Pages

Saturday, May 23, 2015

විසිවන සියවසේ සිංහයා සහ ඩිජිටල් වැලිකතර - ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහ

ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහයන් - 1939 - මැයි - 27දා ඉපදුනේය. මෙම 27 දාට ඔහුට වයස අවුරුදු හැත්තෑ හයකි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1971 ඔක්‌තෝබර් 27 වෙනිදා එළැඹෙන තුරු මට ඉවසුම් නැතිවිය. ඒ සිංහල රිදී තිරය - අති විශාල පුළුල් තිරයක්‌ වන දිනයයි.

මාගේ සහෝදර ගිවන්ත අර්ථසාද් මහතා විසින් නිහාල්සිංහ මහතාගෙන් ලබා ගත් ''වැලිකතරේ'' සුවිශේෂිත වූ - කළු සුදු මි.මී. 35 හේ චිත්‍රපට ප්‍රදර්ශක පටල කැබලි ගනනාවක්‌ මාස කිහිපයක්‌ මුළුල්ලේ - මා දැඩි සෙනෙහසින් අත-පත ගාමින්, කිසිවෙකු හට නොපෙනෙන්නට - පටල මත ''දිවද'' ගා බැලුවේ - සිනමාවේ ''රහ'' දැන ගැනීමටය. 

එම පටල පට මත කාවැදී ඇති - ගාමිණි, ජෝ, සුවිනීතා වැනි සිංහල නළු - නිළියන්ගේ සුවිශේෂිත වූ, දෙපසින් හැකිලී ගිය රූප (ANAMORPHIC IMAGES) මාගේ ''සීරසිමා'' නමැති රෝගී තත්වය - අසාධ්‍ය තත්වයට පත් කලේයර්. ''සීරසිමා'' යනු - සීමා රහිත සිනමා මාන්දමයි. කාලයාගේ ඇවෑමෙන් රෝගී තත්වය - නිරෝගී වී යැමේදී, මා වෙතින් ''ඩිලීට්‌'' වී ගිය ඇතැම් පැරණි දත්ත නැවත ''ඩවුන් ලෝඩ්'' කර ගැනීම වෙනුවෙන්, ගිවන්ත අර්ථසාද් - ජෝර්ජ් මනතුංග - සෝමපාල ලීලානන්ද සහ නිමල් රෝසා යන අයට ස්‌තුතිය පුදකර සිටින අතර - රෝගී තත්වය, නැවත හිස ඔසවා ඇති බවද කිව යුතුය.

නීල් රූපසිංහයන්ගේ ''හතර දෙනාම සූරයෝ'' 100 වෙනි දිනයට පසු දින - එනම් 1971 ඔක්‌තෝබර් 26 වෙනි දින පමණක්‌ මරදාන ගාමිණි (ගාමිණි හෝල්) සිනමා හල තාවකාලිකව වසා දමන ලද්දේ - පසු දින සිට තිරගත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම පුළුල් තිර චිත්‍රපටය වන විශ්මය ජනක වූ, ''වැලිකතර'' වෙනුවෙන් සිනමා හල් තිරය ගලවා දමා - අති විශාල පුළුල් තිරයක්‌ සවිකිරීම පිණිසය.

එය ඒ අයුරින්ම සිදුවූයේ නිහාල්සිංහ මහතාගේ මැදිහත් වීමෙන් - එතුමාගේ තාක්‌ෂණික උපදෙස්‌ සහ විධානයෙනි.

ගාමිණි : රජ දැක්‌මට අවසරද ..... ?

සුවිනීතා : අවසරයි .......!

ඒ - වැලිකතරේ ප්‍රචාරක දැන්වීමකට භාවිතා කළ ශබ්ද පටයෙන්ම උපුටා ගත් එක්‌ දෙබස්‌ ඛණ්‌ඩයකි.

සිංහල සිනමාවේ රජ දැක්‌ම - නිහාල්සිංහගේ වැලිකතර ........

ඒ - බණ්‌ඩාර කේ. විජේතුංගයන්ගේ හඬයි.

දැන්, සිංහල රිදී තිරය උසමෙන් - දෙගුණයකුත් දශම - තුනයි - පහක්‌ පළලින් යුක්‌තය.

මොරටුව එමෙස්‌ සිනමා හලේ අති විශාල පුළුල් තිරය මත - පළමු දිනයේ - පළමු දර්ශනය (FIRST DAY - FIRST SHOW) දහවල් 2.00 ට නැරඹීමේදී ම, මා කෙතරම් සිනමා පටයට ඇබ්බැහි වී, ප්‍රමෝදයට මෙන්ම, වේදනාවකට ද පත් වූවා දැයි කීවොත් පිට පිට වැලිකතර නැරඹීමට තරම් - මා පෙළඹ වූ ඒ ''ප්‍රමෝදය'' සහ ''වේදනාවම'' ප්‍රධාන සාධකය බවට පත් විය.

ඒ - එතෙක්‌ සිනමා තිරයේ මාගේ ''වීරයා'' බවට පත්ව සිටි - ගාමිණි ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා, වැලිකතරේ ප්‍රධාන දුෂ්ට චරිතයට පණ පොවා මාගේ හදවත පෑරවීමට තරම් සහසික වීමයි.

ගාමිණි ෆොන්සේකා දුෂ්ඨයෙකු වීම - මට අදහාගත නොහැකි විය. රටම ආදරය කරන නළුවෙකු - එවන් අභියෝගාත්මක චරිතයක්‌ භාර ගැනීම, එදා මා අනුමත නොකළෙමි. එහෙත්, එම දුෂ්ඨයා පසුපස සිටි දැවැන්ත සෙවනැල්ල අන් කාගේවත් නොව, ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්‌ෂවරයාගේය.

කෙතරම් අනර්ඝ වුවත් - චිත්‍රපටයක්‌ මා හය - හත් වතාවකට වඩා නරඹා නැති අතර, ''වැලිකතර'' නැරඹූ වාර ගනන ''තිස්‌ දෙකහමාරකි''. 18 වැනි වතාව, පිළියන්දල ''සීදේවී'' සිනමා හලේ නරඹමින් සිටි අතර - විවේක කාලයෙන් පසු විදුලි බලය විරහිත වී යැමෙන් - වැලිකතරේ ඉතිරි භාගය අදටත් ඉතිරිව ඇති බව කිව යුතුය.

''විලාස්‌නී'' දෙහිවලද - ''වැලන්ටයින්'' වෑතරද ඇරුණු කල කළුතර - සිට - වැල්ලවත්ත - මරදාන - කිරිබත්ගොඩ අවටද තිර ගත වූවා නම් - මා වැලිකතර නොබැලු සිනමා හලක්‌ සොයා ගැනීමට නොහැකි තරම්ය.

එදා - මෙදා තුර - දේශීය සිනමාව තුල බිහිවූ විශිෂ්ඨ ගනයේ හාෙස්‍යත්පාදක රංගධරයා වන ජෝ අබේවික්‍රමයන් ගෝරිං මුදලාලි හෙවත් - දිප්පිටිගල මුදියන්සේලාගේ සුදු බංඩා චරිතය තුලින් - අභියෝගාත්මක ගනයේ සිනමා නළුවකු බිහිකිරීමට ගත් උත්සාහයත්, 

ඒ වන විට - සුවිනීතා වීරසිංහ නැමැති ජනප්‍රිය පෙලේ පලපුරුදු රංගවේදිනිය තුලින්, සූරා - මිරිකාගත් ''ගීතා රණ්‌දෙනිය'' චරිතයත්, තිස්‌ස අබේසේකරයන්ගේ තිර- නාටකය අභිබවා, යවමින් ''අඹා'' ඇති බව, පැසසිය යුතු කාරණයක්‌ වන්නේය.

සියලු නළු - නිළියන් හට එල්ලකොට ඇති අපූරු අධියුරු විධානයත්, ප්‍රබල සංස්‌කරණ රටාවට සරිලන නිවැරදි රූ - ගැන්වීමත් සහ ඊටත් වඩා ගාමිණි ෆොන්සේකා මහතාව මෙහෙයවා ඇති - විශිෂ්ඨ වූ, අපූර්වත්වය - මා විශ්මයට පත් කරවූ - කාරණා වන්නේය.

බහු-තල සංස්‌කරණයද දේශිය සිනමාවට හඳුන්වා දෙන ලද්දේ - නිහාල් සිංහයන්ගේ ''වැලිකතර'' රූ ගැන්වීමෙන් සහ සංස්‌කරණයෙන් බව - නොකියා සිටියහොත්, මෙම ලිපිය වැදගත් නොවන්නේය.

1953 වසරේ - හොලිවුඩ් සිනමාවට - ''විසිවෙනි සියවසේ නරියා'' (20th CENTURY FOX) විසින් දායාද කල - හෙන්රික්‍රෙශන් නම් විද්‍යාඥයාගේ ඇනමෝෆොක්‌ හෙවත් ''සිනමාස්‌කෝප්'' යන වෙළඳ නාමය යෙදු - පුළුල් තිර කාච ක්‍රමවේදය, බොලිවුඩ් සිනමාවේ, ගෝරා ඕර් කාලා - පාකීෂා සහ කොලිවුඩ් සිනමාවේ, රාජා රාජා චෝලාන් වැනි චිත්‍රපට නිපදවීමෙන් ඉන්දියානු කලාපීය රටවලට - පුළුල් තිර ක්‍රමය සංක්‍රමණය වූයේ, වැලිකතර ප්‍රදර්ශනයෙන් අවුරුදු තුනකටත් පසුව බව, සටහන් තබන්නේ - ඉන්දියානු සිනමාව හෑල්ලුවට ලක්‌ කිරීමට නොව, අප සිනමාවේ සම්පතක්‌ වූ - ''විසිවෙනි සියවසේ සිංහයාට'' ඒ, විශිෂ්ඨ වූ ගෞරවය නිතැතින්ම ලැබීම - වළක්‌වා ලිය නොහැකි බැවිනි.

''මරුකතර'' නමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කළද - එහි ''නමේ'' ගණ පිහිටීම නිවැරදි වුවත් - මරුකතර තුලින් ප්‍රේක්‌ෂක මනස තුල මැවෙන ''චිත්‍රය'' වඩා සුභදායක තත්වයට පත් කිරීමට නිහාල්සිංහ මහතා ''වැලිකතර'' යනුවෙන් නම් තැබීම වඩා යෝග්‍ය යෑයි - චිත්‍රපටය නැරඹූ පසුව, මටද වැටහින. 

ලොව පුළුල් තිර චිත්‍රපට වන ලෝරන්ස්‌ ඔෆ් අරේබියා- (70 mm. SUPER PANAVISION) ද ටෙන් කොමාන්ඩ්මන්ස්‌ (VISTA VISION) හව්ද වෙස්‌ට්‌ වොස්‌ වොන් (CINERAMA) ද ග්‍රේට්‌ එස්‌කේප් (CINEMASCOPE) ෆොර ෆිව් ඩොලර්ස්‌ මෝ, (TECHNISCOPE) වැනි දැවැන්ත චිත්‍රපට කතා පුවත් සඳහා යොදා ගත් - සිනමාවට පමණක්‌ ආවේණික වූ, අතිශය, ''දුර-රූප'' හැසිරවීමේ ශිල්පීය ක්‍රමය නිහාල්සිංහයන් විසින් තෙරක්‌ නොපෙනෙන ''වැලිකතර'' ට භාවිතා කිරීමෙන් එම කථා පුවත වඩාත් ඔපමට්‌ටම් වී ඇති බැව් පෙනී යන්නේ - එය අති විශාල පුළුල් තිර චිත්‍රපටයක්‌ම නිසාය.

සිනමාව යනු කුඩා කාමරවලට හෝ මිනි සිනමා හල්වලට ඔරොත්තු නොදෙන කලා කර්මාන්තයක්‌ බව, නිහාල්සිංහ ''ගුරු'' අපට උගන්වා ඇත්තේ - වැලිකතර නම් වූ දැවැන්ත සිනමා කෘතිය තුලිනි.

අද සිනමා කරුවන් පුරුදු-පුහුණුව සිටින්නේ, ඉතා ලාබෙට ඉතා ඉක්‌මණින් ලැබෙන දේ, වැඩි- වැඩියෙන් රහ බැලීමටය. එමෙන්ම, විප්ලවවාදී සිනමාරූපී බවක්‌ ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට ''හස්‌ත ගත කැමරා කරණය' (HAND HELD CAMERA OPERATING) වෘත්තිය මට්‌ටමින් නිර්මාණාත්මකව - හඳුන්වා දෙනු ලබන්නේද - වැලිකතරෙනි.

වික්‍රම රණ්‌දෙනිය (ගාමිණි) ගේ දෘෂ්ඨි කෝණයෙන් ක්‍රමයෙන් ගෝරිං මුදලාලි (ජෝ ) වෙත ලංවීමද ගෝරිංගේ සගයා - වික්‍රම රණ්‌දෙණියගේ හිසට බෙලියඩ් පොලු පහර දීමේදී සිහිසුන් වී - බිම ඇද වැටීම, වික්‍රමගේ කෝණයෙන් - ''හස්‌ත ගත - කැමරා භාවිතයෙන්'' අපූරුවට රූ - ගන්වා ඇත. ඒ - එක්‌ අවස්‌ථාවක්‌ පමණි.

1998 ජූලි 24 වෙනිදා ලොව පුරා තිරගත කල ශ්‍රීමත් ස්‌ටීවන් ස්‌පීල්බර්ග් ගේ ''ද සේවිං ප්‍රයිවට්‌ රයන් 'චිත්‍රපටයට භාවිතා කලේද ''ස්‌ටෙඩි කෑම්'' රහිත හස්‌ත ගත කැමරා හැසිරවීමයි.

තවද - කාර්මික තිර-නාටකයක්‌ සහ කටු-රූප කථා මාලාවක්‌ (TECHNICAL SCREEN PLAY & STORY BOARD ) පිළිබඳ වැලිකතර නාමාවලියේ සඳහන් නොවුණත් - එයද සූක්‌ෂ්ම ලෙස නිහාල්සිංහ මහතා අතින්ම සිදු වී ඇති බැව් - ප්‍රදර්ශක පිටපත නරඹන විට හැගී යයි.

අධ්‍යක්‌ෂණය කොට - කැමරා කරමින්, අනතුරුව අධ්‍යක්‌ෂවරයා විසින්ම සංස්‌කරණය කළ යුතු බවට අකිරා කුරොසොවා සහ සත්‍යජිත් රායි වැනි ලොව විශිෂ්ඨ පෙළේ සිනමා කරුවන්ගේ ''නිවැරදි මතය''සාක්‌ෂාත් කිරීම වෙනුවෙන් නිහාල්සිංහයන් විසින් බිහි කළ වැලිකතර හෝ වැලිකතර විසින් බිහි කල නිහාල්සිංහයන් සාක්‌ෂි දරණු ඇත.

තවද - ජී. ඩී. එල්. පෙරේරාගේ ''දහසක්‌ සිතුවිලි'' චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‌ෂවරයාද ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ සූරීන්ය. එහි එක්‌තරා දර්ශනයක තත්පර කිහිපයක්‌ - රූපය නාභි ගත නොකර (OUT OF FOCUS) තරමක අපැහැදිලි තත්වයකින් නිමවා තිබුණි. එය දුටු නැණවත් විචාරකයෙකු විසින් කැමරා අධ්‍යක්‌ෂ නිහාල්සිංහයන් අධ්‍යක්‌ෂවරයාගේ අභිමතය ඉතා හොඳින් අවබෝධ කරගෙන - එම යථාර්තවාදී දර්ශනය බොඳ කර - රූ ගන්වා ඇති සැටියෙන්, එහි ගැබ්ව ඇති ගැඹුරු අරුත මනාව ඉස්‌මතු වන බවක්‌ - ගැඹුරින්ම පෙන්වා දී තිබුනි.

ඊට නිහාල්සිංහ මහතා - ඊලඟ කලාපයේ කදිම පිළිතුරක්‌ විචාරකයා වෙත, මුදාහරිමින් - ඒ දර්ශන කොටස බොඳ කර රූ - ගැන්වුයේ හිතා - මතා නොව, ෆොකස්‌ පුලර් (සහය කැමරා ශිල්පියා) කාචය නිවැරදි ලකුණට නාභිගත නොකළ නිසා බව කියමින් තමාට ''සුදු - හුණු'' ගෑම ප්‍රතික්‌ෂේප කරන ලදී.

එම ප්‍රකාශයෙන් නිහාල්සිංහ මහතා වීරයෙකු ලෙස මා තුල - පැල පදියම් විය. එවන් සුළු ප්‍රකාශයකින් වුවද - සිනමාව පිළිබඳ මා ලද හැඟීමද - පෝශනයද අති මහත්ය.

නිහාල්සිංහයන් වත්මනෙහි, ඇමතිවරයෙකු හෝ සක්‍රීය සංස්‌ථාවක සභාපතිවරයෙකු හෝ එසේත් නැතිනම් නවීන සිනමා උපකරණ සමාගමක අධ්‍යක්‌ෂවරයෙකු වේ නම්, එතුමා පිළිබඳ මෙවන් ලියවිල්ලක්‌ කිසිදා මගෙ අතින් නොලියවෙනු ඇත.

1972 මැයි 22 දා - ශ්‍රී ලංකාවේ සමාරම්භක ජනරජ දිනයේ මංගලෝත්සවයයි. එදින, ප්‍රධාන නිළි සුවිනීතා වීරසිංහ මහත්මිය චිත්‍රපටයේ නව පිටපතක්‌ සමග සෝවියට්‌ දේශයේ ''ටෂ්කන්'' සිනමා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය - වැලිකතර වෙනුවෙන්, VIP අසුනක්‌ ලබා ගනිමින්, ශ්‍රී ලංකා ජනරජයට ගෞරවය ගෙනාවාය.

කාලයාගේ ඇවෑමෙන් ''ජනරජ'' දිනය ''රණවිරු'' දිනය බවට පෙරලෙමින් - ඒ සඳහා මැයි 19වෙනි දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ - සුවිනීතා මහත්මියගේ උපන් දිනය නිමිති කොට ගෙනද යන්න නම්, මා නොදන්නා දෙවෙනි කාරණයයි.

ගාමිණි - ජෝ - සුවිනීතාගේ අති - සමීප රූපවල සිට මධ්‍යම දුර - රූප රංගනයේ යෙදෙන කරත්තකරුගේ දර්ශනය දක්‌වාම, අදියුරුගේ නිවැරදි විධානය ඉලක්‌ක ගත වී ඇති බැව් ප්‍රශංසාවෙන් සඳහන් කළ යුතුය.

සිනමාවේ නව රීති සම්පාදකවරයෙකු වශයෙන් හඳුන්වා දිය හැකි එතුමා - මට දැනෙන ආකාරයට ඩී. බී. නිහාල්සිංහ යනු - අප සිනමාවේ ඩී. ඩබ්. ගීS්‍රµsත්ය.

වැලිකතරින් පසු කළ වෙනත් සිනමා නිර්මාණ හරහා මා අදහන ''ඩී. බී. නිහාල්සිංහයන්'' විනිවිද නොපෙනීම අප දේශීය සිනමාව ලද අභාග්‍යකි. එසේ වන්නට - ඊනියා විචාරක ප්‍රවාහයේ ''හෙන්ඬුවෙන්'' කළ වැරදි මෙහෙයුමද ඇරත් - අන් කිසිදු නිර්මාණයකට එතුමා, නිශ්පාදනයෙන් පූර්ණ දායකත්වය ලබා නොදීමද මා හට දැනෙන කාරණා වශයෙන් පෙන්වාදිය හැක. එතැනදී ඉන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ - අධ්‍යක්‌ෂවරයා සතු ''නිර්මාණ විධායක බලතල'' අහෝසි වන තැනට නිෂ්පාදන අංශ කටයුතු කිරීමයි.

වර්තමානය වන විට - දේශීය සිනමා කර්මාන්තය මුහුණ පා ඇති - බිඳ වැටී - බිම වැටී, සමතලා වී යැමේ ඛේදවාචකයේ ආරම්භය නම් - ව්‍යාපාරික හස්‌තය විසින් සිනමාකරුවාගෙන් - අධ්‍යක්‌ෂණය උදුරා ගැනීම ප්‍රධාන සාධකයක්‌ ලෙස පෙන්වා දිය හැකි අතර - මා එසේ ප්‍රකාශ කරන්නේ, නොකඩවා මේ දක්‌වාම අවුරුදු 39ක්‌ ක්‍රියාකාරීව ශ්‍රී ලාංකීය සිනමා ක්‌ෂේත්‍රය තුලම - මා ලද අත්දැකීම් අනුසාරයෙන්ය. එදා අධ්‍යක්‌ෂවරයාගේ රාජකාරියට කිසිවෙකු අත - දැමුවේ නැත. ඒ - නිෂ්පාදකවරයාද අධ්‍යක්‌ෂවරයාද යන දෙදෙනාම සිනමාවේ ගෞරවාන්විත චරිත වූ බැවිනි.

දැනට අවුරුදු 46කට පෙර - උත්පාදනය වූ වැලිකතරේ මුල් ප්‍රතිචායා පලක පටය (ORIGINAL PICTURE NEGATIVE) නව ඩිජිටල් අධිතාක්‌ෂණය අනුසාරයෙන්, 2K ප්‍රභේදයට දත්ත දෘඩාංග (DATA - RECORDING ON HARD DISKS - WITH 2 K RESOLUTION) ගත කරමින් - එහි ආලෝක තත්වයන් ශේ්‍රණි ගත කර, (LIGHTING CONDITIONS - RE
GRADING) රූපමය පළුදු වී - සීරී ගිය තැන් - මකා පුරවා දමා (VISUAL DAMAGES - SCRACHERS AND ROLLER
MARKS - DELETING AND - REFILLING) නැවත ප්‍රතිසංස්‌කරණය කොට, තාක්‌ෂණය අතින් එදාට වඩා, ඉතා නිවැරදි කළු - සුදු පරාසයක්‌ (DAZLIN BLACK AND WHITE) සහිත පුළුල් තිර වැලිකතරත් අති විශාල පුළුල් තිර ඔස්‌සේ - ලඟදීම ප්‍රේක්‌ෂකයාට දැක ගත හැකි වන තැනට දේශීය සිනමා කර්මාන්තය පත් වන්නේ නම් අප වාසනාවන්තය.

එදා - බලධරයා විසින් කපා හරින ලද - ගෝරිං මුදලාලි විසින් - පොලීසියට පහර දෙන ජවනිකා පෙළද - නව ඩිජිටල් වැලිකතර සමග නැවත සුසංයෝග වී ප්‍රේක්‌ෂකයා අභියසට එනු ඇතැයි මගේ යටි සිත කියා පායි. එය නම් නිවැරදි දැයි මා - නොදන්නා තුන්වෙනි කාරණයයි.

සිංහල සිනමාවේ රජදැක්‌ම හෙවත් - තෙරක්‌ නොපෙනෙන ඒ, විශ්මය ජනක වූ, වැලිකතරේ - නව ඩිජිටල් D C P පිටපත - තිරගත වන තුරු, හැත්තෑ එකේ මෙන්, අදද මට නොඉවසිල්ලෙන් බලා සිටීමට සිදු වී ඇත. බටහිර පන්නයේ නිමාවක්‌ වන වැලිකතරට සහ එහි නිර්මාණකරුට - මා සදාකාලිකව ණය ගැති බව කිව යුතුය. මන්ද යත්, එතුමාගෙන් මා සූරා ගත්දේ මාගේ නිර්මාණ සඳහා නිරායාසයෙන්ම බද්ධ වීම මටද වලක්‌වාලිය නොහැකි බැවිනි. එබැවින් - නිහාල්සිංහ මැතිඳුන්ට නැවතත් රජ දැක්‌මට අවසරය දෙමින්, මෙම කෙටි ලිපිය අවසන් කරමි. 

දිනේෂ් ප්‍රියසාද්
http://www.divaina.com/2015/05/22/cineart01.html

0 comments: