිමින් සිරුරට දැඩි දුක්‌දීම නම් වු අත්ථකිලමතානු යෝගය අනුගමනය කරන ලදි. ඉන් කිසිදු සැනසීමක්‌ නොලත් බෝධිසත්වයෝ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. මේ උතුම් මධ්‍යම ප්‍රතිපදාවේ දී සංසාර භව චක්‍රය සිඳලන ආකාරය හඳුනාගත්හ. ඒ අනුව ඇසතු බෝ මුල දී වීර්ය නැමැති පාදයෙන්, සීලය නැමැති පොළොවේ හිටගෙන, ශ්‍රද්ධා නැමැති හස්‌තයෙන් සකල ක්‌ලේශයන් ප්‍රහාණය කිරීමේ ඥානය නැමැති ආයුධයෙන් භව චක්‍රයේ නාභීය වූ අවිද්‍යාවට පහර දුන්හ. එයින් භව චක්‍රයේ නිම්වළල්ල වූ ජරා මරණ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වී අද වැනි වෙසක්‌ පොහෝ දිනයක සම්මා සම්බුද්ධත්වයට පත් විය.

බෝධිසත්වයන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය සඳහා මහෝපකාරී වූයේ මධ්‍යම ප්‍රතිපදාවයි. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය යෑයිද කියනු ලැබේ. ආර්යයන් වහන්සේලා අනුගමනය කරන මාර්ගය යනුවෙන් ද එහි අර්ථයයි. සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ඒ උතුම් ආර්ය මාර්ගයයි.

සම්මා ආජීව යනු යහපත් ජීවන මාර්ගයයි. එනම් මිච්ඡා ආජීවයෙන් එසේත් නැතිනම්, වැරදි ජීවනෝපායන මාර්ගවලින් මිදි කටයුතු කිරීමය. ජිවිකාව පවත්වාගෙන යාමට බුදු රජාණන් වහන්සේ විසින් ගිහියාට සහ පැවිද්දාටද ධර්මානුකූල ක්‍රමවේදයක්‌ දේශනා කොට තිබේ. ගිහියාගේ ක්‍රමවේදයට වඩා පැවිද්දාගේ ජීවනෝපාය මාර්ගය සරලය. ගිහියා තම ජීවනෝපායනයන් කාමභෝගී ජීවිතයට සරිලන ආකාරයෙන් පවත්වාගෙන යනු ලබයි. ඒ නිසා අධික ලෙස හරි හම්බ කරනු දකි. එසේ මුදල් උපයාගැනීම වරදක්‌ සේ තථාගත දේශනාවේ සඳහන් වන්නේ නැත. පස්‌ පවින් වැළකී, වැරදි උපායන ක්‍රමවලින් මිදී මුදල් උපයා ගැනීම තථාගතයන් වහන්සේ විසින් අනුදත් සම්මා ආජීවයයි.

වැරදි උපායන ක්‍රම ලෙසට අංගුත්තර නිකායේ වණිජ්ජා සූත්‍රයේ දේශනා කර තිබෙන්නේ 'සත්ථ වණිඡ්ජා, සත්ත වණීජ්ජා, මාංස වණිඡ්ජා, මඡ්ජ වණිජ්ජා, විස වණිඡ්ජා, ඉමං ඛෝ භිCඛවේ පඤ්චම වණිඡ්ජා උපාසකො අකරණීය' යනුවෙනී. මහණෙනි ආයුධ වෙළඳාම, සතුන් වෙළඳාම, මස්‌ වෙළඳාම, මත්පැන් වෙළඳාම, විෂ වෙළ¹ම යන මේ වෙළඳාම් පහ උපාසකයකු විසින් නොකළ යුත්තකි. එය මිච්ඡා ආජිවයයි. මෙම වැරදි ජීනෝපායන මාර්ගයකින් යම් කෙනෙක්‌ ධනය උපයන්නේ ද එයින් සමස්‌ත සමාජයටම මෙන්ම තමාටත් ආර්ථික වශයෙන් මෙන්ම සාමාජික වශයෙන් ද බරපතළ හානියක්‌ සිදු වේ. 

එසේම ධාර්මිකව ධනය උපයමින් ජීවිකාව පවත්වාගෙන යන පුද්ගලයෙක්‌ ධනය උපයන්නේ වංචාවෙන් තොරවය.' තුලා කූට, කංස කූට, මාන කූට පටිවිරතෝ හෝති උක්‌කෝටන වඤ්චන නිකතිසාවියොගා පටිවිරතො හොති. ඡේදන වධ බන්ධන විපරාමෝස ආලෝපසහසකාරා පටිවිරතො හොති 'යනුවෙන් දීඝ නිකායේ සාමඤ්ඤපල සූත්‍රයේ පෙන්වා දී ඇත්තේ හොර තරාදියෙන් කිරීමෙන්, හොර මිණුම්වලින් මැනීමෙන්, අල්ලස්‌ ගෙන හිමියන් නොහිමියන් කිරීමෙන්, නා නා උපායෙන් අනුන් රැවටීමෙන්, අගනා දෙයට නො අගනා දෙයක්‌ පෙන්වමින් කරන මායාවන්ගෙන් යනාදියෙන් වැළකී සිටීම සම්මා ආජීවයයි. අත් පා ආදිය සිඳීමෙන්, මැරීමෙන්, රැහැන් ආදියෙන් බැඳීමෙන්, සැහැසිකම්වලින් වැළකී තම ජීවිතය හා ජීවිතය පවත්වාගෙන යාමට හේතුවන ධනෝපායන මාර්ගවල නිරතවිය යුතු බව දේශනා කළහ.

එසේ මිච්ඡා ආජිවයෙන් මිදී සම්මා ආජිවය තුළින් ජීවිතය පවත්වා ගෙන යාමට හැකි වන යහපත් ජීවන මාර්ගයන් ද පෙන්වා දී තිබේ. අංගුත්තර නිකායේ ව්‍යග්ගපඡ්ජ සූත්‍රයේ සඳහන් වන ආකාරයට ' යෙන කම්මට්‌ඨෙන ජීවකං කප්පේති යදි කසියා, යදි වණිජ්ජා, යදි ගෝරෙCඛන, යදි ඉස්‌සත්ථෙන, යදි රාජා පොරිසේන, යදි සිප්පඤ්ඤතරේන'කෘෂිකර්මය, වෙළඳාම, ගව පාලනය, හමුදා සේවය, රාජ්‍ය සේවය, වෙනත් ශිල්ප කර්මාන්ත ආදි යම් කර්මාන්තයකින් තම ජිවිකාව පවත්වාගත යුතු බව බුදු රජාණන් වහන්සේ සම්මා ආජීවයේ දී දේශනා කර ඇත. ගිහියකු වශයෙන් තම ජීවිකාව පවත්වාගත යුතු වන්නේ ' භොගේ සංහර මානස්‌ස භමරස්‌සේව ඉරියතෝ 'යම් සේ බමරෙකු මලේ ඇති වර්ණ, ගන්ධ යන අංගයන්ගෙන් එකකටවත් හානි නොවන සේ එහි පැණි ලබාගෙන රිය සකක්‌ තරමේ මී වදයක්‌ බඳින්නාක්‌ මෙනි. ඒ නිසාම ධාර්මිකව ධනය උපයාගත යුතු බව උන්වහන්සේ පෙන්වා දී තිබේ. 

'උට්‌ඨාන විරියාධිගතෙහී බාහාබල පරිචිතේහි සේදා වක්‌ත්තේහී ධම්මිකේහී ධම්ම ලද්දේහී'උට්‌ඨාන විර්යයෙන් දැතේ මහන්සියෙන් දහඩිය වගුරුවා ධාර්මිකව ජීවන උපාය මාර්ගයන් පවත්වාගෙන යාම ගිහියකු විසින් සිදුකළ යුතුය. මධ්‍යම ප්‍රතිපදාවේ ඇති ගිහි ජීවිතයට අනුදත් සම්මා ආජීවය එසේ හඳුනාගත හැකිය.

පැවිදි ජීවිතයේ දී ඉහතින් දේශනා කරන ලද ජීවනෝපාය මාර්ගයන් සුදුසු වන්නේ නැත. මන්ද පැවිදි ජිවිතයට ධනය ඉපැයීම උචිත නොවන නිසාය. එහෙත් පැවිද්දෙකු සම්මා ආජීවයෙන් තම ජිවිකාව පවත්වාගත යුතුව තිබේ. එය ආජීව පාරිශුද්ධ ශීලය වශයෙන් ම බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. භික්‍ෂූවක්‌ තම ජිවිතය අන් අයගේ යහපත පිණිස දුකෙන් මුදවා ගැනීම පිණිස, පවත්වාගත යුතුව තිබේ. එසේ යන ගමනේ උන්වහන්සේ මිච්ඡා ආජීවයෙන් වැළකී සම්මා ආජීවය ප්‍රගුණ කළ යුතුය. ඒ කෙසේ ද ආජීවය හේතුකොට පනවා වදාළ සය වැදැරුම් ශික්‍ෂා පදයන් කඩ නොකිරීම හා කුහනා. ලපනා, නෙමිත්තකතා, නිප්පේසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා, දී පාප ධර්මයන් වශයෙන් පවත්නා මිච්ඡා ආජිවයෙන් වැළකී සිටීමයි.

උපසම්පන්න භික්‍ෂුවක්‌ තම ජිවිතය පවත්වා ගෙන යාමට ගිහියන්ගේ ලාභ කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුවෙන් තමා තුළ නැති උත්තර මනුෂ්‍ය ධර්මයන් ඇතැයි කියන්නේ නම් එය පාරාජිකාපත්තියක්‌ ය. ඒසේත් නැතිනම්, භික්‍ෂූත්වය කරටිය සිඳලූ තල් රුකක්‌ සේ විනාස වී යන තරම් බලවත් වූ වැරුද්දකි. එසේම ස්‌ත්‍රි පුරුෂ දෙදෙනාගේ පණිවිඩ පනත් හුවමාරු කරමින් ඔවුන්ගෙන් ප්‍රත්‍ය අපේක්‍ෂා කරන්නේ නම්,එයද සංඝාදිසේසාපත්තියක්‌ වශයෙන් පෙන්වා දී ඇත. අනියමින් තමන්ගේ ගුණයන් පිලිබඳව ගිහියාට ඇසෙන සේ දැනෙන සේ කියන්නේ නම්, එය ථුල්ලච්චයාපත්තිය ලෙසට දේශනා කර ඇත. රෝගී නොවූ උපසම්පන්න භික්‍ෂූවක්‌ තම ජීවිතය පවත්වාගෙන යාමට ප්‍රණීත භොජන ගිහියාට කියා සකස්‌ කරගෙන ගෙන්වා වළදන්නේ නම් මිච්ඡා ආජීවයක්‌ වශයෙන් පෙන්වා දී තිබේ. එසේ ම භික්‍ෂූණියක්‌ වුවද රෝගී නොවී ප්‍රණීත භෝජන ගෙන්වා වළඳන්නේ නම් වැරදි ජීවිකාවක්‌ වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදී තිබේ. එසේ වැරදි ජිවිකාවන්ගෙන් මිදී සය වැදැරුම් ශික්‍ෂාපද වූ පාරාජිකා, සංඝාදිසේස, ථුල්ලච්චය, පාචිත්තිය, පාටිදේශනිය, දුක්‌කටය, ආරක්‍ෂා කර නොගන්නේ නම්, උපසම්පන්න භික්‍ෂුවගේ ආජීවය අපිරිසිදු වන බව දේශනා කළහ.

සම්මා ආජීවය පිළිබඳව තවදුරටත් විමසීමේ දී භික්‍ෂුන් වහන්සේට කිසියම් වූ හේතුවක්‌ නිසාවත් තම ජිවිකාව හේතු කොටගෙන මිච්ඡාජීවයන් පවත්ගැනීමට අවසර නොමැත. භික්‍ෂූන් වහන්සේ වැළකිය යුතු මිච්ඡා ආජීවයක්‌ ලෙස පෙන්වා දී ඇත්තේ කුහනා, ලපනා, නේමිත්තකතා, නිප්පේසිකතා, ලාභෙන ලාභං නිජිගිංසනතා දී වු පාප ධර්මයන් ය. ඒවායෙන් මිදී භික්‍ෂූ ජීවිතය පවත්වාගැනීම, සම්මා ආජීවය ලෙසට පෙන්වාදිය හැකිය.

කුහනා යනු ලාභ සත්කාර කීර්ති, ප්‍රශංසා, ප්‍රාර්ථනා කරමින් යම් කිසි භික්‍ෂුවක්‌ නැති ගුණ දක්‌වන්නේ නම්, මුහුණ හකු`එවන බවක්‌, කුහක බවක්‌, වෙයි ද එය කුහනා නමින් හඳුන්වයි. එම කුහනා ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීමේ කුහනාව (පච්චය පටිසේදන කුහනා), උතුරු මිනිස්‌දම් ඇතැයි බොරුවට හ`ගවන කුහනාව,(සාමන්ත ජප්පන කුහනාව), ඉරියව්වෙන් මහ ජනයා විස්‌මයට පත් කරවන කුහනාව,(ඉරියාපත කුහනාව) වශයෙන් තව දුරටත් වර්ගකොට පෙන්වාදිය හැකිය. ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් යම් භික්‍ෂුවක්‌ එවැනි ක්‍රියාවල නිsරත වන්නේනම් එය මිච්ඡා ආජීවය ලෙසින් හඳුනාගත හැකිය.

ලපනාව නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වු පාපිච්ඡ භික්‍ෂුවක්‌ දායකයන් සම`ග කතා කිරීමේ දී තමන් උසස්‌ තැන තබා කතා කිරීම (ආලපනා), තමාගේ උසස්‌ බව ප්‍රශ්නයක්‌ ලෙස අසන කෙනකුට එය වැඩි වැඩියෙන් කියාපෑම (ලපනාව), දායකයන් කලකිරේය යන බියෙන් දායකයාට ද කතා කිරීමට අවකාශ තබ තබා කතා කිරීම (සලල්පනා), දායකයා උසස්‌කොට තබා කතා කිරීම (සමුල්ලපනා), නිරවුල් වු දායකයා අවුලේ ලා කතා කිරීම (සමුන්නාහනාව), තමා පිළිබඳව උද්දීපනය කර කතාකිරීම (සමුක්‌කාචනාව), සත්‍යකූලානුභාවය හෝ ධර්මානුකූලත්වය නොබලා නැවත නැවත කතා කිරීම (අනප්පියභාණීතාවය), තමා දායකයාට වඩා පහත් බව හැ`ගවෙන සේ කතා කිරීම (චාටු කම්‍යතා), කතාකරන දේ කොටසක්‌ ඇත්ත, කොටසක්‌ බොරුවීම (මුග්ගසුප්පතාව), දායකයන්ගේ හිත දිනා ගැනීමට ඔවුන් වඩා ගැනීම (පාරිභට්‌ටතාවය), වශයෙන් ලපනාවේ ස්‌වභාවය පෙන්වා දී තිබේ. ලාභ සත්කාර ආදි වූ ප්‍රත්‍ය බලාපොරොත්තුවෙන් එවැනි ලපනාවන් හී නිරත වීම වැරදි ජිවිකාව ලෙස බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබේ. 

ප්‍රත්‍ය ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් පාපි වූ භික්‍ෂුවක්‌ දායකයාට ප්‍රත්‍ය පිළිගැන්වීමට සිත් පහළවන කාය කර්ම, වාග් කර්ම ඇති කිරීම (නිමිත්ත), ප්‍රත්‍ය පිළිබඳ නිමිති කීම (නිමිත්ත කර්ම), ප්‍රත්‍ය පිළිබඳව කතා කිරීම (ඕභාස), ප්‍රත්‍ය ගෙන්වා ගන්නට කුඩා දරුවන්ට හැ`ගවීම (ඕභාස කම්ම), හිතවත් භික්‍ෂූවක්‌ සේ ආසන්න කොට කතා කිරීම (සාමන්තජප්පන), යම් සේ කතා කරන්නේ ද එසේ කතා කිරීමෙන් ප්‍රත්‍ය ලැබෙන්නේ ද එය පෙරල පෙරලා කතා කිරීම (පරිකතා), යනා දිය නේමිත්තකතා නම් වූ මිච්ඡා ආජීවය දේශනා කොට වදාළහ. එවැනි කාය, වචි කර්මයන් තුළින් තම ජීවිකාව පවත්වා ගැනීම වැරදි ක්‍රියාවක්‌ වශයෙන් පෙන්වා දී තිබේ. 

යම් කිසි භික්‍ෂුවක්‌ ලාභ සත්කාර කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුවෙන් අන් අයට දශ ආක්‍රොශ වස්‌තුවෙන් ආක්‍රොශ කිරීම් (අෙCකාසනා), බැණ වැදීම් (වම්හනා), දෝෂාරෝපණය කිරීම් (ගරහවනා), 'කටවහගනු' වශයෙන් ඔසවා කතා කිරීම (උෙCපනා), සර්වප්‍රකාරයෙන් ඔසවා කතා කිරීම (සමුෙCඛපනා), කවටකම් කිරිම (පනා), වඩාත් කවට කම් කිරීම (සංපනා), දායකයන් දන් නොදීමේ අගුණ සැම තැනම පැතිරවීම (පාපනා), සර්වප්‍රකාරයෙන් පැතිරවීම(සම්පාපනා), බියට පත්ව ප්‍රත්‍ය දේය යන්න සිතා ගෙයින් ගෙට, ගමින් ගමට නුගුණ කියා සිටිම(අවණ්‌ණහාරිතා), සම්මුඛයේ මිහිරි සේ කතාකර අසම්මුඛයේ නුගුණ කීම (පරපිට්‌ මංසිකතා), යනාදිය ද මිච්ඡා ආජීවය ලෙස දේසනා කොට ඇත. තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාමට විවිධ දේ බලාපොරොත්තුවෙන් මේ වැනි ක්‍රියාවල නිරතවීම ආර්ය මාර්ගය නොවන බවට පෙන්වා දී තිබේ.

ලාභෙන ලාභං නිජිගිංසනතා යනු ලාභයෙන් ලාභය සෙවීමයි. තමන්ට ලැබෙන සිව්පසය ගැන සෑහිමකට පත් නොවී තව තවත් සොයා යැම වැරදි ජිවිකාවක්‌ වශයෙන් භික්‍ෂුවට දේශනා කොට ඇත. එසේ කටයුතු කිරීම තුළ පැවිදි ගුණ ධර්ම පිරිහිමට පත් වේ. ආර්ය මාර්ගයෙන් ගමන් කරන භික්‍ෂුවට 

එවැනි මිච්ඡා ආජීවයන් තුළින් ඉවත්ව තම ජීවිකාව පවත්වාගෙන යැමට තථාගතයන් වහන්සේ ධර්ම කාරණා දේශනා කොට තිබේ. 

ගිහියා සහ පැවිද්දා යන දෙදෙනාම තමාගේ ජිවිතය පවත්වා ගැනීමට අනුගමනය කරන වැරදි ක්‍රියාවලින් ඉවත් විය යුතුය. එයට සුදුසු මාර්ගයන් බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබේ. ගිහි ජිවිතයට සුදුසුවන මාර්ගයත්, භික්‍ෂු ජිවිතයට සරිලන මාර්ගයත් විනය මුල්කොටගෙන දේශනා කොට වදාළහ. එම ධර්මතාවයන් තම ජිවිතයේ පුරුදු පුහුණු කිරීම මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කිරීමක්‌ වන්නේය. එසේ ආර්ය අෂ්ටාංගික නම් මාර්ගයේ අවබෝධයෙන් යුක්‌තව ගමන් කිරීම දුකට හේතුව වු තෘෂ්ණාව නැති කොට අවිද්‍යාව දුරු කරන්නට සමත් වේ. අවිද්‍යාව දුරු වීමෙන් ජරා මරණ නැති වන සදාකාලික සැනසීම ළඟාකර ගත හැකිය. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්වා දී ඇති සම්මා ආජිවය හෙවත් යහපත් ජීවිකාව ද ඉතා වැදගත්ය. මේ උතුම් වෙසක්‌ පොහෝ දිනයේ ගිහි පැවිදි අප සියලුදෙනා සම්මා ආජීවය පුරුදු පුහුණු කරමින් ආර්ය මාර්ගයට පිවිසීමට අධිෂ්ටාන කර ගනිමු.

ශාස්‌ත්‍රපති පූජ්‍යපාද මහකච්චකොඩියේ පඤ්ඤාසේකර හිමි - කථිකාචාර්ය මානෙල්වත්ත ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය.
http://www.divaina.com/2015/05/02/feature.html

Pic Source

0 comments: