Pages

Sunday, May 3, 2015

බුදු දහමේ තිබෙන නිදහස අද බෞද්ධයාගේ පරිහානියට හේතුවෙලා - කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

අද අපේ රටේ විශාල බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවී තිබුණත්, පන්සල් යන, බුදුරජාණන් වහන්සේ වන්දනා කරන විශාල පිරිසක්‌ සිටියත් ගුණදහම් පිරිහුණු මනුස්‌සකම් ගිලිහුණු සමාජයක්‌ රට තුළ නිර්මාණය වී තිබෙනවා. පසුගිය අලුත් අවුරුදු සමය ඇරඹුණේත් දරුවන් අතින් දෙමාපියන් කිහිප දෙනෙක්‌ම ඝාතනය වෙමිනුයි. ශීඝ්‍රයෙන් දියුණු වන රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ අවධානයට ලක්‌වී ඇති යුගයක සමාජය තුළ අද ඇතිවී තිබෙන මෙම බිඳවැටීම පිළිබඳ මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අද අපේ රට ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවතුණත් සමාජය වේගයෙන් පරිහානියට පත්වෙමින් තිබෙන බව සමාජ විද්‍යාඥයින්ගේත් අවධානයට ලක්‌ව ඇති කාරණයක්‌. වර්තමාන සමාජය තුළ සෑම ආකාරයකින්ම ඇතිවී තිබෙන මේ බිඳවැටීම පිළිබඳව ඔබවහන්සේගේ අදහස දැනගැනීමට කැමතියි. 

වර්තමාන සමාජය තුළ මෙබඳු තත්ත්වයක්‌ ඇතිවීමට හේතු කිහිපයක්‌ තිබෙනවා. අද තිබෙන්නේ විද්‍යාත්මක අතින් විශාල දියුණුවක්‌ ලබා ඇති සමාජයක්‌. එය අසීමිත යෑයි කිව්වත් එහි වරදක්‌ නෑ. මේ නිසා සමාජ සම්බන්ධතා ශීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා. සමාජ සම්බන්ධතා ඇතිකර ගන්නා මාර්ගත් වැඩියි. අද මේ ඇති වී තිබෙන විද්‍යාත්මක දියුණුව අපේ සමාජයට ඔරොත්තු නොදෙන මට්‌ටමකට පත් වී ඇති බවයි මගේ අදහස. විද්‍යාත්මක දියුණුවෙන් පමණක්‌ රටක සමාජයක්‌ හරි මග යන්නේ නෑ. ඊට සමගාමීව ගුණ දහම් වර්ධනයත් සිදුවිය යුතුයි. විද්‍යාත්මක අතින් අති නවීන පරිගණකයකට වුවත් විෂබීජයක්‌ ඇතුල් වුණොත් ඒ පරිගණකය විනාශ වෙන්න පුළුවන්. ඒ විනාශය වළක්‌වන්න ආරක්‌ෂක ක්‍රමවේදයකුත් මේ නවීන තාක්‌ෂණය තුළින්ම නිෂ්පාදනය කරල තියෙනව. නමුත් ඒ වයිරස්‌ ගාඩ්එක වුණත් යාවත්කාලීන නොකළොත් විෂබීජවලින් පරිගණකයට ආරක්‌ෂාවක්‌ ලැබෙන්නේ නෑ. අන්න ඒ වගේ ගුණදහමුත් නැවත නැවත වර්ධනය කරගත්තෙ නැත්නම් කොතරම් විද්‍යාත්මක දියුණුවක්‌ සහිත සමාජයක්‌ වුණත් පරිහානියට පත්වීම වළක්‌වන්න බෑ.

අද අපේ රටේ විතරක්‌ නෙමෙයි මුළු ලෝකෙම තරුණ තරුණියො වැඩිදෙනාගෙ බලාපොරොත්තුව මේ පරිගණක තාක්‌ෂණය ඔස්‌සේ අලූත් ලෝකයට පිවිසෙන්නයි. නමුත් පරිගණකය නිසා සමාජ සම්බන්ධතා වැඩිවෙනවා වගේම පවුලක්‌ හැටියට දෙමව්පිය දූදරු සම්බන්ධතාවන්හි විශාල බිඳවැටීමකුත් ඇතිවෙලා තිබෙනවා. පරිගණකය තුළින් මුළු ලෝකයත් සමග සබඳතා ඇති කරගත්තත් අද බොහෝ දූ දරුවන් පොතපතින් ගුණදහමින් ඈත් වුණු විශාල හුදකලාවකට පත්වෙලා සිටිනවා.

අනිත් කාරණය අපරාධ පිළිබඳ වර්තමානයේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ලබාදෙන ප්‍රචාරය. අලූත් දේ ජනමාධ්‍යයට අවශ්‍ය බව ඇත්ත. තම තමන්ගේ මාධ්‍ය ආයතන වෙත වඩාත් වැඩි ජනතා ආකර්ෂණයක්‌ ඇතිකරගැනීමට ප්‍රවෘත්ති නොයෙක්‌ ආකාරයට ඉදිරිපත් කිරීමට අද ජනමාධ්‍ය කටයුතු කරමින් සිටිනවා. රටේ සිදුවූ අපරාධයක්‌ පිළිබඳ එය සිදුවූ ආකාරය නිරූපණය කරමින් නොයෙක්‌ ආකාරයෙන් මේවාට ලබාදෙන ප්‍රචාරයත් අපරාධ වැඩිවීමට හේතුවක්‌ වෙලා තිබෙනවා. අපරාධ පිළිබඳ ජනමාධ්‍ය තුළින් අද ලබාදෙන ප්‍රචාරය නිසාම ජනප්‍රිය වීමේ බලාපොරොත්තුවෙන් අපරාධවලට පෙළඹෙන අයත් සමාජය තුළ ඉන්නව. ලක්‌ෂ ගණනක්‌ වියදම් කරල කරන හොඳ වැඩකට නොලැබෙන ප්‍රචාරයක්‌ සෑහෙන තරමේ අපරාධයක්‌ කළහම ලබාගත හැකි විදිහේ තත්ත්වයක්‌ අද නිර්මාණය වෙලා තිබෙනවා. රටේ අපරාධ වැඩිවීමට මේකත් එක හේතුවක්‌.

බොහෝ අපරාධවලට හේතුවන මත්පැන් භාවිතය වැනි දේවල්වලට වර්තමාන සමාජය තුළ ඇති පිළිගැනීමත් අපරාධ වැඩිවීමට එක හේතුවක්‌. මීට දශක දෙක තුනකට පෙර මත්පැන් පානය කරන්නෙකුට සමාජය තුළ හිමිවූ පිළිකුළ වෙනුවට අද යම් ආකාරයක පිළිගැනීමක්‌ ඔහුට හිමිවෙලා තිබෙනවා. පස්‌පව් පිළිකෙව් කරමින් අද දේශනා කරන බණ සාම්ප්‍රදායික සිරිතක්‌ බවට පත්වෙලා. මියගිය පුද්ගලයකු වෙනුවෙන් පවත්වන ධර්මදේශනාවකදී වුණත් ඊට සවන් දෙන පිරිසට වඩා වැඩි පිරිසක්‌ බොහොම උෙද්‍යාගයෙන් සහභාගි වෙන්නෙ ඒ ස්‌ථානයේ පැත්තක සිදුවෙන සූදුවකට හෝ මත්පැන් පානයටයි. මෙය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්‌. වර්තමාන සමාජය තුළ සිදුවෙමින් පවතින බිඳවැටීමයි මෙයින් පෙනෙන්නේ. 

ලෝකයේ නිර්මල බුදුදහම පවතින රටවල් අතර අපේ රට ප්‍රධාන රටක්‌. නමුත් අපේ රට අද දේශපාලනික, ආර්ථික හා සමාජීය අතින් අර්බුද රැසකට මැදිවෙලයි තිබෙන්නෙ.

අද අපේ රටේ මේ තිබෙන අර්බුද වැඩිදියුණු වෙන්න අද බුදුදහමත් එක හේතුවක්‌ වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිදහස්‌ දහමක්‌. උන්වහන්සේ දෙසූ ධර්මය තුළ තිබෙන ඒ නිදහස අද ප්‍රමාණය ඉක්‌මවා පාවිච්චි කරනවා. මුස්‌ලිම් හෝ ක්‍රිස්‌තියානි ආගම් දෙස බලන්න. ඒවායේ නීති තදයි. නමුත් බුදුරජාණන් වහන්සේ දෙසූ දහමේ කැමති නම් පිළිගන්න අකැමැති නම් නොපිළිගැනීමේ නිදහස තිබෙනවා. බුදුදහම තුළ තිබෙන මේ නිදහස අවිචාරවත්ව යොදාගැනීම නිසා අද බෞද්ධයන් අගාධයක්‌ වෙත ගමන් කරමින් සිටිනවා. ගිහි පිරිස පමණක්‌ නොවෙයි අද ඇතැම් භික්‌ෂූන් වහන්සේ පවා බුදුදහම තුළ තිබෙන නිදහස අවබෝධ කරගෙන තිබෙන්නේ වැරදි ආකාරයටයි. බුදුදහමේ ඇති නිදහස නිසාම වංචනික පුද්ගලයින් ශාසනයට ඇතුල් වෙලා නොයෙක්‌ විෂමාචාර කරමින් ශාසනයට විශාල හානියක්‌ සිදුකරන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. එමනිසා මේ තත්ත්වය වළක්‌වා ගැනීමට කිසියම් නීති පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමේ අවශ්‍යතාවක්‌ අද ඇතිවී තිබෙනවා.

භික්‌ෂු සමාජය තුළ හෝ විනය පවත්වාගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ ගතයුතු බවද ඔබවහන්සේ අදහස්‌ කරන්නේ?

නීතියක්‌ තිබෙන්නට ඕන. නමුත් එය ක්‍රියාත්මක නොවෙන්නේ එබඳු නීතිරීති ක්‍රියාත්මක කිරීමට දේශපාලනික වශයෙන් පවතින අකැමැත්ත නිසයි. දේශපාලනය පක්‌ෂ ගණනාවක්‌ සමග ඉදිරියට යන දෙයක්‌. හැම පක්‌ෂයකටම තම තමන්ගේ වැඩකටයුතු කරගන්න නොයෙක්‌ විදිහේ අනවශ්‍ය ගති පැවතුම් ඇති චීවරධාරීන් යොදාගන්න පුළුවන් වෙන්නෙ මේ නීතිරීති නොතිබුණොත් විතරයි. භික්‌ෂු විනය සම්බන්ධයෙන් අද ඉදිරිපත් වී ඇති යෝජනා හා කතිකාවත් හරියට ක්‍රියාත්මක කළොත් පක්‌ෂ වෙනුවෙන් කෝලාහල කරන්න, පෙළපාලි යන්න කහ සිවුරක්‌ හොයාගන්න බැරිවෙනවා. මේනිසා අපේ රටේ කිසිම දේශපාලන පක්‌ෂයක්‌ කතිකාවත් ආදී ඇති මේ පිළිවෙත් හරහා පෙරපරිදි සංවරශීලී සංඝ සමාජයක්‌ ඇතිවනු දැකීමට කැමති නෑ. එමනිසා මේ අණපනත් ගෙන ඒම කල්දමමින් එහි වරදත් භික්‌ෂූන් වහන්සේ පිටම පටවමින් ඇඟ බේරා ගැනීමයි සිදුවෙන්නේ.

භික්‌ෂුණී ශාසනයක්‌ නැවත අපේ රටේ ඇති කිරීම සම්බන්ධයෙනුත් අපේ සමාජය තුළ කතිකාවක්‌ ඇතිවී තිබෙනවා.

භික්‌ෂුණී ශාසනයක්‌ ඇති කිරීම බොහෝම හොඳයි. අපිත් කැමතියි. භික්‌ෂුණී ශාසනය නැතිවෙලා අපේ රටේ අවුරුදු දහස්‌ ගණනක්‌ ගතවුණා. දැන් මේ පෘථග්ජන භික්‌ෂූන් වහන්සේලා කිහිප දෙනෙක්‌ යළි භික්‌ෂුණී ශාසනය ඇති කිරීමට උත්සාහ දැරුවට නම් හරියන්නේ නෑ. එය ක්‍රමයකට එන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වගේ කටයුතු කරන්න අද පුළුවන්කමක්‌ නෑ. එක්‌තරා කාලයකදී භික්‌ෂු පරම්පරාව නැතිවුණා යෑයි සිතමු. එවිට භික්‌ෂුණීන්ගෙන් උපසම්පදා භාවය ලබන්න බැරි නිසා අපටත් සිදුවන්නේ සාමණේරවරුන් වශයෙන් සිටින්නයි. යථාර්ථය එයයි. වර්තමානයේ භික්‌ෂූන් වහන්සේට කළ නොහැකි තරම් සේවයක්‌ භික්‌ෂූණීන් වහන්සේලා වශයෙන් කාන්තා පක්‌ෂයට කරන්න පුළුවන්. නමුත් මෙහෙණි සස්‌නක්‌ ඇති කරනවා කියන එක ඉතාමත් ගැඹුරු විනය කාරණාවක්‌ නිසා ඒ කාරණාවට අතගහන්න අපි බයෙන් ඉන්නෙ. බුද්ධ ශාසනයේ නැතිවන්නේ බුද්ධ ශාසනය තුළම ඇතිවන විනයවාදී නොවන සංඝයා නිසා බව බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී බුද්ධ ශාසනයේ අනාගතය පිළිබඳ කරන ලද දේශනාවකදී සඳහන් කර තිබෙනවා. අද අපේ බුද්ධ ශාසනය ඒ තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ
ඡායාරූපය ධර්මසේන වැලිපිටිය - සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2015/05/03/feature12.html

0 comments: